Friday, June 4, 2021

සීසර් කරපුවාම හර්නියා එනවාද ?

සීසර් කරපුවාම හර්නියා එනවාද ? ගිය සතියෙ දාපු හර්නියා ගැන ලිපියෙන් පස්සෙ ගොඩක් අය එහෙම අහලා තිබුණා. 
ඔව්, එන්න පුළුවන්. ඊට අමතරව තව ගොඩක් දේවල් වෙන්නත් පුළුවන්. අද කතාකරමු ඒ දේවල් ගැන.

ඊට කලින් තව ලෙඩෙක් ගැන විස්තර ටිකක් කියල ඉන්නම්. මෙයා මට හමුවෙන්නේ මීට අවුරුදු දෙකතුනකට කලින් ප්‍රසව හා නාරිවේද වාට්ටුවේ වැඩ කරන කාලේ දී.
මෙයා ඇවිත් හිටියේ ගර්භාෂය අයින් කරන ඔපරේෂන් එක කරගන්න. මතක විදියට මෙයාට තිබ්බේ යෝනි මාර්ගයෙන් ලේ යනවා වැඩි ප්‍රශ්නයක්. හැබැයි මෙයට ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් තිබුණා . දැන් අවුරුදු ගාණක ඉඳලා මෙයාට හරියට මුත්‍රා යන්නේ නෑලු. දෙපාරක් විතර මුත්‍රා මාර්ගය හරහා පොඩි කුරක් දාල මුත්‍රා මාර්ගය පළල්  කරන ඔපරේෂන් එකත් කළා ලු. ඒත් තාම හරියට මුත්‍රා යන්නේ නෑලු. අමාරුවෙන් තටමලා ලු මුත්‍රා කරන්න ඕනි. කැඩී කැඩී ලු මුත්‍රා යන්නේ. මාරම දුකක් ලු විඳින්නේ. 
මෙයා සීසර් සැත්කම් තුනක් කරගෙන තිබ්බ අවුරුදු 55ක වගේ කාන්තාවක්. 
ඉතින් කොහොමහරි මේ ලෙඩාගේ ගර්භාෂය ඉවත්කරන සැත්කම කරගෙන යනකොට තමයි දැක්කේ බඩ ඇතුල හැමතැනම එහාට මෙහාට ඇලිල කියල. අපේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්යතුමන්ටත් සැහෙන්න දඟලන්න වුණා  මේ ඇලිච්ච එව්වා (adhesions ) ගලවලා ගර්භාෂය මතුකරගන්න. 
ට සිරි කියන්නේ ගර්භාෂය ගලවනකොට තමයි දැක්කේ එක ඉස්සරහින් තියන මුත්රාශයට හොඳටම ඇලිලා කියලා. ඒ මදිවට මුත්‍රා මාර්ගයත් තෙරපිලා. 
අන්න එතකොට තමයි අපිට මේ ලෙඩා මේ කාලයක් තිස්සේ පිඩා වින්දයි කියන මුත්‍රා අමාරුවට හේතුව හරියටම තේරුනේ. කොහොමහරි මේ ඇලිච්ච එව්වා ගලවලා ගර්භාශයත් අයින් කරලා සැත්කම නිමාවෙනවා . 
පස්සේ දවසේ මට මේ ලෙඩා හමුවෙනවා. 
ඩොක්ටර් දැන් නම් මට මුත්‍රා කරද්දී කිසිම ප්‍රශ්නයක් නෑ . හොඳට යනවා. ලෙඩාගේ මුණේ ඇඳිලා තිබ්බ හිනාවෙන් ම තේරුණා මනුස්සයා කොයි තරම් නම් සතුටකින් ද ඉන්නේ කියලා.

ඉතින් මේ විදියට මුත්‍රා මාර්ගයේ සංකුලතා එන එකයි හර්නියා අමාරු එන එකයි ඇරෙන්න වෙන මොනවද සීසර් සැත්කම් හන්ද වෙන්න පුළුවන් අතුරු ප්‍රථිපල ?
විශේෂයෙන් ම කලින් කිව්වා වගේ සැත්කම කරපු තැන් වලට බඩවැල් එහෙම ඇලිල හිතාගන්න බැරි බඩේ කැක්කුම් එන්න පුළුවන්. 
ඒ වගේ ම ඊළග  සැරේ pregnant වෙනකොට වැදැමහ ගර්භාෂය ඇතුලත බිත්තියට සවිවෙන්නේ නැතිව අර කලින් සීසර් කැපුම තියන තැනින් එළියට ඇවිත් ගර්භාෂයේ එළියේ බිත්තියට එහෙමත් නැත්නම් ගර්භාෂයට එහායින් තියෙන මුතාශයට සවිවෙලා placenta previa, placenta acreta කියන ඕනෑම වෙලාවක අම්මට වගේ ම බබාට හානියක් වෙන්න පුළුවන් මහා භයානක තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.
සීසර් සැත්කම කළාට පස්සේ ගර්භාශයේ කැපුම තියෙන තැන තුනී වෙලා යනවා. එතකොට ඊළග සැරේ pregnancy එකේදී ඔතැනින් ගර්භාෂය ඉරිලා යන්න පුළුවන්. විශේෂයෙන් ම එයාට සාමාන්‍ය විදියට බබා හම්බෙන්න ගියොත්. එකයි එකපාරක් සීසර් කරපු කෙනෙක් ට කැක්කුම් එන්න කලින් සති 37න්  වගේ ආයේ සීසර් එකක් කරලා බබාව ගන්නේ. හැබැයි එක පාරක් සීසර් කරපු කෙනෙක් තව පාරක් සීසර් කරන්නේ නැතිව මේ කියන ඉරිලා යන එක වෙනවද කියල බල බල සාමාන්‍ය විදියට බබා ගන්න වෙලාවල් තියෙනවා ඉස්පිරිතාලේදී...
මිට අමතරව කොන්දට විදින ඉන්ජෙක්ෂන් එකට ඇලජික් වෙන්න පුළුවන්.
කොන්දට විදින ඉන්ජෙක්ෂන් එක හන්ද ගොඩක් වෙලා කකුල් පණ නැතිවෙනවා. මේ විදියට කකුල් එකම විදියට තියනකොට ලේ කැටි හැදිලා ඒවා පෙනහළු වලට ගිහින් හුස්මගැනීමේ අපහසුතා එන්න පුළුවන්.
සිසේරියන් සැත්කමකට පස්සේ කළාතුරකින් අධික රුධිරවහනයක් වෙන්න පුළුවන්. මේ දේ nomal delivery එකකින් පස්සේ වෙන්නත් පුළුවන් වුණාට සීසර් සැත්කමකින් පස්සේ එහෙම වෙන්න තියෙන chance එක ඉතා වැඩියි. කලාතුරකින් වෙලාවක මෙහෙම ලේ යන එක නතර කරන්න ගර්භාෂය ඉවත් කරන්න වෙන්නත් පුළුවන්. 
මිට අමතරව සැත්කම කරපු තැන ආසාදනය වෙන්නත් පුළුවන්. ඒ වගේම සැත්කම කරනකොට ළග පාත තියෙන මුත්‍රාශය වගේ වෙන අවයව වලට හානි වෙන වෙලාවලුත් තියෙනවා.
අම්මට විතරක් ම නෙවෙයි බබාටත් සීසර් සැත්කම හන්ද වෙන බලපෑම් තියෙනවා. සැත්කම කරන්න කපනකොට බබාව කැපෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ ම එයාට හුස්ම ගන්න අමාරු වෙන වෙලාවල් වැඩියි.

ඉතින් ඕවා තමයි වෙන්න පුළුවන්.

ඇත්තටම කොයි වගේ අයගේද සීසර් සැත්කම් කරන්න ඕනි.? සමහර විට ඔබට ප්‍රශ්නයක් ඇති.
බබා හැරිලා නැති සමහර අවස්ථා වල 
twins ලා ඉන්නකොට (  පළවෙනි twin හැරිලා නැත්නම්)
ප්‍රසුතියේදී එන අධික මහන්සිය දරාගැනීමට අසීරු ඇතැම් හෘදරෝග මවට ඇතිවිට  
කුසෙහි සිටින බබාට වැදැමහ හරහා රුධිරගමනය අඩාල වී ඇති අවස්ථා වලදී 
කුසෙහි සිටින දරුවා අධි බර විට 
මවට ඒඩ්ස්, genital herpes වැනි දරුවට normal delivery එකකදී සම්ප්‍රේෂණය විය හැකි රෝග ඇතිවිට 
පෙර සඳහන් කල placenta previa , accreta තත්ත්ව ඇතිවිට
සහ බබා nomal ගන්න ගොස් ඇතිවිය හැකි බබාගේ හිස හිරවීම් සහ බබාගේ ජිවිතයට හානියක් විය හැකි පෙකණි වැල හිරවීම් වැනි තත්ත්ව වලදී , බබාට වැදැමහ හරහා ලේ යන එක අනතුරුදායක ලෙස අඩුවීම් වලදී (මෙවන් අවස්ථා බඩට සවිකරන CTG පටියෙන් හඳුනාගත හැකිය.), වැනි අවස්ථා වල දී සිසේරියන් සැත්කම් සිදුකරයි.
 
ඩොක්ටර් ඔහොම කිව්වට අපි දන්නා ගොඩක් අය ඉන්නවනේ සීසර් දෙකතුන කරන ඔය මුකුත් නැතිව. ඔයා සමහරවිට එහෙම අහයි. 
ඔව්. ඉන්නවා. ඒත් ඕනෑම වෙලාවක සීසර් කරනකොට මං මේ කියල තියෙන දේවල් වෙන්න පුළුවන්. ඔයාට එහෙම වුණොත්... 

අදට ඇති. මං වෛද්ය ජයසංඛ නවෝද්, ඇල්පිටිය මූලික රෝහලේ සිට...
පෝස්ට් එක තව කෙනෙක් ට බලන්න share කරගෙන ම යන්න හොඳේ...
හැබැයි share නොකර post එක copy paste කරන්න නම් එපා... මේවගේ තව ලිපි කියවන්න කැමතිනම් එන්න මගේ fb පිටුවට, ඩොකාගේ ඩයරිය ...
කලින් ලිපි පොතක් විදියට කියවන්න කැමති නම් මෙන්න link එක.
ග්රන්ථ.lk එකෙන් ගෙදරට ම ගෙන්නාගන්න පුළුවන් .

Saturday, May 29, 2021

IHR

මගේ ලිපි කියවන ඔයාලා සමහරවිට දන්නේ නැතුව ඇති මං දැන් වැඩකරන්නේ ඔපරේෂන් වාට්ටුවක කියලා. ඉතින් අද කතාව මට වාට්ටුවෙදි හම්බවෙච්ච ලෙඩෙක් ගැන.
 මේ ලෙඩා ආවෙ හර්නියා අමාරුව කියාගෙන. ඒ කියන්නෙ කහිනකොට,තටමනකොට බඩේ ඉස්සරහින් ගුලියක් වගේ බඩවැල් එළියට පනිනවා... මේක ටිකක් විතර කරදරකාරී දෙයක්, කැක්කුම එන දෙයක්. සමහර වෙලාවට ඕකෙ බඩ වැල් ඇලුණාම ගෙඩිය වගේ එළියට නෙරලම තියෙනවා. කලාතුරකින් වෙලාවක ඕක ඇතුලෙ හිරවෙන බඩවැල් වලට ලේ යන්නෙ නැතුව ඒව කුණුවෙන වෙලාවලුත් තියෙනවා. 
ඉතින් අපි කරන්නෙ එච්චර හදියක් වෙන්න කලින් දිනයක් දීල ඕක හරිගස්සන එක. 
ඒකට කරන්නෙ අර බඩවැල් , බඩ ඇතුලෙන් එළියට පනින සිදුර මහල ඒකට උඩින් ආයෙ ඇරෙන්නෙ නැතුවෙන්න දැලකුත් දාලා බඩේ ඉස්සරහ බිත්තියේ ශක්තිය වැඩි කරන එක. 
කොහොමහරි ඔන්න මේ කියන ලෙඩා අදාල දවසෙ ඇඩ්මිට් වුණා... මෙයාගෙ බඩේ ඉස්සරහ බිත්තිය මේ විදියට දුර්වල වෙන්න හේතුවෙලා තිබුණෙ කලින් බඩ කපලා කරපු ශල්‍යකර්මයක්. 
ඊට අමතරව නිතරම කැස්ස තියන අයගෙ, මළ මුත්‍රා කරනකොට නිතර තදින් තටමන අයගේ වගේම සමහර ජානමය රෝග තියන අයගෙ මේ වගේ බඩේ බිත්ති දුර්වල වෙලා හර්නියා අමාරු හැදෙනවා. තව, නිතර බර උස්සන අයගෙත් බඩේ ඉස්සරහ බිත්තිය තදවෙනවා වැඩි හන්ද ඒව දුර්වල වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි. 
කොහොමහරි අපි මෙයාගෙ සැත්කම කරලා අර කලින් කිව්වා වගේ බඩේ ඉස්සරහා බිත්තියේ ශක්තිය වැඩිවෙන්න දැලකුත් prolene mesh) දැම්මා. 
හරි. වැඩේ ඉවරයි. ලෙඩත් දවස් දෙකකින් විතර ටිකට් කපන් ගෙදර ගියා...

ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ කියලා හිතුනෙ සතියකට වගේ පස්සෙ මේ ලෙඩා ආපහු ඇවිත් තිබුණ හන්ද. ටසිරි කියන්නෙ අපි මහපු තැන හොඳටම සැරව. තුවාලෙට විසබීජ ගිහින්. 
දැන් ඉතින් මාත් ඇතුළුව මෙයාගෙ ඔපරේසම කරපු ඩොක්ටර්ලට මාර අවුල. අපි හරියට අත් එහෙම හෝදගෙන ජීවාණුහරණය කරපු බඩු වලින් ෆුල් ක්ලීන් පිට වැඩේ කළේ. ඒත් මෙහෙම වුණේ කොහොමද... මාර ප්‍රශ්නෙ. 

මහත්තයෝ ගියපාරත් එහෙමම හර්නියා ඔපරේසම කරලා තුවාලෙ පැසෙව්වා... මෙන්න ලෙඩා එකපාරටම කියපි. 
දැන්ද මනුස්සයෝ ඕක කියන්නෙ. අපිට අසූහාරදාහට කේන්තියි...

වෛද්‍යවරු විදියට අපි ලෙඩෙක් ඔපරේසන් කරන්න කලින් එයාගෙ පරණ රෝග වාර්තා ඔක්කොම කියවලා බලනවා සහ ලෙඩාගෙන් අහලා දැනගන්නවා. හැබැයි මේ ලෙඩාගෙ පරණ ඔපරේසන් කාඩ් මුකුත් තිබුණෙ නෑ. ලෙඩාට මුකුත් ඇලජික් වෙලාද පලු දැම්මද කරප්පන් දැම්මද කියල ඇහුවට නෑ කියලමයි කිව්වෙ. 
පස්සෙ එයා කියනවා ඒවා කිව්වොත් මේසැරේ ඔපර්සම කරන්නේ නැතිවෙයි කියලා හිතලලු කීවෙ නැත්තෙ කියලා. 

සමහර අයට මේ හර්නියා ඔපරේසම කරනකොට දාන දැල ආසාත්මික වෙනවා. එහෙම අයට කරන්න තියන්නේ ආසාත්මික නොවෙන ද්‍රව්‍යකින් හදපු non allergic දැලක් දාන එක. හැබැයි මේවගෙ ගාණ හොඳටම වැඩියි. ආණ්ඩුවෙන් හම්බවෙන්නෙත් නෑ. ඉතින් එතකොට කරන්නෙ දැල දාන්නෙ නැතුව හර්නියා සිදුර වහලා දාන එක. ඒක ඒහැටි සාර්ථක නෑ. ආයෙ ආය එන්න පුළුවන් . ඒත් ඉතින් ඒකට කරන්න දේකුත් නෑ ලෙඩාට ම ඒවගේ දැලක් ගන්න එක ඇර. ඉතින් එහෙම ආසාත්මික වුණාට පස්සෙ එතන ඉදිමිලා විසබීජ වර්ධනය වුණාට පස්සෙ තමයි තුවාලෙ පැසවන්නෙ. 

දැන් ඉතින් මේ ලෙඩා තාම වාට්ටුවේ ඉන්නවා. ලොකු ලොකු ඇන්ටිබයොටික් මහ ගොඩකුත් විදිනවා තුවාලෙ වේලෙන්න. ඒ මදිවට ආයෙත් ඔපරේෂන් කාමරේට අරන් තුවාලෙ සුද්ද කරලා දාන්නත් වෙලා. 

මේ ඔක්කොම ලෙඩා හරියට එයාගෙ කලින් විස්තර කියපු නැති හන්දා... ඉතින් ඔයාලත් එහෙම වෛද්‍යවරයා ඉදිරියේ ඇත්ත හංගනවා නම්. බලාගෙනයි. පරිස්සමෙන්... හොඳේ... වැඩේ ඔයා හිතන්නෙ නැති පැත්තකට යන්න පුළුවන් ... 

තව දෙයක්. හර්නියා අමාරු ගැන කතා කරපු එකේ ඒව එන්න බලපාන හේතු ගැනත් කතා කරමු.
කැස්ස දිගට තියෙනවා නම්
මුත්‍රා කරනකොට මළපහ කරනකොට හැමදාම තටමන්න ඕනි නම් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා ඒ අමාරු අඩු කරගන්න. නැත්නම් පස්සෙ දවසක ඒ හන්දම හර්නියා අමාරු එන්න ගොඩක් ලොකු ඉඩක් තියෙනවා.

අදට ඇති. මං වෛද්‍ය ජයසංඛ නවෝද්, ඇල්පිටිය මූලික රෝහලේ සිට...

Sunday, March 22, 2020

කොරෝනා සුවකිරීම සහ මැලේරියා බෙහෙත්...

මේ වනවිට අමෙරිකානු ඖෂ්ධායතනය US Food and Drug Administration (FDA) අනුමත කරන ලද  කිසිදු ඖෂධයක් මේ වනවිට කොරෝනා සුව කිරීම සඳහා නොමැති බව මුලින් ම කියන්න ඕනි. 

එතකොට මොකද්ද මේ Hydroxychloroquine (HCQ) and Chloroquine මැලේරියා බෙහෙතෙ කතාව ? 
අද දැනගනිමු ඒ ගැන. 

මුලින් ම කියන්න plaquenil කියන්නෙත් Hydroxychloroquine ම තමා කියලා. ඒක brand name එකක්. හරියට අපි panadol කියන්නෙ paracetamol වලට වගේ...
Hydroxychloroquine වල කෙටිනම HCQ...

ඉතින් මෙන්න මේ කියන බෙහෙත් දෙක ගොඩ කාලයක් තිස්සේ මැලේරියාවට වගේ ම පිළිකා රෝගීන් සඳහාත්, රුමැටික් ආතරයිටිස් වගේ ම SLE වගේ රෝග වලට ප්‍රතිකාර කිරීමට යොදා ගත්තා...

පසුගිය දිනෙක චීනයේ දී අහම්බෙන් මෙන් සොයා ගැනෙනවා මේ ඖෂධ දෙක ම සෛල තුළදී කොරෝනා වෛරස සමඟ සටන් කරන බව... මින් Hydroxychloroquine ඖෂධය එනම් plaquenil ඖෂධය මෙහි ලා වඩාත් ඉදිරියෙන් සිටිනවා...

නමුත් ඖෂධයක සුරක්ෂිතතාවය තහවුරු කිරීමට නම් එය සතුන් මෙන් ම මිනිසුන් යොදවා කරන පර්යේෂණ රාශියකට භාජනය විය යුතුයි. ඉතින් මේ ඖෂධ කොරෝනා රෝගීන් හමුවේ භාවිත කරන විට ඇතිවියි හැකි හානිකර බලපෑම් මොනවාද කියා තවමත් තහවුරු කර නොමැත. 

දැනට සොයාගෙන ඇති කරුණු අනුව මේ ඖෂධ දෙක ම කලාතුරකින් අවස්ථාවක අක්මා, වකුගඩු ප්‍රශ්න සහ දුර්වල ප්‍රතිශක්තියක් (immunosuppressed) ඇති රෝගීන්ගේ  හෘද වස්තුවේ රිද්මයේ අසාමාන්‍යතා ( ECG අවුල් , වඩාත් නිවැරැදිව කීවොත් prolonged QT syndrome ) ඇති කිරීමට සමත්... නමුත් දැනට වාර්තා වී ඇති අන්දමට කොරෝනා රෝගී බොහොමයක් හමුවේ මෙම ඖෂධ එවන් සංකූලතා ඇති කිරීම අවම මට්ටමක පවතිනවා... නමුත් වගකීමකින් තවමත් කිසිවක් කියන්න බැහැ. කොරෝනා ආසාදනය උග්‍ර අතට හැරෙනා බොහොමයක් මෙසේ දිගුකාලීන රෝගාබාධ වලින් පෙළෙන අය සහ ප්‍රතිශක්තිය අඩු අය නිසා ඉහත සංකූලතාවය ඇතිවීමට බොහෝ ඉඩකඩක් තිබෙනවා.

ඒ හේතුව නිසා ම තමයි දැනට රෝහල්ගත රෝගීන් සඳහා පමණක් ම මෙම ඖෂධ භාවිත වන්නේ... මොකද ගැටලුවක් ආවොත් වහා එය හඳුනාගැනීම හරහා අදාල ප්‍රතිකාර ලබාදීමට එහිදී වෛද්‍යවරුන්හට හැකියාව ලැබෙන නිසා...

වෙන විදියකින් කිව්වොත් කොරෝනා වලින් බේරෙන්න කියලා ගෙදර ඉඳන් ඕවා බොන්න යන්න එපා... මොකක් හරි වුණොත් ඔයා ඉවරයි. 

දැනට අමෙරිකාව ඇතුලු රටවල් බොහොමයක් මේ කියන Hydroxychloroquine ඖෂධය කොරෝනා රෝගීන් සඳහා භාවිත කරන බව මා ඔබට සඳහන් කළ යුතුයි.

මීට අමතරව injection එකක් ලෙස එන Remdesivir නම් ප්‍රතිවෛරස ඖෂධයක් ද පරීක්ෂන මට්ටමෙන් ඇමෙරිකාවේ භාවිත වන බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. 


Saturday, March 21, 2020

corona update 21.03.2020

මේ photo එක හොයාගත්තේ travel with wife facebook පිටුවේ තිබිලා... මුලින් ම එයාලාට ස්තූතියි මේක share කලාට...
හැබැයි medscape web අඩවිය නම් පවසන්නේ තරමක වෙනස් කාලසීමාවන් ටිකක්. කවුරු හරි උනත් අපි හිතට ගන්න ඕනි කාරණය තමයි මේ COVID 19 වෛරසය මිනිස් සිරුරෙන් පරිබාහිරව එක එක පෘශ්ථවල සහ වාතයේ යම් කාලයක් සජීවී ව පවතිනවා කියන කාරණය. ඉතින් මේ කියන කෙටි කාලය ඇති ඔයාටත් මේ ලෙඩේ බෝවෙන්න.
ඉතින් මුලින් ම කියන්නම්. හැකි සැම විට ම සෙනග ගැවසෙන තැන් වලට යන්න එපා. මාස්ක් එකක් දාගෙන ඉන්න, හැකි සැමවිටම අත් සෝදාගන්න. මුකුත් ම නැතිනම් සබන් දාලා හරි...
 සැකයක් තියනවානම් නොසඟවා නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගන්න.

worldometers.info දර්ශකය පවසන පරිදි මේ ලිපිය ලියැවෙන 21.03.2020 සවස 4.30 වන විට ලොව පුරා මේවන විට රෝගීන් 282,939 හදුනාගෙන ඇති අතර ඉන් 11,826 දෙනෙකුන් මියගොස් තිබෙනවා.
93,514 දෙනෙක් සම්පූර්ණයෙන් ම සුවය ලබා තිබෙනවා. 

ලංකාව පුරා පසුගිය දින කිහිපය තුල අපේක්ශා කළ තරම් රෝගීන් ගේ වැඩි වීමක් දක්නට ලැබෙන්නේ නැතත් තවදුරටත් පරිස්සම් වීම වැදගත්.  

මොකද මොනවා කලත් ලංකාව පුරා තිබෙන්නේ ICU ඇඳන් 500ක් පමණයි. පුද්ගලික අංශයේ ද ඇතුළුව... ඔය ටික පිරිලා ගිය දවසට කොච්චර හොඳ සෞඛ්‍ය සේවයක් තිබ්බත්  අපි ඉවරයි. දැන් ඉතාලියට වෙලා තියනවා වගේ...

මම වැඩකරනා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ හෘද රෝග අංශයෙන් මගේ සවන් වැකෙනා දෙබසක් වෙත දැන් මා ඔබව රැගෙන යන්නම්. 
අපි හදිස්සියක් නැති angiogram පරීක්ශන stent දාන ඒවා එහෙම සේරම පසුවට කල් තැබුවා. ඒවාට admit වෙලා හිටපු රෝගීනුත් ටිකට් කපලා ගෙදර යැව්වා. මෙහෙම යන එක්කනෙක් හෘදරෝග විශේෂඥ වෛද්‍යතුමන්ගෙන් මෙසේ අහනවා...

මං #### රෝහලට එන්නද angiogram එක කරගන්න.? ඔහු ප්‍රකට පුද්ගලික රෝහලක නමක් පවසයි. 

එහෙ කළත් මෙහෙ කළත් කොරෝනා හැදෙන්න තියන අවදානම එහෙමමයි. අපි මේ ඔක්කොම කැන්සල් කරන්නේ ඔයාලාව එහෙම අනතුරේ හෙළන්න බැරි හන්දා... ඔයාලා වගේ වයසක අයට හැදුනොත් ඉවරම තමයි...

රෝගියා මූණ දෙක කරගෙන යන්න ගියා... ඔහුට රෝගයේ භයානක කම ගැන වගේ වගක් නැතුවා වාගේය. 

ඔයාලා සල්ලි බලාගෙන ම වැඩ කරනවා කියලා හිතන ප්‍රකට පුද්ගලික රෝහල් පවා එයාලගේ හදිසි ප්‍රතිකාර හා සැත්කම් පමණයි සිදුකරන්නේ...

සියල්ලෝම රෝගය තුරන් කිරීමට එකා වගේ වැඩ. 

ඒ අතරේ රෝගය නැති වෙන්න කියලා ගමේ පන්සලේ කට්ටියම සෙට් වෙලා බෝධි පූජා තියනවා... මේ මිනිස්සුන් ට තේරෙන්නේ නැහැ සෙනග ගැවසෙන එක හොඳ නෑ කියන එක... මගේ යාලුවෙක් වැඩිහිටි ගෞරවේ පැත්තකින් තියලා හොඳවයින් දෙතුන්දෙනෙක් ට අමතලත් එක්ක...

තාමත් වැඩි දෙනෙක් මේ ලෙඩේ තියන අදිසි බියජනක ගතිය ගැන වැඩි තේරුමකින් නෙවේ වගේ ඉන්නේ. 

ආයෙමත් කියන්නම් අපිට තියන්නේ
ICU ඇඳන් 500ක් පමණයි. පුද්ගලික අංශයේ ද ඇතුළුව...

අපේම වරදින් ඔය ටික පිරිලා ගිය දවසට අපි ඉවරයි. 

ඉතින් අන්තිමට කියන්නම් පරිස්සම් වෙලා ඉන්න... පුළුවන් හැම වෙලාවේම... අපි එකාවගේ වැඩ කරලා මේ කොරෝනා මාරයා ලංකාවෙන් නෙවෙයි ලෝකයෙන් ම තුරන් කරලා දාමු...

post එක හොඳනම් like,comment, share කරන්න වගේම මේ වගේ පොස්ට් දාපු ගමන් ම කියවන්න like, follow කරන්න මගේ facebook පිටුව... ඩොකාගේ ඩයරිය...

ඔබට ජය...

මං වෛද්‍ය ජයසංඛ නවෝද්... 



Monday, February 3, 2020

koroonaa koraunaa

 ශ්‍රීලංකාවෙන් සොයාගත් ආසාදිතයා සම්පූර්ණයෙන් සුව අතට

කොරෝනා කොර උනා.

කොරෝනා මිනිසෙකු මරා දමන්නේ මෙහෙමයි

මේ සටහන ලියැවෙන 02/02/2020 දින වන විට ලොවපුරා රටවල් 25ක් පුරා පැතිර ඇති කොරෝනා වසංගතය ආසාදනය වූවන් 14 300ක් පමණ වාර්තා වී ඇති අතර  අවම වශයෙන් රෝගීන් 304 දෙනෙකු මරණයට පත් වී තිබෙනවා. එයට එක් පිලිපීන ජාතිකයෙකු ද ඇතුළත්.

කොරෝනා මිනිසෙකු මරා දමන්නේ කොහොමද . ඔබට ගැටළුවක් ඇති.
අද කතා කරමු ඒ ගැන. 

ආසාදනයේ දී ප්‍රධාන වශයෙන් ම ඇතිවන්නේ ස්වසන පද්ධතිය හා ආශ්‍රිත සංකූලතා ය. 
නියුමෝනියාව ඉන් ප්‍රධාන වේ. සරලව එහිදී පෙණහළු වල සෙම පිරීයන අතර ඔක්සිජන් සහ ලේ මිශ්‍ර වීමට ඇති ඉඩකඩ අඩුවී යයි. 
මෙහි ප්‍රථිඵල ය වන්නේ රුධිර ගත ඔක්සිජන් ප්‍රමාණය අඩුවී අහිතකර කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වී යයි. 

මෙහි ප්‍රතිඵලය වන්නේ රෝගියා හුස්ම ගැනීමේ අපහසුවකින් රෝහියාට ඇති වීමයි. මෙවන් රෝගීන් ට ඔක්සිජන් මාස්ක් දමාතිබෙනු ඔබ දැක ඇති. මෙම තත්වය වඩාත් උග්‍ර අතට හැරුණු විට රෝගියා හුස්ම ගැනීමේ යන්ත්‍රයකට සවි කිරීම සිදුකළ යුතුය. 
කලාතුරකින් අවස්ථාවක රෝගියා සම්පූර්ණයෙන්ම සිහිමූර්ඡා කොට මුඛයෙන් උගුරට බටයක් දමා යන්ත්‍රය හරහා හුස්ම ගැන්නවීම ද සිදුකිරීම අවශ්‍ය විය හැකිය. 
ඒත් recover වෙන්නේ නැත්නම් රෝගියාගේ අවයව වලට ඔක්සිජන් සැපයුම අඩාල වී කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවී එහි ප්‍රතිඵලයක් ලෙස තවත් අහිතකර ප්‍රතික්‍රියා රැසක් සිදුවී අවසානයේ රෝගියා මිය යාම සිදුවේ. 

තවද වෛරසය නිසා රෝගියාගේ වකුගඩු හදිසියේ අකර්මණ්‍ය වීම සිදුවේ.  

අවසානයේ දී රෝගියාගේ ශරීරයේ අවයව පද්ධති සියල්ලම අකර්මන්‍යවී අවසානයේ දී රෝගියාගේ මියයාම සිදුවේ. 

ඔබ බියවිය යුතු නැත. මෙසේ වන්නේ ආසාදිතයින් අතලොස්සකගේ පමණි. 

ලංකාවේ වාර්තා වූ කොරෝනා වෛරස ආසාදිතයා ද සුවය ලැබූ බවට තහවුරු කර ඇත. 
වෛරසය නිසා මියගොසින් සිටිනා බොහෝ අය වයස්ගතවූවන් හෝ දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් තිබූ අය බැව් කියැවේ. 

එසේ වුවත් රෝගයෙන් බෝවීම පාලනය සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කිරීම සැමවිට ම  කළ යුතුය. 








Friday, December 8, 2017

doctor ,Man dawasata 1000ka kudu bonawa. Meken berenna kramayak nadda? කීයක් ගියත් කමක් නෑ. Heroin saha wenath winasha kari mathdrawya walin galaweme maga

වයස අවුරුදු 60ක විතර තාත්තා කෙනෙක්. හොඳට ම වැහැරිලා ගිහින්. ගොඩක් දුක් විඳින කෙනෙක් වගේ. සමහර විට හරි හමන් රස්සාවක් නැතුව ඇති. දරුවො සළකන්නේ නැතුව ඇති.

ඩොක්ටර් මගේ පුතා කුඩු බොනවා. දවසට රුපියල් 2000ක් විතර... අනේ දොස්තර මහත්තයෝ පින්සිද්ද වෙයි මට මේක නවත්තලා දෙන්න. කොල්ලත් කැමතියි මොනවහරි කරල මේක නවත්තගන්න.

ඩොක්ටර් මං දවසට පැකට් තුනක් ගහනවා. ගැහුවෙ නැත්තම් මුලු ඇඟම රිදෙනවා. කඳුලුත් එනවා. මේ ජරාවෙන් මිදෙන්න මොකක් හරි ක්‍රමයක් කියන්නකෝ.
මොකද්ද ඔයා කරන රස්සාව?
මං ත්‍රීවීල් දුවනවා සර්. කොහොම හරි බලන්නෙ හොරකං කරන්නේ නැතුව දවසට රුපියල් දෙදාහක් හොයාගන්න.

ඩොක්ටර් මං ජොබ් එක කරන්නේ අහවල් ඔෆිස් එකේ. මං මේ ජරාවට හුරුවුනේ යාලුවොත් එක්ක ට්‍රිප් එකක් ගිහින්. දැන් මගේ වයිෆුත් ගන්නවා. අපි දෙන්නටම මේක නවත්තගන්න උදව් කරන්නකෝ...

මං මාලු රස්සාව කරන්නේ. වාඩියේ දි මේකට පුරුදු වුනේ. දැන් මට මේව නැතුව බැහැ සර්. වයිෆ්ට ගිය මාසෙ බබා හම්බවුනේ. බුදුබව අත්වෙයි සර් මේක නවත්තගන්න ක්‍රමයක් කියන්නකෝ. මගෙ දරුවා ගැන හිතල හරි මට මේක නවත්තගන්න ඕනි සර්.

හෙරොයින්. සරලවම කීවොත් ජරාවක්. හිතාගන්නත් බැරි විදියට මිනිස්සු ඇබ්බැහි කරගැනීමේ බලයක් තියනවා. දවසක් ගන්න බැරිවුණොත් sick එක හැදෙනවා. 

එවිට දරාගන්න බැරි විදියට මුළු ඇඟ ම රිදෙනවා. හරියට නින්ද යන්නෙත් නැහැ. නහයෙන් සොටු දියර නිමක් නැතිව ගලනවා, ඇස් වලින් කඳුලු එනවා,  ඉතින් මෙහෙම දුක් විඳින්න බැරි හන්ද මෙයා ආයෙම හෙරොයින් ගන්නවා. එතකොට ඒ අමාරු ගතිය නැත්තට ම නැතිවෙලා යනවා. හැබැයි ඒ පැය 12ක් විතර යනකම් විතරයි ආයේ ගත්තෙ නැත්තම් ආයෙත් sick එක.

ගොඩ දෙනෙක් ට හෙරොයින් ගන්න එක නවත්වන්න ඕනි වුණත් එයාලට ඒක කරගන්න බැරි ඔන්න ඕකයි.

ඒත් ඇත්තම කීවොත් මේ ඇබ්බහියෙන් අත් මිදෙන්න ඒ හැටි අමාරු නැහැ.

සමහර doctors ලා හෙරොයින් ඇබ්බැහිය ට ප්‍රතිකාර කරනවා.

මේකෙදි සරලව ම වෙන්නේ sick එකේ ලක්ෂණ වලට විරුද්ධව බෙහෙත් දෙන එක. ඒ කිව්වෙ මේකයි. ඇඟ පත රිදෙන එකට ටිකක් සැර වැඩි pain killer එකක් දෙනවා. නින්ද යන්නේ නැති එකට සැර වැඩි නිදි බෙහෙතක් දෙනවා. හොටු, කඳුළු එන එක නවත්තන්න තව බෙහෙතක් දෙනවා.

ලෙඩාට කියනවා හෙරොයින් වෙනුවට මේ බෙහෙත් ගන්න කියලා. සතියක් විතර මේවා බීලා නැවැත්තුවා ම වැඩේ හරි. මේ බෙහෙත් සතියක් ගත්තා කියලා බෙහෙතට ඇබ්බැහි වීමක් වෙන්නෙත් නැහැ, නැවැත්තුවාට sick එකක් එන්නෙත් නැහැ. එතකොට බෙහෙත්  නවත්තපු ගමන් වැඩේ හරි.  Sick එක එන්නේ නැති නිසා මෙයාට ආයෙම හෙරොයින් ගන්න ඕනි වෙන්නේ නැහැ.

දැන් ඔයාල බලයි කොහෙද මෙහෙම treat කරන තැන් තියන්නේ කියලා. 

ඔයාගේ ගෙවල් ළඟ ඉන්න doctor ගෙන් අහන්න එයා සමහර විට හෙරොයින් ඇබ්බැහියට ප්‍රතිකාර කරනවා ඇති. එහෙම නැත්තම් එයා එහෙම තැනකට ඔයාව යොමු කරයි.

මේ කියන බෙහෙත් ටික ගන්න හෙරෝයින් ගන්නවා තරම් මුදලක් යන්නේ නැහැ.
ඒ වගේ ම පෙති,ගුලි,injection වගේ වෙනත් අත්මිදෙන්න අමාරු ඇබ්බැහි වලටත් මේ බෙහෙත් හරියනවා.

මේ post එක අනිවාර්‍යයෙන් ම share කරන්න. මේ කියන දේ වැදගත් වෙන ගොඩ දෙනෙක් පොස්ට් එක කියවලා ප්‍රතිකාර වල ට යොමුවෙයි. නැතිවෙලා වල්මත් වෙලා තියන එයාගෙ ජීවිතේ හදාගන්න එයාලට පුළුවන් වෙයි. ඒ පිනෙන් කොටසක් ඔයාලටත් අයිති වෙයි.

මේවගේ තවත් post එකක් දාපු ගමන් ම කියවන්න ඩොකාගේ ඩයරිය page එකටත් like එකක් දාගෙන ම යන්න. ;-)

මං ජීවක වෙදැදුරු...

Friday, October 20, 2017

ගෑස්ටික් වැඩිවෙලා. හාර්ට් එක පුපුරලා... !

Heart Attack එකක් එන විදිය ගැන ඔයාලට මොන වගේ දැනුමක් ද තියන්නේ?

පොතේ නම් තියන්නේ
        පපුවේ වම් පැත්තේ ඇට කටු වලට ඇතුලින් එන
        දැවිල්ලක් නොවන හිරවෙනවා වගේ
         විනාඩි 20කට වඩා තියෙන
                                       කැක්කුමක් ය කියල.

මීට අමතරව මේ කියන කැක්කුම
           පැනඩෝල් වලට අඩුවෙන්නේ නැති
           වම් අත දිගේ හරි බෙල්ල දිගේ ඉහළට පැතිරිලා යන ගතියකුත් තියනවා.

මේ හැර
      දාඩිය දැමීම,
      හුස්ම ගන්න බැරි ගතියක්,
      වමනේ ගතියක් වගේම
      පපුවේ ගැස්ම ගතියක් ද
                           ලෙඩා අත්දකිනවා.

ලෙඩා මහන්සි වෙච්ච වෙලාවක, බර කෑමක් ගත්තු වෙලාවක, සීතල වෙලාවක (රෑට නාපුවා ම වගේ)  සහ හිතට දුකක් දැනිච්ච වෙලාවක හරි තමයි ගොඩක් වෙලාවට මේ තත්වය ඇතිවෙන්නේ.

ඒ තමයි පොතේ තියන විදිය. හැබැයි මේ විදියට ම ලෙඩ්ඩු එන්නේ ටිකක් අඩුවෙන්.

එතකොට ගෑස්ටික් කැක්කුම ??

හැදුනු අය දන්නවා ඇති. මේකෙදි එන්නේ බඩේ උඩ හරියේ දැවිල්ලක් වගේ කැක්කුමක්. මේක පපුව දිගේ උඩට පිච්චෙනවා පිච්චෙනවා වගේ පැතිරිලා යන ගතියක් තියනවා. ඒ වගේ ම වමනේටත් එනවා.

ඉතින් මේ දෙකේ තියන සම්බන්ධය මොකද්ද කියල ඔයාල දැන් බලනවා ඇති.  මේ කැක්කුම් දෙක හරි විදියට අදුරගන්න ටිකක් විතර අමාරුයි. ඒ කිව්වේ ඔයා කැක්කුම ගෑස්ටික් කියල හිතුවට ඒක ඊට වඩා ගොඩක් භයානක heart attack එකක් වෙන්නත් පුළුවන් කියන එක.  මේ කියන කාරණය හන්දම ගොඩ දෙනෙක් අමාරුවේ වැටෙනවා දකින්න පුළුවන්.  

මේ ඒ වගේ ලෙඩ්ඩු දෙතුන්දෙනෙක් ගැන කතා ටිකක්...

පළවෙනි ලෙඩා

මෙයාට පාන්දර දෙකට විතර එක පාරටම බඩේ දැවිල්ලක් ඇවිල්ල. කලින් ගෑස්ටික් තිබිලත් නැහැ. ඒ පාර කෑම ටිකක් එහෙම කාල ආයෙත් නිදාගෙන. ඒත් කැක්කුම අඩුවෙලා ම නැහැ. කොහොමින් කොහොම හරි පාන්දර 6 වෙනකන් ම ගෙදරට වෙලා ඉදල. අඩුවෙලා නැති තැන මෙයාල hospital ගිහින්. යන අතර මගදී මෙයා නැතිවෙලා...
පහුවෙනිදා මෙයාගේ මරණ පරීක්ෂණය සිදුවෙනවා. ඒකෙදි හෙළිවෙනවා හදවතට රුධිරය සපයන ප්‍රධාන රුධිර නාලිකාවක් අවහිර වෙලා තමයි මෙයාගේ මරණය සිදුවෙලා තියන්නේ කියන කාරණය. ඒ කියන්නේ මෙයා ගෑස්ටික් කියල හිතන් හිටියට ඇත්තටම වෙලා තියන්නේ Heart Attack එකක් ආපු එක. දන්නේ ම නැතිව තත්වය උත්සන්න වෙලා තමයි මෙයාගේ මරණය සිදු වෙන්නේ.

දෙවැනි ලෙඩා.

මෙයා මට හමුවෙන්නේ පහුගිය සතියේ දවසක.
ඩොක්ටර් මං අද දවල් ඇඹරැල්ල මාළුවක් එක්ක බත් කෑවා. තව මිරිස් මාළුත් තිබුණ. දැන් නිකන් බඩ අප්සට් වෙලා වගේ...
එහෙම කියද්දී මට හිතුනේ මෙයා කොහෙන්ද ජරාවක් කාල දැන් බඩේ අමාරුවක් හදාගෙන කියල.

වමනේ ගියාද  ? නැහැ.
බඩ එළියේ ගියාද ? නැහැ
බඩ නිකන් පෙරළෙනවා පෙරළෙනවා වගේ ද? ඒත් නැහැ. ඒත් මගේ පපුව නිකන් පිච්චෙනවා පිච්චෙනවා වගේ.
කලින් ගැස්ටික් හැදිලා තියනවා ද?  ඔව්
කැක්කුම ඒ වගේ ද?
ටිකක් විතර කල්පනා කරපු ලෙඩා එකනම් හරියට හිතාගන්න අමාරුයි කියල කියපු හන්ද ම මං ECG එකක් ගන්නයි කියල කිවුවා.

ECG එක ආපුවාම දැකපු දෙයින් මං අන්දුන් කුන්දුන් වෙලා ගියා. මේ බඩේ අජිරනයක් කියල තව ටිකෙන් බෙහෙත් ටික දීල ගෙදර යවන ලෙඩාට Heart Attack එකක්.
මං හදිසියේ දෙන්න ඕනි බෙහෙත් ටික දීල ලෙඩාව වහාම ඉස්පිරිතාලෙට පිටත් කරලා ඇරිය. මේ ලෙඩා තාමත් ඉස්පිරිතාලේ.

එක පාරක් Heart Attack එකක් හැදුනු ලෙඩෙක් ටිකට් කපල ගෙදර එවනකොට පොඩි උපදෙස් ටිකක් දෙනවා.

ඔයා සතියක් යනකම් හොදට rest කරන්න ඕනි. හෙට ඉදන් දවසට පොඩ්ඩක් ගේ වටේ එහෙම ඇවිදින්න ඕනි . ටික ටික ඇවිදින ප්‍රමාණය වැඩි කරන්න ඕනි.
සති තුනක් යනකම් බර වැඩ, වාහන එලවන වැඩ, දර පලන වැඩ එහෙම මුකුත් බැහැ.  ඒ වගේම වැදගත් ම එක සති දෙකක් යනකම් ලිංගික ක්‍රියාකාරකම් තහනම්.

මෙහෙම නීති දාන්නේ මේ කියන කාල සීමාවේ දී ආයෙම Heart Attack එකක් එන්න ගොඩක් ලොකු chance එකක් තියන හන්ද...

මෙහෙම කීවට දවසක් Heart Attack එකක් හැදිලා ටිකට් කපල ගෙදර ගියපු ලෙඩෙක් අමාරුවක් නැති හන්ද පහුවෙනිද ම වෙළට ගිහින්. දෙපාරයි උදැල්ලෙන් කොටලා තියන්නේ. පපුවේ කැක්කුමක් ඇවිත්. මනුස්සයාට වෙලෙන් ගොඩ එන්න වත් හම්බවෙලා නැහැ.

තව එකක් තමයි වරක් Heart Attack එකක් ආපු ලෙඩෙක් ජිවිත කාලයටම ගන්න ඕනි බෙහෙත් ටිකක් තියනවා..
ඔයා Heart Attack එකක් ඇවිත් තියන ලෙඩෙක් නම් දන්නවා ඇති ක්ලිනික් ගියාට ඔයාව හරියට බලන්නෙත් නැහැ. doctor එකම බෙහෙත් ටික ඔහේ ලියල දෙනවා.
ඇත්තම කිවොත් ඇඟට අමාරුවකුත් නැති හන්ද ටිකෙන් ටික ලෙඩාට හිතෙනවා මේ බෙහෙත් නතර කරන්න ඕනි කියල.

එහෙම නතර කරපු ගොඩක් ආයෙම Heart Attack හදාගෙන hospital එනවා... ගොඩ දෙනෙක් අමාරුව වැඩිම වෙන්න කලින් එන හන්දම බේරිලා ගෙදර යනවා...

ඉතින් අන්තිමට කියන්න තියන්නේ ඔයාට ගෑස්ටික් වගේ කැක්කුමක් ආවොත්. කලින් ගෑස්ටික් හැදිලා නැතිනම් අනිවාර්යයෙන් ම ECG එකක් ගහල බලන එක ඇඟට ගුණයි කියන එකයි.
කලින් ගෑස්ටික් හැදිලා තියන කෙනෙක් නම්, කැක්කුම වෙනද වගේ නැතිනම් ඒත් ECG එකක් ගහල බලන්න.

private බෙහෙත් ගන්න එන ගොඩ දෙනෙක් ECG එකට රුපියල් 500ක් විතර යන හන්ද වැඩේ අදිමදි කරනවා. ඒත් එක කරන්න එපා කියල මං ඔබෙන් ඉල්ලන්නම්. එහෙම සල්ලි නැතිනම් ළඟම රජයේ රෝහලට එන්න. සේරම නිකන් කරලා දේවි.

ඒ වගේ ම Heart Attack එකක් ආවොත් අර සති තුන අනිවාර්යයෙන් ම doctor උපදෙස් දෙන විදියට ම ඉන්න. ඒ වගේ ම එකම බෙහෙත් ටික දුන්නත් ඒ ටික කියන කාලයක් යනකන් ගන්න.

Heart Attack එකක් එන එක වළක්වා ගන්න එකත් මේ වගේ ම වැදගත්.
සරලව කිවොත් තෙල් කෑම වැඩිය කන්න එපා. සිනි කෑම වැඩිය කන්න එපා.
දුම් පානය කරන්න එපා. මත් ද්‍රව්‍ය ගන්න එපා.
දවසට අඩුම පැය භාගයක් වත් හොදට දාඩිය දාන්න excercise කරන්න.අඩුම තරමේ ඇවිදින්නවත් යන්න.
ඔයා වයස 30ට වඩා වැඩිනම් අනිවාර්යයෙන් ම රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ටෙරෝල් මට්ටම කොහොමද කියල වසරකට සැරයක්වත් බලාගන්න.

අදට ඇති...

post එක හොඳ නම් like කරන්න comment කරන්න වගේම වෙන කෙනෙක්ට දැනගන්න share කරන්න.
මේවගේ ම post එකක් දාපු ගමන් කියවන්න, මගේ page එක ඩොකාගේ ඩයරියට
like එකකුත් දාගෙන ම යන්න...