Saturday, May 29, 2021

IHR

මගේ ලිපි කියවන ඔයාලා සමහරවිට දන්නේ නැතුව ඇති මං දැන් වැඩකරන්නේ ඔපරේෂන් වාට්ටුවක කියලා. ඉතින් අද කතාව මට වාට්ටුවෙදි හම්බවෙච්ච ලෙඩෙක් ගැන.
 මේ ලෙඩා ආවෙ හර්නියා අමාරුව කියාගෙන. ඒ කියන්නෙ කහිනකොට,තටමනකොට බඩේ ඉස්සරහින් ගුලියක් වගේ බඩවැල් එළියට පනිනවා... මේක ටිකක් විතර කරදරකාරී දෙයක්, කැක්කුම එන දෙයක්. සමහර වෙලාවට ඕකෙ බඩ වැල් ඇලුණාම ගෙඩිය වගේ එළියට නෙරලම තියෙනවා. කලාතුරකින් වෙලාවක ඕක ඇතුලෙ හිරවෙන බඩවැල් වලට ලේ යන්නෙ නැතුව ඒව කුණුවෙන වෙලාවලුත් තියෙනවා. 
ඉතින් අපි කරන්නෙ එච්චර හදියක් වෙන්න කලින් දිනයක් දීල ඕක හරිගස්සන එක. 
ඒකට කරන්නෙ අර බඩවැල් , බඩ ඇතුලෙන් එළියට පනින සිදුර මහල ඒකට උඩින් ආයෙ ඇරෙන්නෙ නැතුවෙන්න දැලකුත් දාලා බඩේ ඉස්සරහ බිත්තියේ ශක්තිය වැඩි කරන එක. 
කොහොමහරි ඔන්න මේ කියන ලෙඩා අදාල දවසෙ ඇඩ්මිට් වුණා... මෙයාගෙ බඩේ ඉස්සරහ බිත්තිය මේ විදියට දුර්වල වෙන්න හේතුවෙලා තිබුණෙ කලින් බඩ කපලා කරපු ශල්‍යකර්මයක්. 
ඊට අමතරව නිතරම කැස්ස තියන අයගෙ, මළ මුත්‍රා කරනකොට නිතර තදින් තටමන අයගේ වගේම සමහර ජානමය රෝග තියන අයගෙ මේ වගේ බඩේ බිත්ති දුර්වල වෙලා හර්නියා අමාරු හැදෙනවා. තව, නිතර බර උස්සන අයගෙත් බඩේ ඉස්සරහ බිත්තිය තදවෙනවා වැඩි හන්ද ඒව දුර්වල වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි. 
කොහොමහරි අපි මෙයාගෙ සැත්කම කරලා අර කලින් කිව්වා වගේ බඩේ ඉස්සරහා බිත්තියේ ශක්තිය වැඩිවෙන්න දැලකුත් prolene mesh) දැම්මා. 
හරි. වැඩේ ඉවරයි. ලෙඩත් දවස් දෙකකින් විතර ටිකට් කපන් ගෙදර ගියා...

ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ කියලා හිතුනෙ සතියකට වගේ පස්සෙ මේ ලෙඩා ආපහු ඇවිත් තිබුණ හන්ද. ටසිරි කියන්නෙ අපි මහපු තැන හොඳටම සැරව. තුවාලෙට විසබීජ ගිහින්. 
දැන් ඉතින් මාත් ඇතුළුව මෙයාගෙ ඔපරේසම කරපු ඩොක්ටර්ලට මාර අවුල. අපි හරියට අත් එහෙම හෝදගෙන ජීවාණුහරණය කරපු බඩු වලින් ෆුල් ක්ලීන් පිට වැඩේ කළේ. ඒත් මෙහෙම වුණේ කොහොමද... මාර ප්‍රශ්නෙ. 

මහත්තයෝ ගියපාරත් එහෙමම හර්නියා ඔපරේසම කරලා තුවාලෙ පැසෙව්වා... මෙන්න ලෙඩා එකපාරටම කියපි. 
දැන්ද මනුස්සයෝ ඕක කියන්නෙ. අපිට අසූහාරදාහට කේන්තියි...

වෛද්‍යවරු විදියට අපි ලෙඩෙක් ඔපරේසන් කරන්න කලින් එයාගෙ පරණ රෝග වාර්තා ඔක්කොම කියවලා බලනවා සහ ලෙඩාගෙන් අහලා දැනගන්නවා. හැබැයි මේ ලෙඩාගෙ පරණ ඔපරේසන් කාඩ් මුකුත් තිබුණෙ නෑ. ලෙඩාට මුකුත් ඇලජික් වෙලාද පලු දැම්මද කරප්පන් දැම්මද කියල ඇහුවට නෑ කියලමයි කිව්වෙ. 
පස්සෙ එයා කියනවා ඒවා කිව්වොත් මේසැරේ ඔපර්සම කරන්නේ නැතිවෙයි කියලා හිතලලු කීවෙ නැත්තෙ කියලා. 

සමහර අයට මේ හර්නියා ඔපරේසම කරනකොට දාන දැල ආසාත්මික වෙනවා. එහෙම අයට කරන්න තියන්නේ ආසාත්මික නොවෙන ද්‍රව්‍යකින් හදපු non allergic දැලක් දාන එක. හැබැයි මේවගෙ ගාණ හොඳටම වැඩියි. ආණ්ඩුවෙන් හම්බවෙන්නෙත් නෑ. ඉතින් එතකොට කරන්නෙ දැල දාන්නෙ නැතුව හර්නියා සිදුර වහලා දාන එක. ඒක ඒහැටි සාර්ථක නෑ. ආයෙ ආය එන්න පුළුවන් . ඒත් ඉතින් ඒකට කරන්න දේකුත් නෑ ලෙඩාට ම ඒවගේ දැලක් ගන්න එක ඇර. ඉතින් එහෙම ආසාත්මික වුණාට පස්සෙ එතන ඉදිමිලා විසබීජ වර්ධනය වුණාට පස්සෙ තමයි තුවාලෙ පැසවන්නෙ. 

දැන් ඉතින් මේ ලෙඩා තාම වාට්ටුවේ ඉන්නවා. ලොකු ලොකු ඇන්ටිබයොටික් මහ ගොඩකුත් විදිනවා තුවාලෙ වේලෙන්න. ඒ මදිවට ආයෙත් ඔපරේෂන් කාමරේට අරන් තුවාලෙ සුද්ද කරලා දාන්නත් වෙලා. 

මේ ඔක්කොම ලෙඩා හරියට එයාගෙ කලින් විස්තර කියපු නැති හන්දා... ඉතින් ඔයාලත් එහෙම වෛද්‍යවරයා ඉදිරියේ ඇත්ත හංගනවා නම්. බලාගෙනයි. පරිස්සමෙන්... හොඳේ... වැඩේ ඔයා හිතන්නෙ නැති පැත්තකට යන්න පුළුවන් ... 

තව දෙයක්. හර්නියා අමාරු ගැන කතා කරපු එකේ ඒව එන්න බලපාන හේතු ගැනත් කතා කරමු.
කැස්ස දිගට තියෙනවා නම්
මුත්‍රා කරනකොට මළපහ කරනකොට හැමදාම තටමන්න ඕනි නම් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා ඒ අමාරු අඩු කරගන්න. නැත්නම් පස්සෙ දවසක ඒ හන්දම හර්නියා අමාරු එන්න ගොඩක් ලොකු ඉඩක් තියෙනවා.

අදට ඇති. මං වෛද්‍ය ජයසංඛ නවෝද්, ඇල්පිටිය මූලික රෝහලේ සිට...

1 comment:

  1. එතකොට හර්නියා වලට වෘෂණ කෝෂ නෙවෙයිද ලොකු වෙන්නේ? ඒක වෙනම ලෙඩක්ද?

    ReplyDelete