Sunday, March 22, 2020

කොරෝනා සුවකිරීම සහ මැලේරියා බෙහෙත්...

මේ වනවිට අමෙරිකානු ඖෂ්ධායතනය US Food and Drug Administration (FDA) අනුමත කරන ලද  කිසිදු ඖෂධයක් මේ වනවිට කොරෝනා සුව කිරීම සඳහා නොමැති බව මුලින් ම කියන්න ඕනි. 

එතකොට මොකද්ද මේ Hydroxychloroquine (HCQ) and Chloroquine මැලේරියා බෙහෙතෙ කතාව ? 
අද දැනගනිමු ඒ ගැන. 

මුලින් ම කියන්න plaquenil කියන්නෙත් Hydroxychloroquine ම තමා කියලා. ඒක brand name එකක්. හරියට අපි panadol කියන්නෙ paracetamol වලට වගේ...
Hydroxychloroquine වල කෙටිනම HCQ...

ඉතින් මෙන්න මේ කියන බෙහෙත් දෙක ගොඩ කාලයක් තිස්සේ මැලේරියාවට වගේ ම පිළිකා රෝගීන් සඳහාත්, රුමැටික් ආතරයිටිස් වගේ ම SLE වගේ රෝග වලට ප්‍රතිකාර කිරීමට යොදා ගත්තා...

පසුගිය දිනෙක චීනයේ දී අහම්බෙන් මෙන් සොයා ගැනෙනවා මේ ඖෂධ දෙක ම සෛල තුළදී කොරෝනා වෛරස සමඟ සටන් කරන බව... මින් Hydroxychloroquine ඖෂධය එනම් plaquenil ඖෂධය මෙහි ලා වඩාත් ඉදිරියෙන් සිටිනවා...

නමුත් ඖෂධයක සුරක්ෂිතතාවය තහවුරු කිරීමට නම් එය සතුන් මෙන් ම මිනිසුන් යොදවා කරන පර්යේෂණ රාශියකට භාජනය විය යුතුයි. ඉතින් මේ ඖෂධ කොරෝනා රෝගීන් හමුවේ භාවිත කරන විට ඇතිවියි හැකි හානිකර බලපෑම් මොනවාද කියා තවමත් තහවුරු කර නොමැත. 

දැනට සොයාගෙන ඇති කරුණු අනුව මේ ඖෂධ දෙක ම කලාතුරකින් අවස්ථාවක අක්මා, වකුගඩු ප්‍රශ්න සහ දුර්වල ප්‍රතිශක්තියක් (immunosuppressed) ඇති රෝගීන්ගේ  හෘද වස්තුවේ රිද්මයේ අසාමාන්‍යතා ( ECG අවුල් , වඩාත් නිවැරැදිව කීවොත් prolonged QT syndrome ) ඇති කිරීමට සමත්... නමුත් දැනට වාර්තා වී ඇති අන්දමට කොරෝනා රෝගී බොහොමයක් හමුවේ මෙම ඖෂධ එවන් සංකූලතා ඇති කිරීම අවම මට්ටමක පවතිනවා... නමුත් වගකීමකින් තවමත් කිසිවක් කියන්න බැහැ. කොරෝනා ආසාදනය උග්‍ර අතට හැරෙනා බොහොමයක් මෙසේ දිගුකාලීන රෝගාබාධ වලින් පෙළෙන අය සහ ප්‍රතිශක්තිය අඩු අය නිසා ඉහත සංකූලතාවය ඇතිවීමට බොහෝ ඉඩකඩක් තිබෙනවා.

ඒ හේතුව නිසා ම තමයි දැනට රෝහල්ගත රෝගීන් සඳහා පමණක් ම මෙම ඖෂධ භාවිත වන්නේ... මොකද ගැටලුවක් ආවොත් වහා එය හඳුනාගැනීම හරහා අදාල ප්‍රතිකාර ලබාදීමට එහිදී වෛද්‍යවරුන්හට හැකියාව ලැබෙන නිසා...

වෙන විදියකින් කිව්වොත් කොරෝනා වලින් බේරෙන්න කියලා ගෙදර ඉඳන් ඕවා බොන්න යන්න එපා... මොකක් හරි වුණොත් ඔයා ඉවරයි. 

දැනට අමෙරිකාව ඇතුලු රටවල් බොහොමයක් මේ කියන Hydroxychloroquine ඖෂධය කොරෝනා රෝගීන් සඳහා භාවිත කරන බව මා ඔබට සඳහන් කළ යුතුයි.

මීට අමතරව injection එකක් ලෙස එන Remdesivir නම් ප්‍රතිවෛරස ඖෂධයක් ද පරීක්ෂන මට්ටමෙන් ඇමෙරිකාවේ භාවිත වන බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. 


Saturday, March 21, 2020

corona update 21.03.2020

මේ photo එක හොයාගත්තේ travel with wife facebook පිටුවේ තිබිලා... මුලින් ම එයාලාට ස්තූතියි මේක share කලාට...
හැබැයි medscape web අඩවිය නම් පවසන්නේ තරමක වෙනස් කාලසීමාවන් ටිකක්. කවුරු හරි උනත් අපි හිතට ගන්න ඕනි කාරණය තමයි මේ COVID 19 වෛරසය මිනිස් සිරුරෙන් පරිබාහිරව එක එක පෘශ්ථවල සහ වාතයේ යම් කාලයක් සජීවී ව පවතිනවා කියන කාරණය. ඉතින් මේ කියන කෙටි කාලය ඇති ඔයාටත් මේ ලෙඩේ බෝවෙන්න.
ඉතින් මුලින් ම කියන්නම්. හැකි සැම විට ම සෙනග ගැවසෙන තැන් වලට යන්න එපා. මාස්ක් එකක් දාගෙන ඉන්න, හැකි සැමවිටම අත් සෝදාගන්න. මුකුත් ම නැතිනම් සබන් දාලා හරි...
 සැකයක් තියනවානම් නොසඟවා නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගන්න.

worldometers.info දර්ශකය පවසන පරිදි මේ ලිපිය ලියැවෙන 21.03.2020 සවස 4.30 වන විට ලොව පුරා මේවන විට රෝගීන් 282,939 හදුනාගෙන ඇති අතර ඉන් 11,826 දෙනෙකුන් මියගොස් තිබෙනවා.
93,514 දෙනෙක් සම්පූර්ණයෙන් ම සුවය ලබා තිබෙනවා. 

ලංකාව පුරා පසුගිය දින කිහිපය තුල අපේක්ශා කළ තරම් රෝගීන් ගේ වැඩි වීමක් දක්නට ලැබෙන්නේ නැතත් තවදුරටත් පරිස්සම් වීම වැදගත්.  

මොකද මොනවා කලත් ලංකාව පුරා තිබෙන්නේ ICU ඇඳන් 500ක් පමණයි. පුද්ගලික අංශයේ ද ඇතුළුව... ඔය ටික පිරිලා ගිය දවසට කොච්චර හොඳ සෞඛ්‍ය සේවයක් තිබ්බත්  අපි ඉවරයි. දැන් ඉතාලියට වෙලා තියනවා වගේ...

මම වැඩකරනා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ හෘද රෝග අංශයෙන් මගේ සවන් වැකෙනා දෙබසක් වෙත දැන් මා ඔබව රැගෙන යන්නම්. 
අපි හදිස්සියක් නැති angiogram පරීක්ශන stent දාන ඒවා එහෙම සේරම පසුවට කල් තැබුවා. ඒවාට admit වෙලා හිටපු රෝගීනුත් ටිකට් කපලා ගෙදර යැව්වා. මෙහෙම යන එක්කනෙක් හෘදරෝග විශේෂඥ වෛද්‍යතුමන්ගෙන් මෙසේ අහනවා...

මං #### රෝහලට එන්නද angiogram එක කරගන්න.? ඔහු ප්‍රකට පුද්ගලික රෝහලක නමක් පවසයි. 

එහෙ කළත් මෙහෙ කළත් කොරෝනා හැදෙන්න තියන අවදානම එහෙමමයි. අපි මේ ඔක්කොම කැන්සල් කරන්නේ ඔයාලාව එහෙම අනතුරේ හෙළන්න බැරි හන්දා... ඔයාලා වගේ වයසක අයට හැදුනොත් ඉවරම තමයි...

රෝගියා මූණ දෙක කරගෙන යන්න ගියා... ඔහුට රෝගයේ භයානක කම ගැන වගේ වගක් නැතුවා වාගේය. 

ඔයාලා සල්ලි බලාගෙන ම වැඩ කරනවා කියලා හිතන ප්‍රකට පුද්ගලික රෝහල් පවා එයාලගේ හදිසි ප්‍රතිකාර හා සැත්කම් පමණයි සිදුකරන්නේ...

සියල්ලෝම රෝගය තුරන් කිරීමට එකා වගේ වැඩ. 

ඒ අතරේ රෝගය නැති වෙන්න කියලා ගමේ පන්සලේ කට්ටියම සෙට් වෙලා බෝධි පූජා තියනවා... මේ මිනිස්සුන් ට තේරෙන්නේ නැහැ සෙනග ගැවසෙන එක හොඳ නෑ කියන එක... මගේ යාලුවෙක් වැඩිහිටි ගෞරවේ පැත්තකින් තියලා හොඳවයින් දෙතුන්දෙනෙක් ට අමතලත් එක්ක...

තාමත් වැඩි දෙනෙක් මේ ලෙඩේ තියන අදිසි බියජනක ගතිය ගැන වැඩි තේරුමකින් නෙවේ වගේ ඉන්නේ. 

ආයෙමත් කියන්නම් අපිට තියන්නේ
ICU ඇඳන් 500ක් පමණයි. පුද්ගලික අංශයේ ද ඇතුළුව...

අපේම වරදින් ඔය ටික පිරිලා ගිය දවසට අපි ඉවරයි. 

ඉතින් අන්තිමට කියන්නම් පරිස්සම් වෙලා ඉන්න... පුළුවන් හැම වෙලාවේම... අපි එකාවගේ වැඩ කරලා මේ කොරෝනා මාරයා ලංකාවෙන් නෙවෙයි ලෝකයෙන් ම තුරන් කරලා දාමු...

post එක හොඳනම් like,comment, share කරන්න වගේම මේ වගේ පොස්ට් දාපු ගමන් ම කියවන්න like, follow කරන්න මගේ facebook පිටුව... ඩොකාගේ ඩයරිය...

ඔබට ජය...

මං වෛද්‍ය ජයසංඛ නවෝද්... 



Monday, February 3, 2020

koroonaa koraunaa

 ශ්‍රීලංකාවෙන් සොයාගත් ආසාදිතයා සම්පූර්ණයෙන් සුව අතට

කොරෝනා කොර උනා.

කොරෝනා මිනිසෙකු මරා දමන්නේ මෙහෙමයි

මේ සටහන ලියැවෙන 02/02/2020 දින වන විට ලොවපුරා රටවල් 25ක් පුරා පැතිර ඇති කොරෝනා වසංගතය ආසාදනය වූවන් 14 300ක් පමණ වාර්තා වී ඇති අතර  අවම වශයෙන් රෝගීන් 304 දෙනෙකු මරණයට පත් වී තිබෙනවා. එයට එක් පිලිපීන ජාතිකයෙකු ද ඇතුළත්.

කොරෝනා මිනිසෙකු මරා දමන්නේ කොහොමද . ඔබට ගැටළුවක් ඇති.
අද කතා කරමු ඒ ගැන. 

ආසාදනයේ දී ප්‍රධාන වශයෙන් ම ඇතිවන්නේ ස්වසන පද්ධතිය හා ආශ්‍රිත සංකූලතා ය. 
නියුමෝනියාව ඉන් ප්‍රධාන වේ. සරලව එහිදී පෙණහළු වල සෙම පිරීයන අතර ඔක්සිජන් සහ ලේ මිශ්‍ර වීමට ඇති ඉඩකඩ අඩුවී යයි. 
මෙහි ප්‍රථිඵල ය වන්නේ රුධිර ගත ඔක්සිජන් ප්‍රමාණය අඩුවී අහිතකර කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වී යයි. 

මෙහි ප්‍රතිඵලය වන්නේ රෝගියා හුස්ම ගැනීමේ අපහසුවකින් රෝහියාට ඇති වීමයි. මෙවන් රෝගීන් ට ඔක්සිජන් මාස්ක් දමාතිබෙනු ඔබ දැක ඇති. මෙම තත්වය වඩාත් උග්‍ර අතට හැරුණු විට රෝගියා හුස්ම ගැනීමේ යන්ත්‍රයකට සවි කිරීම සිදුකළ යුතුය. 
කලාතුරකින් අවස්ථාවක රෝගියා සම්පූර්ණයෙන්ම සිහිමූර්ඡා කොට මුඛයෙන් උගුරට බටයක් දමා යන්ත්‍රය හරහා හුස්ම ගැන්නවීම ද සිදුකිරීම අවශ්‍ය විය හැකිය. 
ඒත් recover වෙන්නේ නැත්නම් රෝගියාගේ අවයව වලට ඔක්සිජන් සැපයුම අඩාල වී කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවී එහි ප්‍රතිඵලයක් ලෙස තවත් අහිතකර ප්‍රතික්‍රියා රැසක් සිදුවී අවසානයේ රෝගියා මිය යාම සිදුවේ. 

තවද වෛරසය නිසා රෝගියාගේ වකුගඩු හදිසියේ අකර්මණ්‍ය වීම සිදුවේ.  

අවසානයේ දී රෝගියාගේ ශරීරයේ අවයව පද්ධති සියල්ලම අකර්මන්‍යවී අවසානයේ දී රෝගියාගේ මියයාම සිදුවේ. 

ඔබ බියවිය යුතු නැත. මෙසේ වන්නේ ආසාදිතයින් අතලොස්සකගේ පමණි. 

ලංකාවේ වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයා ද සුවය ලැබූ බවට තහවුරු කර ඇත. 
වෛරසය නිසා මියගොසින් සිටිනා බොහෝ අය වයස්ගතවූවන් හෝ දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් තිබූ අය බැව් කියැවේ. 

එසේ වුවත් රෝගයෙන් බෝවීම පාලනය සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කිරීම සැමවිට ම  කළ යුතුය.