Wednesday, August 30, 2017

ගෙදර හිටපු අයියාට අලුතෙන් ගෙනා මල්ලී කරපු කැත වැඩේ එළිවෙයි !

එදා මට night shift එකක් කරන්න තිබ්බ දවසක්. හොඳට ම වැස්ස. Patientsලා නැති වේවා කියල ප්‍රාර්ථනාවක් එහෙම කරල ඇඳට ගියා විතරයි, ඩොක්ටර් patient කෙනෙක් කියල වැඩ කරන අංකල් කාමරේට එබිල කිවුව.

දනි පනි ගාල සරම ගලෝල formal kit එකට මාරුවෙච්චි මං ඉක්මනට එළියට ආව.

අවුරුදු 7ක විතර පොඩි පැංචෙක්. ඇවිත් හිටියෙ එයාගෙ අම්මත් එක්ක.
කොල්ලට තිබ්බෙ ටිකක් විතර මුරන්ඩු පෙනුමක්.

ඩොක්ටර් මෙයා ඉවරයක් නැතිව වමනෙ දානවා. අද දවසට මුකුත් ම කෑවෙත් නෑ. දැන් වමනෙ දාන්න බඩේ මුකුත් ඇත්තෙත් නෑ. ඒත් ඔක්කාරෙ ගතියෙ අඩුවකුත් නෑ වගේ. සති දෙක්කට කලියෙන් ගෑස්ටික් හැදිල බේතුත් ගත්තා...

මොනවා... අවුරුදු හතේ පොඩි එකාට ගෑස්ටික්...

ඔව් ඩොක්ටර් මෙයාට කෑම කවා ගන්න හරිම අමාරුයි.

අම්ම හැමදාම පරිප්පුයි බතුයි දෙනව ඇති. එතකොට කොහෙද ආසාවෙන් කන්නෙ.

අනේ නෑ ඩොක්ටර්. අපි මෙයාගෙන් අහනවා බත් කන්න බැරිනම් මොනාද කන්න ඕනි කියල. මෙයාට ටිපිටිප් එකක් දුන්නත් කන්නෙ නෑ.

යකෝ. මොකාද ටිපිටිප් කන්න බෑ කියන පොඩි එකා...

මෙතන මොකක් හරි වෙන කතාවක් හැංගිලා තියනවා කියන එක මට ඉවෙන් වගේ තේරුණා...

අම්මේ ඔයාට තව ළමයි ඉන්නවා ද??
ඔව් ඩොක්ටර්. එයාට දැන් මාස 5 යි.
එයා හම්බ වුණාට පස්සෙ ද මේ කොල්ල කන්නෙ බොන්නෙ නැතුව ඉන්ඩ පටන් ගත්තෙ?
ඔව් ඩොක්ටර්. ඊට කලින් නම් මෙයා හොඳට හිටියා...

අම්ම එහෙම කියනකොට ම මට තේරුණා මොකද වෙලා තියන්නෙ කියල...
වෛද්‍ය විද්‍යාත්මක ව මේ තත්වය හඳුන්වන්නේ siblings rivalry ලෙසයි.

සරලව කීවොත් මේකයි.

ගෙදරක පොඩි එකෙක් ඉන්නවා. ගෙදරට එන හැමෝගෙම මාතෘකාව මෙයා. හැමෝම තෑගි එහෙම ගේන්නෙ මෙයාට. හැමෝගෙ ම ආදරය කරුණාව දිනාගන්න මෙයා තමයි හැමෝගෙ ම සුරතලා. ඔහොම ඉන්නකොට මේ ගෙදරට තව පොඩි එකෙක් ගේනවා. දැන් මොකද වෙන්නෙ. මෙච්චර දවස් හැමෝගෙම සුරතල් පැටිය වෙච්ච ලොකු පුතාගෙන් ඒ අවධානය පොඩි පුතාට ලැබෙනවා. ගෙදරට එන හැමෝම මල්ලි හුරතල් කරාට කවුරුත් අයිය ගැන වැඩිය බලන්නේ නැහැ. අම්මත් වැඩිපුර බලන්නෙ මල්ලි දිහා.
අයියට මේක රුස්සන්නේ නෑ. ටික ටික එයා මල්ලිට ඉරිසියා කරන්න පටන් ගන්නවා. එයා මල්ලිට නිතරම කරදර කරන්න පටන් ගන්නවා. ටිකක් වයසින් වැඩෙද්දී මල්ලිත් එක්ක හේතුවක් නැතුව ම ගහනවා බනිනවා රණ්ඩු වෙනවා. ඒත් එක්කම අර තමන්ගෙන් ගිලිහිච්ච අවධානය ආපහු ගන්න නොකා නොබී ඉන්න වගේ ගොඩක් වැඩ කරනවා.
කලාතුරකින් පොඩි එකෙක් ට මේ තත්වය හොඳට ම වැඩි වෙලා මානසික පීඩන තත්වයකට වුනත් යන්නට පුළුවන්.

මේ පොඩි එකාට වෙලා තිබ්බෙ මේක.

දන්නෙම නැතිව එයාට depression හැදිල. ඒ කිව්වෙ විශාදය.

ලොකු අයට depression හැදුනම පැත්තකට වෙලා ජීවිතේ එපා වෙලා වගෙ හිටියට පොඩි කෙනෙක් ට depression හැදුන ම පෙන්නන්නෙ තරමක වෙනස් රෝග ලක්ෂණ ටිකක්...

බොහෝ විට මොවුන් ආවේගශීලී වෙනවා. නිතරම කලහකාරී වෙන්න තමයි මෙයාල බලන්නේ. නුරුස්නා ගතියත් හොඳට ම තියනවා.

ටික කාලයක් ගියාට පස්සෙ තමයි කනස්සලු ගතිය, හැමදේ ම එපා වෙච්චි ගතිය, නොකා නොබී නින්ද නැතුව ඔහේ බලන් ඉන්න ගතිය වගේ depression වලට ආවේණික රෝග ලක්ෂණ පෙන්නන්නේ.

ඒවා ට අමතරව අත් කකුල් රිදිලි බඩේ කැක්කුම් වගේ රෝග ලක්ෂණත් එන්න පුළුවන්.
ඒ වගේ ලෙඩෙක් ගැන කලින් ලියපු කතාවක් ඇති. අලිබබා කියල. වෙලාවක් තිබුනොත් කියවල බලන්න.

ඉතින් මේ තත්වය ඇති නොවෙන්න නම් කරන්න තියන්නෙ එක එක ළමයට එක එක හැඳි වලින් බෙදන එක නතර කරන එක. විශේෂයෙන් ම ගෙදරට අලුත් සාමාජිකයෙක් එකතු වෙන වෙලාවක.

කොහොමත් ගෙදරට මල්ලි කෙනෙක් ගෙනාවොත් අයියට තියන සැළකිල්ල අඩුවෙනවා. ඒත් මේ දේ හන්ද අයියට දුක හිතෙන එක අවම වෙන විදියට අම්මලා වැඩකරන්න ඕනි.
මල්ලිගේ වැඩ වලට අයියගෙනුත් උදව් ගන්න ඕනි. මල්ලි ගැන පොඩි පොඩි වගකීම් අයියටත් දෙන්න ඕනි. (චූ දැම්මොත් කියන්න වගේ දේවල්)

ඒ වගේම තෑගි එහෙම ගේනකොට මල්ලිට විතරක් ම ගේන්නෙ නැතුව අයියටත් ගෙනත් දෙන්න ඕනි.

අයියට තිබ්බ ආදරය අඩුවෙලා නෑ කියන එක එයාට තේරෙන විදියට ඉන්න ඕනි.

අම්මේ, මෙයාට හැදිල තියන්නෙ මෙන්න මේ ලෙඩේ. මං වෙලා තියන්නේ මොකද්ද කියල පොඩි පැහැදිලි කිරීමක් කළා. මේකට බෙහෙත් දීල විතරක් මදි. මල්ලිට දෙන සැළකිල්ල අයියටත් දෙන්න ඕනි. එයා තනිවෙලා නෑ කියන එක එයාට තේරෙන විදියට ඔයාල එයාට සළකන්න ඕනි. එතකොට ඔය දඩබ්බර ගතිය ඇරිලා යාවි.

හැබයි මේ ලෙඩාට ඔය කියන දේ විතරක් ම කරල මදි. ඉතින් මං මෙයාලව විශේෂඥ ළමා මනෝවෛද්‍යතුමෙක් ළඟට යොමු කිරීමත් කළා.

ඔයාලත් සමහර විට පොඩි කාලෙ දි මේ තත්වෙ අත්දැකල ඇති. ඉතින් වැදගත් ම දේ තමයි ඒ දේ ඔයාලගෙ ළමයිනුත් මේ තත්වෙට පත් වෙන එක නවත්තගන්න එක.

ඒ වගේ ම මේ ළමය වගේ අස්වාභාවික විදියට මුරණ්ඩු ළමයි වගේ ම කලින් කියපු depression වල රෝග ලක්ෂණ තියෙන ළමයි සුදුසුකමලත් වෛද්‍යවරයෙක් හරහා විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් වෙතට රැගෙන යන එකත් වැදගත්.

ඒ වගේ ම ඔයාලත් අලුත උපන් පොඩි එකෙක් බලන්න ගෙදරක ට යනකොට ඒ ගෙදර තව ළමයෙක් ඉන්නවා නම් එයාටත් මොනාහරි දෙයක් අරන් යන්න අමතක කරන්නත් එපා හොඳේ...

Saturday, August 12, 2017

හදිසි උපත් පාලන ක්‍රම

මේ සටහන ලියන මා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු බව මුලින් ම කියන්න ඕනි.

මොකට ද මේ හදිසි උපත් පාලන ක්‍රම ?

* අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදුන විටෙක දී
* ලිංගික අතවරයක දී
* දැනට භාවිත කරන උපත් පාලන ක්‍රමය දින කිහිපයක් මගහැරී ගිය විටෙක දී
* කොන්ඩම සිදුරු වී යන අවස්ථා වල දී
                   දරු ගැබක් ඇති වීම වැළක්වීම සඳහා හදිසි උපත් පාලන ක්‍රම භාවිත කිරීම කළ යුතුය.

හදිසි උපත් පාලනය, ගබ්සා කිරීමක් කියා දුර්මතයක් සමාජයේ මුල් බැසගෙන තිබුනත් එය සත්‍යතාවයෙන් තොර මතයකි.  ඩිම්බය හා ශුක්‍රානු එකතු වී කළලයක් සැදීම වැළක්වීම පමණක් මෙම හදිසි උපත් පාලන ක්‍රම තුලින් සිදු වෙයි.

තවද හදිසි උපත් පාලන ක්‍රම මගින් ලිංගික ව බෝවන රෝග සඳහා ආරක්ෂාවක් ද නොලැබේ. (ඒ සඳහා කොන්ඩම භාවිත කරන්න.)

 1. Postinor පෙත්ත

මෙය Morning After Pill ලෙස ද හඳුන්වයි. මෙය පෙති දෙකකින් යුතු පැකට්ටුවක් ලෙස වෙළඳ පොලෙන් මිලදී ගත හැකිය. මින් පළමු පෙත්ත අනාරක්ෂිත ලිංගික හැසිරීමෙන් පැය 72ක් ඇතුළත ලබාගත යුතුය. දෙවැන්න ඉන් පැය 12කට පසුව ලබාගත යුතුය.
කෙසේ වෙතත් පළමු පෙත්ත දින පහක් ඇතුළත ලබාගත හැකි අතර කාලය ගත වන්නට මෙහි සාර්ථකත්වය අඩු වී යයි. පළමු පැය 72 තුළ දී ලබාගත හොත් සාර්ථකත්වය 95% පමණ වේ.  එක් පෙත්තක් පමණක් ඇති ඇසිරුමක් ද වෙළඳ පොලේ ඇති අතර එම පෙත්ත ලබා ගන්නේ නම් අනාරක්ෂිත ලිංගික ක්‍රියාවෙන් අනතුරු ව පැය 72ක් තුළ දී ලබා ගත යුතුය.

Levonogestrel නම් හෝමෝනමය ඖෂධය මෙම පෙති වල අධික මාත්‍රාවකින් අඩංගු වන නිසා ඔක්කාරය වමනය වැනි අතුරු ආබාධ සුලභව ඇති විය හැකිය. පැය දෙකක් ඇතුළත වමනය වුවහොත් තවත් පෙත්තක් ලබාගත යුතුය.

මීට අමතරව හිසරදය, පියයුරු වල වේදනාව වැනි සංකුලතා ද ඇතිවිය හැකිය. තවද මෙම පෙති ඔසප් චක්‍රය අක්‍රමවත් කිරීමට ද හේතුවන අතර සති දෙකක් පමණ පසුවී වුව ද ඊළඟ මාස් ශුද්ධ වීම ඇතිවිය හැකිය.

වැදගත් : postinor පෙත්ත හදිසි ගැබ් ගැනීම් වළක්වාගැනීමේ පෙත්තක් පමණක් ම වන අතර අධික හෝමෝන මට්ටමක් අඩංගු නිසා නිතර භාවිතය ඉතා අහිතකර ය. අනාරක්ෂිත ලිංගික හැසිරීමෙන් දින 5ක් ඉක්ම ගිය පසු මෙම පෙති භාවිතය ප්‍රතිඵල රහිත ය.
මෙම පෙති ලබාගැනීමෙන් අනතුරුව සිදු කරනු ලබන ලිංගික ක්‍රියා සඳහා ආරක්ෂාකාරී නොවේ. තවද ගබ්සා කිරීම සඳහා මෙම පෙති භාවිතය ඵල රහිතයි.

පෙති දෙක ඇසිරුමක් රු. 100ක් පමණ මිලකට ඕනෑම ෆාමසියකින් මිලදී ගත හැකිය.


2. මිතුරි පෙත්ත අධික මාත්‍රාවකින් ලබා ගැනීම.

සාමාන්‍ය උපත් පාලන පෙත්තක් වන මිතුරි පෙති ද හදිසි උපත් පාලනය සඳහා යොදා ගත හැකිය. මෙහිදී අනාරක්ෂිත ලිංගික හැසිරුමෙන් පැය 72කට පෙර මිතුරි පෙති 4ක් පානය කල යුතුය. ඉන් පැය 12කට පසු තවත් පෙති 4ක් පානය කල යුතුය.  සංකුලතා පෙර පරිදි ම ය.

3. ලුප් භාවිතය

ලුපය යනු සාමාන්‍ය උපත් පාලනය සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු විසින් ගර්භාෂයට ඇතුල් කරනා කුඩා උපකරණයක් බව ඔබ අසා ඇති.

නමුත් අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් දින පහක් ඇතුළත ලුපයක් ඇතුල් කිරීමෙන් ද හදිසි ගැබ් ගැනීම් වළක්වා ගත හැකි බව සමහර විට ඔබ නොදන්නවා වන්නට පුළුවන්.

මෙය ඉතා සාර්ථක ක්‍රමවේදයක් වන අතර 99% පමණ ගැබ් ගැනීම් වළක්වාගත හැකිය.

තවද ලුපය වසර 10ක් යන තුරා ගර්භාෂය තුළ තැන්පත් කර තැබිය හැකි අතර එම කාලය පුරාවටම පිළිසිඳ ගැනීම් වැළක්වීමට සමත්.

මේ හැර තවත් හදිසි උපත් පාලන ක්‍රම ලොව පුරා ඇතත් ශ්‍රී ලංකාවේ සුලභව භාවිත වන්නේ මේවා ය.

හරි. පාඩම ඉවරයි. ඔබට ප්‍රශ්න ඇති. අහන්න...






Wednesday, August 9, 2017

උපත් පාලනය ගැන ලුණු ඇඹුල් ඇතිව

මේක සාම්ප්‍රදායික ශ්‍රී ලාංකිකයා එළිපිට කතා කරන්න තරමක් අකමැති මාතෘකාවක්. පාසල්වල ඉගැන්වීම සඳහා නිර්දේශ කර තිබුනත් බොහෝ ගුරුවරු ලිස්සා යන මාතෘකාවක්.

මිට වසර කිහිපයකට පෙර මෙන් නොව දැන් දැන් බොහෝ පෙම්වතුන් ඉතා ඉක්මනින් ලිංගික හැසිරීම් සඳහා යොමුවන ප්‍රවනතාවක් දක්නට ලැබෙනවා.

මේ බොහොමයක් දෙනාට වගේ ම විවාහක අයට ද නිවැරදි උපත් පාලනය ගැන හරි අවබෝධයක් නැහැ. මේ නිසා ම ලංකාවේ දිනකට සිදුවන අනවසර ගබ්සා ප්‍රමාණය සංඛ්‍යාත්මක ව ඉතා ඉහල අගයක් ගන්නවා.

තවද අනවශ්‍ය ගැබ් ගැනීම් සහ අනවශ්‍ය දරු උපත් නිසා ශාරීරික, මානසික වගේම සමාජයීය ගැටළු රැසක් ද ඇති වනවා.

ඉතින් අපි කතා කරමු උපත් පාලනය ගැන. මේ විස්තර තව කෙනෙක් ට දැන ගන්න Post එක Share කරන්න වගේ ම like කරන්න comment කරන්න අමතක කරන්නත් එපා..

හරි. දැන් පාඩම...

සරළව කීවොත් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළදී  ශුක්රාණුවකට ඩිම්බයක් මුණ ගැසී යුක්තාණුවක් සෑදීම කාන්තාවක් ගර්භණි  වීම ලෙස හැඳින්වෙනවා.
උපත් පාලනය යනු මෙන්න මේ ශුක්‍රාණුව සහ ඩිම්බය මුණගැසීම වැළක්වීමයි.

මුලින් ම බලමු සාම්ප්‍රදායික උපත් පාලන ක්‍රම මොනවද කියල... මේවා තමයි  ඒ කාලේ ඉඳල ම මිනිස්සු කරපු දේවල්.  ඒ කියන්නේ කොන්ඩම්, පෙති, ඉන්ජෙක්ෂන් නැති කාලේ මිනිස්සු කරපු දේවල්. අද උනත් බොහෝ දෙනෙක් මෙසේ උපත් පාලනය සිදු කරනවා.

1. ලිංගිකව එකතු නොවී සිටීම.
විවාහය ට පෙර ලිංගික හැසිරීමක ට අකමැති අය වගේ ම ගර්භනී වෙයි කියා බයක් ඇති අය තමයි room එකකට ගියත් sex කරන්නේ නැත්තේ. දෙන්නෙක් ලිංගිකව එකතු උනේ නැත්තනම් ගර්භණි වෙන්නේ නැහැ කියන එක තමයි තර්කය. හැබැයි පුතේ පිරිමියාගේ ශුක්‍රානු , කාන්තාවගේ යෝනි මාර්ගයේ ගෑවුනත් ප්‍රෙග්නන්ට් වෙන්න නම් චාන්ස් එකක් තියනව.  එහෙම නොවෙන්න නම් දෙන්නගෙන් එක්කනෙක් විතරක් එක පාරකට ඇඳුම් ගලවල හිටපල්ලා. ඒ වගේම පිරිමියගෙන් නිකුත් වන අවර්ණ ශ්‍රාවය (ලව් ජුස්) කෙල්ලගේ යෝනි මාර්ගයේ  ගාවගන්නේ නැතුව හිටපල්ලා. එතකොට අවුලක් ඇත්තෙ ම නෑ...

2. Coitus interuptus
ලිංගික සංසර්ගයකදී ශුක්‍රානු පිටවන්න ඔන්න මෙන්න තියා පිරිමියාට ඒ බව දැනෙනවා. ශුක්‍රානු පිටවන්නට පෙර ලින්ගේන්ද්‍රය යෝනි මාර්ගයෙන් ඉවතට ගැනීම තමයි මෙසේ හැඳින්වෙන්නේ. එවිට ද ශුක්‍රානු සහ ඩිම්බ හමුවීම සිදු නොවන නිසා කාන්තාව ගර්භණි වීම වළකිනවා. මෙයත් අතීතයේ සිට ම මිනිසුන් සිදු කල උපත් පාලන ක්‍රමයක්. නමුත්  ශුක්‍රාණු පිටවීමට පෙර යෝනි මාර්ගයෙන් ලිංගේන්ද්‍රය  ඉවතට ගැනීමට නොහැකි වීම වගේ ම මුත්‍ර මාර්ගයේ ශුක්‍රාණු රැඳී තිබිමට ඇති ඉඩ වැනි කරුණු  නිසා මේ ක්‍රමය ඉතා අසාර්ථක ක්‍රමයක් වනවා.

3. කැලැන්ඩර ක්‍රමය.
මේක සැහෙන සාර්ථක ක්‍රමයක් වගේ ම ගොඩ දෙනෙක් අනුගමනය කරන ක්‍රමයක්. මේකයි තියරිය. ස්ත්‍රියක් සරු වන්නේ මාසයකට දින කිහිපයක් පමණයි. සරළව කිවහොත් කාන්තාවක්ගැ බ් ගන්නේ ඔසප් චක්‍රයේ 8 වන දින සහ 19වන දින අතර පිරිමියෙකු සමඟ ලිංගිකව හැසිරුණහොත් පමණයි. අනික් දවස් වලට ලිංගිකව හැසිරුණා කියා ගර්භනී වෙන්නට ඉඩක් ඇත්තේ ම නැහැ... ඉතින් මේ නිසරු දවස් වල දී පමණක් ලිංගිකව එකතුවීම ද එක්තරා ආකාරයක උපත් පාලන ක්‍රමයක්.

හැබැයි පුතෝ මේ ගණන් හැදිල්ල හරියන්න නම් කෙල්ලගේ ඔසප් ක්‍රමවත් ව හරි දවසට හැදෙන්න ඕනි.  ඔසප් හැදෙන්නේ අක්‍රමවත් ව නම් මේ    ක්‍රමය වැරදීමට ඉතා ඉහල සම්භාවිතාවයක් තිබෙනවා.

ප.ලි. (ඔසප් චක්‍රයේ පලවෙනි දවස කියන්නේ කෙල්ලට dates හැදෙන්න පටන් ගන්න දවස.😃  ඔයාල room යන්න හිතනවා නම් කෙල්ලට dates හැදෙන්න ඔන්න මෙන්න කියල room එකකට ගියානම් වැඩේ හරි.  )

අදට ඇති... කොන්ඩම්, හදිසි ගැබ් ගැනීම් වලක්වා ගැනීමේ පෙති ගැන ඉක්මනටම කතා කරමු.



Tuesday, August 1, 2017

අපි room එකකට ගියා... එයා pregnant... දැන් මොකද කරන්නේ...

මං මේ දවස් වල private practice කරන තැනට ආපු කපල් එකක් ගැන කතාවක් අද කියන්නම්...

මේ දෙන්නට පෙනුමෙන් නම් අවුරුදු 20ක් වත් නැතිව ඇති. අර I'm his - He is Mine කියල ගහපු T - Shirt ඇඳගෙන උකුළු මුකුලු පාපු මේ දෙන්න දකිද්දි මට හිතුනෙ හරිම ආදරණීය couple එකක් කියල.

Pregnancy test එකක් කරගන්න පුළුවන් ද? එයාල එහෙම ඇහුව.

පුළුවන් කියපු මිසී ගැහැණු ළමයගෙන් මුත්‍රා සාම්පලයක් එහෙම අරගෙන urine hCG test එක, ඒ කියන්නෙ pregnant ද කියල බලන මුත්‍රා පරීක්ෂණේ කරන්න පටන් ගත්ත.

රිපෝට් එක ආව. කෙල්ල pregnant !

කෙල්ල හොඳට ම භය වෙලා. අඬන්න ඔන්න මෙන්න වගේ... එකත් එකට ම මෙයාල තාම marry කරලවත් නැතුව ඇති.

ඔයාල ගිහින් VOG මහත්තයෙක් හම්බවෙන්න. එයා විටමින් එහෙම ලියල දේවි. මං එහෙම කීවට එයාලගෙ මුහුණුවල ඇඳිල තිබ්බෙ ප්‍රශ්නාර්ථයක සේයාවක්.

වෙන මොනවත් අහන්නෙවත් කියන්නෙවත් නැතුව මෙයාල යන්න ගියා...

කොහේ ගියා ද මොනව කරගත්ත ද මම නම් දන්නෙ නැහැ.

හැබැයි මේ හරියෙ හොරෙන් ගබ්සා කරන තැන් නම් ඕනි තරම් තියෙනවා...

Marry කරන්න කලින් Sex කරන්න එපා කියන එක මේ කාලේ කරන තේරුමක් නැති කතාවක්. හැබැයි අඩුම ගානේ උපත් පාලන ක්‍රම ගැනයි ලිංගාශ්‍රිත රෝග ගැනයි සාමාන්‍ය දැනුමක්වත් තරුණ ළමයින්ට දෙන්න විදියක් තියෙන්න ඕනි.

ලංකාව කියන්නේ ආගමික සංකල්ප කරපින්නා ගත්ත රටක් උනාට දවසකට අනවසර ගබ්සා 1000කට කිට්ටු ගණනක් වෙනවා කියන එකත් මේ වෙලාවේ ම මතක් කරන්න ඕනි. 

post එක හොඳ නම් like කරන්න share කරන්න වගේම comment කරන්නත් අමතක කරන්න එපා... 😀😃