ඔව්, එන්න පුළුවන්. ඊට අමතරව තව ගොඩක් දේවල් වෙන්නත් පුළුවන්. අද කතාකරමු ඒ දේවල් ගැන.
ඊට කලින් තව ලෙඩෙක් ගැන විස්තර ටිකක් කියල ඉන්නම්. මෙයා මට හමුවෙන්නේ මීට අවුරුදු දෙකතුනකට කලින් ප්‍රසව හා නාරිවේද වාට්ටුවේ වැඩ කරන කාලේ දී.
මෙයා ඇවිත් හිටියේ ගර්භාෂය අයින් කරන ඔපරේෂන් එක කරගන්න. මතක විදියට මෙයාට තිබ්බේ යෝනි මාර්ගයෙන් ලේ යනවා වැඩි ප්‍රශ්නයක්. හැබැයි මෙයට ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් තිබුණා . දැන් අවුරුදු ගාණක ඉඳලා මෙයාට හරියට මුත්‍රා යන්නේ නෑලු. දෙපාරක් විතර මුත්‍රා මාර්ගය හරහා පොඩි කුරක් දාල මුත්‍රා මාර්ගය පළල් කරන ඔපරේෂන් එකත් කළා ලු. ඒත් තාම හරියට මුත්‍රා යන්නේ නෑලු. අමාරුවෙන් තටමලා ලු මුත්‍රා කරන්න ඕනි. කැඩී කැඩී ලු මුත්‍රා යන්නේ. මාරම දුකක් ලු විඳින්නේ.
මෙයා සීසර් සැත්කම් තුනක් කරගෙන තිබ්බ අවුරුදු 55ක වගේ කාන්තාවක්.
ඉතින් කොහොමහරි මේ ලෙඩාගේ ගර්භාෂය ඉවත්කරන සැත්කම කරගෙන යනකොට තමයි දැක්කේ බඩ ඇතුල හැමතැනම එහාට මෙහාට ඇලිල කියල. අපේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්යතුමන්ටත් සැහෙන්න දඟලන්න වුණා මේ ඇලිච්ච එව්වා (adhesions ) ගලවලා ගර්භාෂය මතුකරගන්න.
ට සිරි කියන්නේ ගර්භාෂය ගලවනකොට තමයි දැක්කේ එක ඉස්සරහින් තියන මුත්රාශයට හොඳටම ඇලිලා කියලා. ඒ මදිවට මුත්‍රා මාර්ගයත් තෙරපිලා.
අන්න එතකොට තමයි අපිට මේ ලෙඩා මේ කාලයක් තිස්සේ පිඩා වින්දයි කියන මුත්‍රා අමාරුවට හේතුව හරියටම තේරුනේ. කොහොමහරි මේ ඇලිච්ච එව්වා ගලවලා ගර්භාශයත් අයින් කරලා සැත්කම නිමාවෙනවා .
පස්සේ දවසේ මට මේ ලෙඩා හමුවෙනවා.
ඩොක්ටර් දැන් නම් මට මුත්‍රා කරද්දී කිසිම ප්‍රශ්නයක් නෑ . හොඳට යනවා. ලෙඩාගේ මුණේ ඇඳිලා තිබ්බ හිනාවෙන් ම තේරුණා මනුස්සයා කොයි තරම් නම් සතුටකින් ද ඉන්නේ කියලා.
ඉතින් මේ විදියට මුත්‍රා මාර්ගයේ සංකුලතා එන එකයි හර්නියා අමාරු එන එකයි ඇරෙන්න වෙන මොනවද සීසර් සැත්කම් හන්ද වෙන්න පුළුවන් අතුරු ප්‍රථිපල ?
විශේෂයෙන් ම කලින් කිව්වා වගේ සැත්කම කරපු තැන් වලට බඩවැල් එහෙම ඇලිල හිතාගන්න බැරි බඩේ කැක්කුම් එන්න පුළුවන්.
ඒ වගේ ම ඊළග සැරේ pregnant වෙනකොට වැදැමහ ගර්භාෂය ඇතුලත බිත්තියට සවිවෙන්නේ නැතිව අර කලින් සීසර් කැපුම තියන තැනින් එළියට ඇවිත් ගර්භාෂයේ එළියේ බිත්තියට එහෙමත් නැත්නම් ගර්භාෂයට එහායින් තියෙන මුතාශයට සවිවෙලා placenta previa, placenta acreta කියන ඕනෑම වෙලාවක අම්මට වගේ ම බබාට හානියක් වෙන්න පුළුවන් මහා භයානක තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.
සීසර් සැත්කම කළාට පස්සේ ගර්භාශයේ කැපුම තියෙන තැන තුනී වෙලා යනවා. එතකොට ඊළග සැරේ pregnancy එකේදී ඔතැනින් ගර්භාෂය ඉරිලා යන්න පුළුවන්. විශේෂයෙන් ම එයාට සාමාන්‍ය විදියට බබා හම්බෙන්න ගියොත්. එකයි එකපාරක් සීසර් කරපු කෙනෙක් ට කැක්කුම් එන්න කලින් සති 37න් වගේ ආයේ සීසර් එකක් කරලා බබාව ගන්නේ. හැබැයි එක පාරක් සීසර් කරපු කෙනෙක් තව පාරක් සීසර් කරන්නේ නැතිව මේ කියන ඉරිලා යන එක වෙනවද කියල බල බල සාමාන්‍ය විදියට බබා ගන්න වෙලාවල් තියෙනවා ඉස්පිරිතාලේදී...
මිට අමතරව කොන්දට විදින ඉන්ජෙක්ෂන් එකට ඇලජික් වෙන්න පුළුවන්.
කොන්දට විදින ඉන්ජෙක්ෂන් එක හන්ද ගොඩක් වෙලා කකුල් පණ නැතිවෙනවා. මේ විදියට කකුල් එකම විදියට තියනකොට ලේ කැටි හැදිලා ඒවා පෙනහළු වලට ගිහින් හුස්මගැනීමේ අපහසුතා එන්න පුළුවන්.
සිසේරියන් සැත්කමකට පස්සේ කළාතුරකින් අධික රුධිරවහනයක් වෙන්න පුළුවන්. මේ දේ nomal delivery එකකින් පස්සේ වෙන්නත් පුළුවන් වුණාට සීසර් සැත්කමකින් පස්සේ එහෙම වෙන්න තියෙන chance එක ඉතා වැඩියි. කලාතුරකින් වෙලාවක මෙහෙම ලේ යන එක නතර කරන්න ගර්භාෂය ඉවත් කරන්න වෙන්නත් පුළුවන්.
මිට අමතරව සැත්කම කරපු තැන ආසාදනය වෙන්නත් පුළුවන්. ඒ වගේම සැත්කම කරනකොට ළග පාත තියෙන මුත්‍රාශය වගේ වෙන අවයව වලට හානි වෙන වෙලාවලුත් තියෙනවා.
අම්මට විතරක් ම නෙවෙයි බබාටත් සීසර් සැත්කම හන්ද වෙන බලපෑම් තියෙනවා. සැත්කම කරන්න කපනකොට බබාව කැපෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ ම එයාට හුස්ම ගන්න අමාරු වෙන වෙලාවල් වැඩියි.
ඉතින් ඕවා තමයි වෙන්න පුළුවන්.
ඇත්තටම කොයි වගේ අයගේද සීසර් සැත්කම් කරන්න ඕනි.? සමහර විට ඔබට ප්‍රශ්නයක් ඇති.
බබා හැරිලා නැති සමහර අවස්ථා වල
twins ලා ඉන්නකොට ( පළවෙනි twin හැරිලා නැත්නම්)
ප්‍රසුතියේදී එන අධික මහන්සිය දරාගැනීමට අසීරු ඇතැම් හෘදරෝග මවට ඇතිවිට
කුසෙහි සිටින බබාට වැදැමහ හරහා රුධිරගමනය අඩාල වී ඇති අවස්ථා වලදී
කුසෙහි සිටින දරුවා අධි බර විට
මවට ඒඩ්ස්, genital herpes වැනි දරුවට normal delivery එකකදී සම්ප්‍රේෂණය විය හැකි රෝග ඇතිවිට
පෙර සඳහන් කල placenta previa , accreta තත්ත්ව ඇතිවිට
සහ බබා nomal ගන්න ගොස් ඇතිවිය හැකි බබාගේ හිස හිරවීම් සහ බබාගේ ජිවිතයට හානියක් විය හැකි පෙකණි වැල හිරවීම් වැනි තත්ත්ව වලදී , බබාට වැදැමහ හරහා ලේ යන එක අනතුරුදායක ලෙස අඩුවීම් වලදී (මෙවන් අවස්ථා බඩට සවිකරන CTG පටියෙන් හඳුනාගත හැකිය.), වැනි අවස්ථා වල දී සිසේරියන් සැත්කම් සිදුකරයි.
ඩොක්ටර් ඔහොම කිව්වට අපි දන්නා ගොඩක් අය ඉන්නවනේ සීසර් දෙකතුන කරන ඔය මුකුත් නැතිව. ඔයා සමහරවිට එහෙම අහයි.
ඔව්. ඉන්නවා. ඒත් ඕනෑම වෙලාවක සීසර් කරනකොට මං මේ කියල තියෙන දේවල් වෙන්න පුළුවන්. ඔයාට එහෙම වුණොත්...
අදට ඇති. මං වෛද්ය ජයසංඛ නවෝද්, ඇල්පිටිය මූලික රෝහලේ සිට...
පෝස්ට් එක තව කෙනෙක් ට බලන්න share කරගෙන ම යන්න හොඳේ...
හැබැයි share නොකර post එක copy paste කරන්න නම් එපා... මේවගේ තව ලිපි කියවන්න කැමතිනම් එන්න මගේ fb පිටුවට, ඩොකාගේ ඩයරිය ...
කලින් ලිපි පොතක් විදියට කියවන්න කැමති නම් මෙන්න link එක.
ග්රන්ථ.lk එකෙන් ගෙදරට ම ගෙන්නාගන්න පුළුවන් .