Monday, September 25, 2017

Attention deficit hyperactive disorder

මං මේ ළඟදී පාර්ක් එකකට ගියා. අපේ නෝනා මහත්තයාත් එක්ක. පොඩි උන් හැම තැනම. නිදහසේ පෙම් සුව විදින්නත් බැහැ.
එක තැනක ඉදගත්තා විතරයි අපි ළඟට ආවේ අවුරුදු 4ක විතර ගැහැණු දරුවෙක්. මනුස්සයා එහාට දුවනවා මෙහාට දුවනවා. හරිම දඟයි.
තව පොඩ්ඩෙන් මෙයා අපි දෙන්නවත් පෙරළන් දුවනවා. මං මෙයාට කතා කළා. එතකොට තමයි තේරුනේ මෙයාට මොකක් නමුත් අවුලක් තියනවා කියල.

මෙයා ඒ වයසේ  වෙන පොඩි එකෙක් වගේ නෙවෙයි.

මෙයා මං දිහා එක එල්ලේ බලාගෙන කතා කළෙම නැහැ. වෙන කොහෙද හිත තිබ්බේ. ඒ මදිවට මගේ කොන්ඩෙනුත් අදින්න පටන් ගත්තා.

මං වෛද්‍යවරයෙක් බව එයාලට කියපු මං අම්මත් එක්ක කතාවක් ඇරඹුවා.

අම්මේ මෙයා ඉස්සර ඉදන් ම මෙහෙම ද ? ඔව් ඩොක්ටර්. මෙයාට ADHD. දැන් අවුරුද්දක් විතර බෙහෙත් ගන්නවා... දැන් නම් ඉස්සරට වඩා අඩුයි.

ඉතින් අපි ඒ කතාව එහෙම ම තියල අපි අද බලමු මොකද්ද මේ ADHD එහෙමත් නැත්තම් අධි ක්‍රියාශීලිත්වය කියල.

අධි ක්‍රියාකාරීත්වය එහෙමත් නැත්නම් හරියටම කිවොත් ADHD (Attention deficit hyperactive disorder) කියන්නේ පොඩි අයට වැළඳෙන සුලබ මානසික රෝගයක්. මේකට ම Hyperkinetic disorder කියලත් කියනවා.
මුලින් ම කියන්නම්, මේ කියන්න යන්නේ ටිකක් වැඩිපුර දඟ දරුවෙක් ගැන නම් නෙවෙයි. දඟ හැබැයි ටිකක් අමුතු විදියට දඟ, මොකක් හරි අවුලක් තියනවා වගේ දඟ දරුවෙක් ගැන. විශේෂයෙන් ම මේ දැගලිල්ල දරුවාටත් අන් අයටත් හානි දායක මට්ටමකට තියන දරුවෙක් ගැන. 
බොහෝවිට මොවුන් පළමුව හඳුනා ගැනෙන්නේ පෙරපාසල් යන වයස් සිමාවේ දී ය. බහුතරය පිරිමි ළමුන්.
නමින් ම කියවෙන පරිදි මොවුන් අධික ලෙස ක්‍රියාශීලියි. හොදටම දඟලනවා. නලියනවා, ඇඹරෙනවා. එක තැනක රැදෙන්නට අපහසුයි. කියවනවා ඉවරෙකුත් නෑ. ගෝෂාකාරී මට්ටමට ම කතාව වැඩියි. මොහොතක් සන්සුන්ව ඉන්නෙත් නැහැ.  විශේෂයෙන්ම අදාල නැති , සන්සුන්ව ඉන්න ඕනි තැන වල අනවශ්‍ය විදියට උඩපනිනවා නටනවා, දඟකරනවා, කෑගහනවා.  පාලනය කිරීම හරි අපහසුයි. තරවටු කිරීම් ගණන් ගන්නෙත් නැහැ. 

දෙවැනි කාරණය තමයි මොවුන්ගේ අවධානය එක තැනක තියාගැනීම අපහසුයි. එක වැඩක රැඳිලා ඉන්න අමාරුයි.ටක් ගාල එහෙ මෙහෙ වෙනවා. ගෙදර දොරේ වැඩක් හරියට සම්පුර්ණ කරන්න අමාරුයි. අතුගාන්න කිවොත් ටික වෙලාවකින් බලද්දී එක අත ඇරලා වෙන වැඩක්. තවත් ටිකකින් බලද්දී ඒ වැඩෙත් අත ඇරලා වෙනම ම වැඩක්.  පාඩම් එහෙම කරන්න ම බැහැ. කියන දෙයක් තේරුම් ගන්නෙත් අමාරුවෙන්. ඒ මදිවට කවුරුහරි එයාට කතාකරනකොට එයාට සවන් දෙන්නෙත් හරි අමාරුවෙන්. කියන දෙයක් දිගටම අහන ඉන්නෙත් අමාරුවෙන්. නිතර අමතක වෙනවා. මොවුන්ගේ අවධානය වෙන කෙනෙක්ට ඉතා ලේසියෙන් වෙනස් කරන්නත් පුළුවන්. ඉක්මනට බයවෙනවා වගේ ගතියකුත් තියනවා.
(මොවුන් අධ්‍යාපනය ට දක්ෂයි. නමුත් ප්‍රශ්නය හිත එක තැනක තියාගන්න බැරි හන්ද එයාලට එක කරන්න බැරි එක. එතකොට අපිට හිතෙන්නේ මෙයා මෝඩයෙක් කියල. )
ඒ වගේම මොවුන් බොහොම ආවේගශීලි . දරුණු රණ්ඩු වලට එහෙම නිතරම යනවා. තමන්ගේ වාරය එනතුරු ඉන්න අමාරුයි ගතියකුත් තියනවා.
මේ කියන කරුණු අඩු වැඩි වශයෙන් ඕනෑම දරුවෙකුගේ දකින්නට තියෙනවා. මේක ප්‍රතිකාර කල යුතු මානසික රෝගයක් වන්නේ ඉතා කලාතුරකින්.
විශේෂයෙන් ම ADHD වෙන්න නම් මේ රෝග ලක්ෂණ දරුවාගේ වයස අවුරුදු 6ට කලින් පටන් ගන්න ඕනි වගේම දිගු කාලයක් රෝග ලක්ෂණ තිබිල තියෙන්නත් ඕනි. 
ඒ වගේම ගෙදරදී වගේම පාසලේදී එකියන්නේ එකිනෙකට වෙනස් තැන දෙකකදී මේ රෝග ලක්ෂණ වෙනසක් නැතිවම පෙන්නන්නත් ඕනි. 
ඒ කියන්නේ ගෙදර හොඳට ඉදල ඉස්කෝලෙදි දඟ කරනවා කියන්නේ වෙන මොකක් හරි ප්‍රස්නයක් තියන්නේ.  මේක නෙවෙයි.
මේක මානසික රෝගයක් උනාට හොද කරන්නත් පුළුවන්.
මයිකල් ෆෙල්ප්ස්, විල් ස්මිත්, රිචඩ් බ්‍රන්සන්, පැරිස් හිල්ටන් කියන්නේ
ඒවගේ පොඩිකාලේ ADHD තිබුණු අය.
මේ post එක කියවලා ඉවර ඔයාලට හිතෙනවා නේද මගේ දරුවටත් මේ කියන තත්වය තියනවද කියල. නැහැ. ඒ අධි ක්‍රියාකාරිත්වය නෙවෙයි. එක normal. බබාට මේ ලෙඩේ තියන්න නම් අම්මට හිතෙන ඕනි මගේ එකා දඟයි හැබැයි ඒ දඟ ගතිය අනික් අයගේ දඟ ගතිය වගේ නෙවෙයි , මොකක් හරි අවුලක් තියනවා කියන එක. එත් එක්කම නුරුස්සන ගතියයි අනවධානයි දෙකම තියන්නත් ඕනි.
ඔයාට සැකයි නම් ඔයාගේ දරුවා ගැන, doctor කෙනෙක් ට පෙන්නගන්න. අධි ක්‍රියාශීලි ද නැද්ද කියල දරුවා දිහා බලන්නේ නැතුව හරියටම කියන්න අමාරුයි.
මෙම තත්වය ස්නායු වර්ධනය වීමේ අසාමාන්‍යතාවයක් වන අතර ඔබ සාමාන්‍ය වෛද්‍යවරයෙකු හමු වූ විට ඔහු රෝගී තත්වය පරික්ෂාකර බලා වැඩිදුර ප්‍රතිකාර සඳහා මානසික රෝග පිළිඹඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම සිදු කරාවි.
ADHD තත්වය ජානමය හේතු නිසා ඇතිවන්නට පුළුවන්. පවුලේ කෙනෙක්ට තියෙනවා නම් තවත් කෙනෙක් මේ තත්වයෙන් පිඩා විදින්නට ඇති හැකියාව ඉහලයි. ඊට අමතර ව දරුවා කොන් කිරීම, මානසික ප්‍රශ්න, මව ගර්භනී සමයේ මද්‍යසාර පානය කිරීම වැනි සමාජයීය තත්ත්ව නිසාත්  අඩු මාස අඩු බර දරු උපත් නිසාත් මේ කියන ADHD රෝග තත්වය ඇතිවෙන්න ගොඩක් ලොකු අවස්ථාවක් තියෙනවා. 

ඔබගේ දරුවා ADHD තත්වයෙන් පිඩා විඳිනවා නම් ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍යයි. එහිදී මානසික රෝග වෛද්‍යවරයා ඖෂධ ප්‍රතිකාර මෙන් ම ඖෂධමය නොවන මනෝ චිකිත්සක ප්‍රතිකාර ද නිර්දේශ කිරීම සිදු කරාවි.


ඒ වගේම මේ තත්වයට දෙන බෙහෙත් වැඩ කරන්න ටිකක් විතර කාලයක් යනවා. ඒ කියන්නේ අද බෙහෙත් දීල හෙට අනිද්දා වෙද්දී දරුවා normal වෙන්නේ නම් නැහැ. මාසයක් විතර යනවා ගොඩක් වෙලාවට. ටික ටික තමයි අඩු වෙන්නේ. ඒ වගේම බෙහෙත් බොහෝ කාලයක් යනකන් ගන්න වෙනවා කියන එකත් මේ එක්කම කියන්න ඕනි. බොහෝ විට අවුරුදු ගණනක්.

එතකන් දරුවාට ආදරය දැනෙන්න ජිවත් වෙන්න. ඔහුගේ වැඩ වලට කාල සටහනක් හදන්න. හොද දේ අගය කරන්න. නරක දෙයක් කල විට බැන වැදීම නොකරන්න. උපදෙස් දෙනවිට කෙටියෙන් පැහැදිලිව කරන්න.

කවදාවත් බෙහෙත් නතර කරන්න නම් එපා. ලෙඩේ වැඩි වෙලා අන්තිමට පිස්සෙක් වෙලා ම යයි. 

3 comments:

  1. මෙම ළමුන් තුළ පරපීඩක කාමුකත්වය දකින්න පුලුවන්නේද...

    ReplyDelete
  2. මේ ADHD අනවධාන / අධි ක්‍රියාශීලී අක්‍රමතාවය ගැන මා විසින් Daily Newsපුවත් පතට ලියූ ලිපියක්

    http://archives.dailynews.lk/2008/09/15/fea10.asp

    ReplyDelete