උඹටත් මටත් ප්‍රශ්න අපි හැමෝටම ප්‍රශ්න යලි නොඑන ගමන් ගිය දස්සා ගැන හද පාරණ සටහන් පෙළක්
අනේ චුට්ටක් ඇවිත් යන්න එන්න දසුන් අයියේ
මේ ඊයේ පෙරේදා. News එකක්.
රූමත් සරසවි සිසුවිය කෝච්චියට පැනලා.
ඒ මාස කිහිපයකට කලින්.
දම් පැහැ සාරියකින් සැරසී සිටි ඇගේ මුහුණේ වූ අව්‍යාජ සිනාව සමහර විටෙක ඔබට තවමත් මතක ඇති. ඇය කෝච්චියට පැන සියදිවි නසාගෙන තිබුනේ පේරාදෙණිය සරසවියේ යකා පාළම අසල දී ය.
ඒ දවස් වල ම තව තව ලස්සන නංගිලා දෙතුන් දෙනෙක් ප්‍රශ්න හන්ද කෝච්චියට පැන්න හන්ද ප්‍රශ්න තියන අයට කෝච්චියට පනින්න එපැයි කියල අයියලා post එහෙමත් share කරල තිබුණා මතකයි.
අපි හැමෝට ම ප්‍රශ්න තියනවානේ, ඉතින් ප්‍රශ්න ගැන හොඳ යාලුවෙක් එක්ක කීව නම් හරිනේ. එතකොට හිතත් නිදහස්. මොකටැයි කෝච්චියට පනින්නේ...මොකටැයි බෙල්ලේ වැල දාගන්නේ...
ඔබටත් එසේ සිතෙනවා ඇති.
නමුත් මේ වගේ ප්‍රශ්න තියෙන, සියදිවි හානි කරගන්න හිතන් ඉන්න සමහර අයත් එක්ක කතා කරල විතරක් ම මදි. ඔවුන් ට බෙහෙත් දෙන්නත් ඕනි.
මොකක්... හිතේ ප්‍රශ්න වලට මොකට ද බෙහෙත් දෙන්නේ...
ඔව් ඔව්. බෙහෙත් තමයි. ඒ විතරක් ම නෙවෙයි සමහරක් වෙලාවට හොස්පිටල් එකක ඇඩ්මිට් කරන්නත් ඕනි. ඒ කරලා තව තව ප්‍රතිකාර කරන්නත් ඕනි.
මේකයි සීන් එක.
ප්‍රශ්න කියන්නෙ අපි හැමෝටම තියන දේවල්. ප්‍රශ්න එනකොට අපි ෆුල් අව්ල් ගහනවා. හිත එහෙ මෙහෙ වෙනවා. අපි විතරක් ම නෙවෙයි අපේ මොලේ ඇතුලෙ තියන serotonin වගේ රසායන ද්‍රව්‍යත් ඒ වගේ ම එහෙ මෙහෙ වෙනවා. සරලව කීවොත් chemical imbalance එකක් එනවා.
හිතේ අවුල ලොකුවට නැත්නම් මෙයත් එක්ක කතා බහ කරල හිත හැදුවාම අර කියපු රසායන ද්‍රව්‍ය ආපහු මුල් තත්වෙට ම එනවා. එතකොට එයාට තියන සියදිවි නසාගැනීමේ සිතුවිල්ලත් නැතිවෙලා යනවා.
එහෙම වුණේ නැත්නම් ඉතින් මෙයාට බෙහෙත් දෙන්න වෙනවා. ඒත් හරියන්නේ නැත්තම් රෝහලක ඇතුල් කරලා ප්‍රතිකාර කරන්න වෙනවා. ඒ වගේ ම ECT වගේ මොළයට කරන්ට් එක අල්ලන සමහර ප්‍රතිකාර කරන්නත් වෙනවා. එතකොට තමයි අර කියපු සියදිවි නසාගැනීමේ සිතුවිල්ල ටිකෙන් ටික
නැතිවෙලා යන්නේ.
ඉතින් නිසි වෙලාවට මේ කියන ප්‍රතිකාර සිදු නොවුනොත් එයාගේ තත්වය එන්න එන්නම උග්‍ර වෙලා සිය දිවි හානි කරගැනීමකින් තමයි සේරම කෙලවර වෙන්නේ.
හරියට අපේ දසුන් වගේ... අර කැම්පස් නංගි වගේ...
එහෙම සියදිවි හානි කරගන්න හිතෙන එක ඒ ලෙඩේ හැටි. ඒ හන්ද මොන ප්‍රශ්න තිබ්බත් බෙල්ලේ වැල දාගන්න එපා කියල, උඹේ අහිංසක අම්ම ගැන හිතන්න තිබ්බ කියල post share කලාට කිසි වැඩක් වෙන්නේ නැහැ. ඒක ලෙඩේ හැටි. ලෙඩේ හොඳ වෙනකොට තමයි ටිකෙන් ටික අර සියදිවි හානි කරගැනීමේ සිතුවිල්ල අඩු වෙලා යන්නේ. එක හරියට මේ වගේ. උණ තියන ලෙඩෙක් ට මුකුත් නොකර හිටියොත් උණ අඩු වෙන්නේ නැහැනේ. බෙහෙත් දෙන්නම ඕනි උණ අඩුවෙලා යන්න. අන්න ඒ වගේ තමයි මේ ලෙඩෙත්. ප්‍රතිකාර කරන්නම ඕනි රෝග ලක්ෂණ (ඒ කියන්නේ මැරෙන්න හිතෙන සිතුවිල්ල එහෙමත් නැත්නම් feeling එක) අඩු වෙන්න.
එහෙනම් ඉතින් මුලින් ම කිව්වා. ඔයා දන්නා කෙනෙක්ට එහෙම නැත්තම් ඔයාට මං දැන් මේ කියන්න ලෑස්තිවෙන ලක්ෂණ තියනවා නම් කතා බහ කලාට එයාගේ ඒ ගති වෙනස් වෙන්නේ නැති නම් අනිවාර්යයෙන් ම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ළඟට යොමු කරන්න කියන එක මුලින් ම කියල ඉන්නම්. එහෙම කරලා මේ වගේ තව කෙනෙක් මරණයෙන් ජීවිතය කෙළවර කරගන්න එක නවත්තන්න බලන්න.
එහෙම නැතිව ප්‍රශ්න තියනවනම් බෙල්ලේ වැල දාගන්න එපා කියල post share කර කරන ඉන්න එපා. එහෙම කරලා වැඩක්ම නැහැ.
මොකද එක ඒ ලෙඩේ හැටි. හරි ප්‍රතිකාරයක් ලැබුනේ නැතිනම් බෙල්ලේ වල දාගන්නවා sure...
වෛද්‍ය විද්‍යාත්මකව මේ තත්වය හඳුන්වන්නේ depression ලෙසයි. ඉතින් අද අපි කතා කරමු depression එහෙමත් නැත්තම් විෂාදය ගැන.
Depression කියන්නේ මානසික රෝගයක්.
දුක්මුසු ගතිය කනස්සලු ගතිය අපි හැමෝම සමහර අවස්ථා වලදී අත්දකින දෙයක්. ටික දවසක් ගියාට පස්සේ මේ ගතිය ක්‍රමයෙන් පහවෙලා යනවා. නමුත් මේ කියන දේ මානසික රෝගයක් වෙන්නේ, එහෙම පහ වෙලා ගියේ නැතිනම්. විශේෂයෙන් ම මේ ගතිය සති දෙකක් පුරාවට ම තිබුණහොත්.
ලෝකයේ සෑම මිනිසුන් 2-5 % ක් ම විෂාදයෙන් පිඩා විඳිනවා කිවොත් ඔබ සමහර විට පුදුම වේවි. එසේම ඕනෑම අයෙකුට ජිවිත කාලයේදී විෂාදය වැළඳීමේ අවකාශය 10-20 % අතර වනවා. එසේම මෙම තත්වය මාසයේ සිට මාස 6 දක්වා තිබෙන්නටත් පුළුවන්. නිසි ප්‍රතිකාර නොලදහොත් වසර දෙකක් දක්වා දික් ගැස්සෙන්නටත් පුළුවන්.
කොහොමද කෙනෙක් ට depression කියල අඳුරගන්නේ??
මෙහෙමයි. ඒ සඳහා diagnostic criteria එහෙමත් නැත්නම් රෝග ලක්ෂණ 10ක් පමණ තිබෙනවා. රෝගියාට ඇති රෝග ලක්ෂණ ගණන අනුව සුළු, මධ්‍යම සහ උග්‍ර ලෙස මෙම රෝගය බෙදා වෙන් කෙරෙනවා. ඒ අනුව ප්‍රතිකාර විධි ද වෙනස් වෙනවා.
මෙම රෝග ලක්ෂණ ප්‍රධාන සහ උප ප්‍රධාන ලෙස කොටස් දෙකකට බෙදා තිබෙනවා.
ප්‍රධාන රෝග ලක්ෂණ
1. දුක්මුසු, කනස්සලු ස්වභාවය (depressed mood)
2. කිසිම දෙයකට ආසාවක් නැති ගතිය (Lack of Enjoyment / Pleasure) මෙයාල ඉස්සර කරපු සතුටක් ගෙන දෙන වැඩ දැන් කලාට කිසි සතුටක් නැහැ ( සින්දු කියනවා වගේ )
3. කිසිම දෙයක් කරන්න පන නෑ වගේ දැනීම සහ සෑම විටම වෙහෙස ගතියක් දැනීම (lack of energy)
උප ප්‍රධාන ලක්ෂණ
1. අවධානය සහ මානසික ඒකාග්‍රතාවය නැති වීම
2. ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය නැති වීම
3. තමාවම අව මානය කිරීම සහ තමන් ලෝකයට කිසි වැඩක් නැති පුද්ගලයෙකු බවට සිතීම
4. අනාගතය කෙරෙහි සෘණාත්මක හැඟීම් ඇතිවීම
5. සියදිවි හානි කරගැනීමේ සිතුවිලි සහ තමාට හානි සිදු කරගැනීමේ සිතිවිලි
6. බොහෝවිට ආහාර අරුචිය, සමහර විට අනවශ්‍ය ලෙස සිදුකරන ආහාර අනුභවය
7. රෑට නිදාගන්න ගියත් බොහෝ වෙලාවකට නින්ද නොයෑම සහ වෙනදාට වඩා පැයකට දෙකකට පෙර නින්දෙන් ඇහැරිම සහ ඉන් අනතුරුව නින්ද නොයාම
මීට අමතරව ඇඟේ පතේ අමාරු, බඩේ දැවිල්ල, මළ බද්ධය, ඔසප් නතරවී තිබීම, ලිංගික බෙලහිනතාවය සහ ලිංගික ගැටළු, කිසිදු හේතුවක් සොයාගැනීමට නොහැකි දිගුකාලින ව පවතින කායික රෝග ද විශාදයේ රෝග ලක්ෂණ විය හැකියි.
මා කලින් සඳහන් කල පරිදි ඉහත රෝග ලක්ෂණ තිබෙන ප්‍රමාණය අනුව විශාදය සුළු මධ්‍යම සහ උග්‍ර ලෙස කොටස් කර දක්වනවා. ඒ අනුව සිදුකරන ප්‍රතිකාර ද වෙනස් වනවා.
උග්‍ර විෂාදය තියන සමහර අයට විවිධ නරක ශබ්ද ඇසීම මායාවන් පෙනීම වගේ දේවල් සිදුවෙනවා. ඒවගේම එයාල ඔහේ බලාගත්තු අතේ බලා ඉන්නවා. දවස් ගණන් දත් මැදල මුණ හෝදලා නෑ.
කලින් කිව වගේම depression එහෙමත් නැත්නම් විශාද රෝගයේ තියන භයානක ම දේ තමයි මෙයාලට සියදිවි හානි කරගන්න හිතෙන එක.
පහත ලක්ෂණ පෙන්නුම් කරන්නන් සියදිවි හානි කරගන්නට ඉතා ඉහළ chance එකක් තිබෙනවා.
1.අරමුණක් නැති කම (sense of hopelessness) සහ නිතර එන සියදිවි නසාගැනීමේ සිතුවිලි
2.සියදිවි නසා ගැනීම ගැන අන් ඇය සමඟ දෙඩවීම
3.සියදිවි නසාගැනීම කරන්නේ මෙලෙස බවට plan එකක් තිබීම
4.පෙරදී සියදිවි නසා ගැනීමට උත්සහ කර තිබීම
5.සමාජයෙන් කොන්වී සිටීම, තනිව ජිවත් වීම
6.මත්ද්‍රව්‍ය භාවිතය
7.බෙහෙත්, කෘමි නාශක, ගිනි අවි, එල්ලීමට බාල්කයක් පැනීමට කෝච්චියක්, ගඟක් ආදී දේ පහසුවෙන් ලබාගත හැකි වීම.
ඉතින් ඔයා දන්නා කෙනෙක් මෙහෙම නම් බල බල ඉන්න එපා. ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න.
කෙනෙක් ට විෂාදය වැළඳීම ට හේතු බොහෝ ගණනක් තිබෙනවා.
ඔබගේ ලංගම ඥාතියෙකුට විෂාදය ඇතිනම් ඔබට ද මෙය වැළඳීමට සම්භාවිතාවයක් තිබෙනවා.
එසේම පිලිකා තත්ත්ව, අංශභාග තත්ත්ව, හාට් ඇටෑක්, වකුගඩු සහ අක්මා රෝග දියවැඩියාව, වැනි දිගුකල් පවතින රෝග ඇති අයට ද විෂාදය වැළදීමේ ඉහල ඉඩකඩක් තිබෙනවා.
එසේම දිගු කාලයක් තිස්සේ ඇල්කොහොල්, හෙරොයින්, කොකේන් වැනි මත්ද්‍රව්‍ය ගන්නා ඇය ද පසුකාලීනව විෂාදය වැළඳීමේ ඉහල හැකියාවක් තිබෙනවා.
සමහර සුළු දේටත් අඬනවා. හරිම සංවේදී. සමහරු මොන ප්‍රශ්නේ තිබුනත් දරාගෙන එක හිතින් අමතක කරලා හිටියට තවත් සමහරු පොඩි ප්‍රශ්නයක් ආවත් හිතින් මාර විදියට වැටෙනවා. එසේම සමහරු ඉන්නවා මොක කරත් negative සිතන. මොවුන්ටත් විෂාදය වැළඳීමේ ඉහළ හැකියාවක් තිබෙනවා.
එසේම සමාජයේ කොන් වෙලා වගේ ඉන්න අයටත් විෂාදය වැළදීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා. ඒ ඔවුන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැති හන්ද.
මිට අමතරව ළඟින් සිටියෙකුගේ මරණයක්, ප්‍රේම සම්බන්දතා බිඳී යාමක්, ආර්ථික ප්‍රශ්න , පුද්ගල සම්බදතා වල ප්‍රශ්න, රාජකාරි ස්ථානයේ ප්‍රශ්න,විභාග ආදී මානසික පීඩනය වැඩි කරන සමාජමය ප්‍රශ්න ද විෂාදය සඳහා හේතු සාධක වනවා.
විෂාදය තිබෙන රෝගියෙක් තමන්ගේ ජිවිතයට අනතුරක් සිදුකර ගැනීමේ ඉහල හැකියාවක් තිබෙනවා. ඒ කියන්නේ සිය දිවි නසාගන්න ඉහල හැකියාවක් තිබෙනවා. ඒවගේ ම විෂාදය තිබෙන රෝගීන් ආහාර අනුභව නොකිරීම නිසා ජිවිතයට හානි වීමේ අවධානමක් පවතිනවා. කලාතුරකින් අවස්ථාවක විෂාදය ඇති රෝගීන් වෙනත් අයට විශේෂයෙන්ම පවුලේ අයට කරදර කල අවස්ථා ද වාර්තා වී තිබෙනවා.
බොහෝ දෙනෙක් සිතන දෙයක් තමයි විෂාදය එහෙමත් නැත්තම් depression කියන්නේ ලෙඩක් නෙවෙයි ඒ හන්ද මේකට ප්‍රතිකාර අවශ්‍ය නැහැ කියන එක.
ඔයාලත් එහෙම හිතන් ඇති.
ඒත් ඒක එහෙම නෙවෙයි. මේකත් උණ හෙම්බිරිස්සාව වගේ ලෙඩක්. එකේ මට්ටම අනුව සමහර වෙලාවට බෙහෙත් දෙන්නත් ඕනි, councelling වගේ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර කරන්නත් ඕනි, මොළේට කරන්ට් එක අල්ලනවා (ECT) වගේ තව තව treatments කරන්නත් ඕනි.
වැදගත් ම දේ තමයි මේ ලෙඩේට දෙන ඖෂධ ප්‍රතිකාර හරියට වැඩ කරන්න නම් ටික කාලයක් යනවා කියන එක. අඩුම සති දෙකක්. ඒ වගේ ම ලෙඩේ අඩු උණ කියල බෙහෙත් නවත්තන්නෙත් නැහැ. ලෙඩේ හොදටම හොදවෙලා ටික කාලයක් යනකන් බෙහෙත් බොන්න ඕනි. එහෙම නොවුනොත් යේ මතුවෙන්න chance එකක් තියනවා.
ඉතින් මේ අතරේම මෙයාගේ මේ ප්‍රශ්නෙට හේතුව හොයන එක නිරාකරණය කරන්නත් ඕනි. මෙයාලට දෙන support එක ලෙඩේ හොද කරගන්න හරිම වැදගත්.
ඉතින් අන්තිමට කියන්නම්. හිත කියන්නේ අපේ ඇඟේ තියන අක්මාව, වකුගඩු වගේ තවත් එක අවයවයක්. ඒවා ලෙඩ වෙනවා වගේ හිතත් ලෙඩ වෙනවා. ප්‍රධානම රෝග ලක්ෂණය තමයි මැරෙන්න හිතෙන එක. එහෙම කියන කෙනෙක් ට කරන්න තියෙන හොදම දේ තමයි සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හරහා විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු වෙතට යොමු කරන එක.
නිසි ප්‍රතිකාර වලින් විතරමයි මේ කියන සියදිවි හානි කරගැනීමේ සිතුවිල්ල නැතිවෙලා යන්නේ. හොදේ....
එහෙම නැතිව එයා සියදිවි හානි කරගත්තට පස්සේ පොර වෙන්න post share කරාට කිසිම වැඩක් වෙන්නේ නැහැ.
ඉතින් එහෙනම් අදට කතාව ඉවරයි. තව කෙනෙක්ට මේ පණිවිඩය අරන් යන්න post එක මතක් කරලා share කරන්න හොදේ...
ඒ වගේම මේ වගේ post දාපු ගමන් දැනගන්න 'ඩොකාගේ ඩයරිය' page එකට like කරන්නත් අමතක කරන්න එපා...