Friday, June 4, 2021

සීසර් කරපුවාම හර්නියා එනවාද ?

සීසර් කරපුවාම හර්නියා එනවාද ? ගිය සතියෙ දාපු හර්නියා ගැන ලිපියෙන් පස්සෙ ගොඩක් අය එහෙම අහලා තිබුණා. 
ඔව්, එන්න පුළුවන්. ඊට අමතරව තව ගොඩක් දේවල් වෙන්නත් පුළුවන්. අද කතාකරමු ඒ දේවල් ගැන.

ඊට කලින් තව ලෙඩෙක් ගැන විස්තර ටිකක් කියල ඉන්නම්. මෙයා මට හමුවෙන්නේ මීට අවුරුදු දෙකතුනකට කලින් ප්‍රසව හා නාරිවේද වාට්ටුවේ වැඩ කරන කාලේ දී.
මෙයා ඇවිත් හිටියේ ගර්භාෂය අයින් කරන ඔපරේෂන් එක කරගන්න. මතක විදියට මෙයාට තිබ්බේ යෝනි මාර්ගයෙන් ලේ යනවා වැඩි ප්‍රශ්නයක්. හැබැයි මෙයට ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් තිබුණා . දැන් අවුරුදු ගාණක ඉඳලා මෙයාට හරියට මුත්‍රා යන්නේ නෑලු. දෙපාරක් විතර මුත්‍රා මාර්ගය හරහා පොඩි කුරක් දාල මුත්‍රා මාර්ගය පළල්  කරන ඔපරේෂන් එකත් කළා ලු. ඒත් තාම හරියට මුත්‍රා යන්නේ නෑලු. අමාරුවෙන් තටමලා ලු මුත්‍රා කරන්න ඕනි. කැඩී කැඩී ලු මුත්‍රා යන්නේ. මාරම දුකක් ලු විඳින්නේ. 
මෙයා සීසර් සැත්කම් තුනක් කරගෙන තිබ්බ අවුරුදු 55ක වගේ කාන්තාවක්. 
ඉතින් කොහොමහරි මේ ලෙඩාගේ ගර්භාෂය ඉවත්කරන සැත්කම කරගෙන යනකොට තමයි දැක්කේ බඩ ඇතුල හැමතැනම එහාට මෙහාට ඇලිල කියල. අපේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්යතුමන්ටත් සැහෙන්න දඟලන්න වුණා  මේ ඇලිච්ච එව්වා (adhesions ) ගලවලා ගර්භාෂය මතුකරගන්න. 
ට සිරි කියන්නේ ගර්භාෂය ගලවනකොට තමයි දැක්කේ එක ඉස්සරහින් තියන මුත්රාශයට හොඳටම ඇලිලා කියලා. ඒ මදිවට මුත්‍රා මාර්ගයත් තෙරපිලා. 
අන්න එතකොට තමයි අපිට මේ ලෙඩා මේ කාලයක් තිස්සේ පිඩා වින්දයි කියන මුත්‍රා අමාරුවට හේතුව හරියටම තේරුනේ. කොහොමහරි මේ ඇලිච්ච එව්වා ගලවලා ගර්භාශයත් අයින් කරලා සැත්කම නිමාවෙනවා . 
පස්සේ දවසේ මට මේ ලෙඩා හමුවෙනවා. 
ඩොක්ටර් දැන් නම් මට මුත්‍රා කරද්දී කිසිම ප්‍රශ්නයක් නෑ . හොඳට යනවා. ලෙඩාගේ මුණේ ඇඳිලා තිබ්බ හිනාවෙන් ම තේරුණා මනුස්සයා කොයි තරම් නම් සතුටකින් ද ඉන්නේ කියලා.

ඉතින් මේ විදියට මුත්‍රා මාර්ගයේ සංකුලතා එන එකයි හර්නියා අමාරු එන එකයි ඇරෙන්න වෙන මොනවද සීසර් සැත්කම් හන්ද වෙන්න පුළුවන් අතුරු ප්‍රථිපල ?
විශේෂයෙන් ම කලින් කිව්වා වගේ සැත්කම කරපු තැන් වලට බඩවැල් එහෙම ඇලිල හිතාගන්න බැරි බඩේ කැක්කුම් එන්න පුළුවන්. 
ඒ වගේ ම ඊළග  සැරේ pregnant වෙනකොට වැදැමහ ගර්භාෂය ඇතුලත බිත්තියට සවිවෙන්නේ නැතිව අර කලින් සීසර් කැපුම තියන තැනින් එළියට ඇවිත් ගර්භාෂයේ එළියේ බිත්තියට එහෙමත් නැත්නම් ගර්භාෂයට එහායින් තියෙන මුතාශයට සවිවෙලා placenta previa, placenta acreta කියන ඕනෑම වෙලාවක අම්මට වගේ ම බබාට හානියක් වෙන්න පුළුවන් මහා භයානක තත්ත්ව ඇතිවෙන්න පුළුවන්.
සීසර් සැත්කම කළාට පස්සේ ගර්භාශයේ කැපුම තියෙන තැන තුනී වෙලා යනවා. එතකොට ඊළග සැරේ pregnancy එකේදී ඔතැනින් ගර්භාෂය ඉරිලා යන්න පුළුවන්. විශේෂයෙන් ම එයාට සාමාන්‍ය විදියට බබා හම්බෙන්න ගියොත්. එකයි එකපාරක් සීසර් කරපු කෙනෙක් ට කැක්කුම් එන්න කලින් සති 37න්  වගේ ආයේ සීසර් එකක් කරලා බබාව ගන්නේ. හැබැයි එක පාරක් සීසර් කරපු කෙනෙක් තව පාරක් සීසර් කරන්නේ නැතිව මේ කියන ඉරිලා යන එක වෙනවද කියල බල බල සාමාන්‍ය විදියට බබා ගන්න වෙලාවල් තියෙනවා ඉස්පිරිතාලේදී...
මිට අමතරව කොන්දට විදින ඉන්ජෙක්ෂන් එකට ඇලජික් වෙන්න පුළුවන්.
කොන්දට විදින ඉන්ජෙක්ෂන් එක හන්ද ගොඩක් වෙලා කකුල් පණ නැතිවෙනවා. මේ විදියට කකුල් එකම විදියට තියනකොට ලේ කැටි හැදිලා ඒවා පෙනහළු වලට ගිහින් හුස්මගැනීමේ අපහසුතා එන්න පුළුවන්.
සිසේරියන් සැත්කමකට පස්සේ කළාතුරකින් අධික රුධිරවහනයක් වෙන්න පුළුවන්. මේ දේ nomal delivery එකකින් පස්සේ වෙන්නත් පුළුවන් වුණාට සීසර් සැත්කමකින් පස්සේ එහෙම වෙන්න තියෙන chance එක ඉතා වැඩියි. කලාතුරකින් වෙලාවක මෙහෙම ලේ යන එක නතර කරන්න ගර්භාෂය ඉවත් කරන්න වෙන්නත් පුළුවන්. 
මිට අමතරව සැත්කම කරපු තැන ආසාදනය වෙන්නත් පුළුවන්. ඒ වගේම සැත්කම කරනකොට ළග පාත තියෙන මුත්‍රාශය වගේ වෙන අවයව වලට හානි වෙන වෙලාවලුත් තියෙනවා.
අම්මට විතරක් ම නෙවෙයි බබාටත් සීසර් සැත්කම හන්ද වෙන බලපෑම් තියෙනවා. සැත්කම කරන්න කපනකොට බබාව කැපෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ ම එයාට හුස්ම ගන්න අමාරු වෙන වෙලාවල් වැඩියි.

ඉතින් ඕවා තමයි වෙන්න පුළුවන්.

ඇත්තටම කොයි වගේ අයගේද සීසර් සැත්කම් කරන්න ඕනි.? සමහර විට ඔබට ප්‍රශ්නයක් ඇති.
බබා හැරිලා නැති සමහර අවස්ථා වල 
twins ලා ඉන්නකොට (  පළවෙනි twin හැරිලා නැත්නම්)
ප්‍රසුතියේදී එන අධික මහන්සිය දරාගැනීමට අසීරු ඇතැම් හෘදරෝග මවට ඇතිවිට  
කුසෙහි සිටින බබාට වැදැමහ හරහා රුධිරගමනය අඩාල වී ඇති අවස්ථා වලදී 
කුසෙහි සිටින දරුවා අධි බර විට 
මවට ඒඩ්ස්, genital herpes වැනි දරුවට normal delivery එකකදී සම්ප්‍රේෂණය විය හැකි රෝග ඇතිවිට 
පෙර සඳහන් කල placenta previa , accreta තත්ත්ව ඇතිවිට
සහ බබා nomal ගන්න ගොස් ඇතිවිය හැකි බබාගේ හිස හිරවීම් සහ බබාගේ ජිවිතයට හානියක් විය හැකි පෙකණි වැල හිරවීම් වැනි තත්ත්ව වලදී , බබාට වැදැමහ හරහා ලේ යන එක අනතුරුදායක ලෙස අඩුවීම් වලදී (මෙවන් අවස්ථා බඩට සවිකරන CTG පටියෙන් හඳුනාගත හැකිය.), වැනි අවස්ථා වල දී සිසේරියන් සැත්කම් සිදුකරයි.
 
ඩොක්ටර් ඔහොම කිව්වට අපි දන්නා ගොඩක් අය ඉන්නවනේ සීසර් දෙකතුන කරන ඔය මුකුත් නැතිව. ඔයා සමහරවිට එහෙම අහයි. 
ඔව්. ඉන්නවා. ඒත් ඕනෑම වෙලාවක සීසර් කරනකොට මං මේ කියල තියෙන දේවල් වෙන්න පුළුවන්. ඔයාට එහෙම වුණොත්... 

අදට ඇති. මං වෛද්ය ජයසංඛ නවෝද්, ඇල්පිටිය මූලික රෝහලේ සිට...
පෝස්ට් එක තව කෙනෙක් ට බලන්න share කරගෙන ම යන්න හොඳේ...
හැබැයි share නොකර post එක copy paste කරන්න නම් එපා... මේවගේ තව ලිපි කියවන්න කැමතිනම් එන්න මගේ fb පිටුවට, ඩොකාගේ ඩයරිය ...
කලින් ලිපි පොතක් විදියට කියවන්න කැමති නම් මෙන්න link එක.
ග්රන්ථ.lk එකෙන් ගෙදරට ම ගෙන්නාගන්න පුළුවන් .

Saturday, May 29, 2021

IHR

මගේ ලිපි කියවන ඔයාලා සමහරවිට දන්නේ නැතුව ඇති මං දැන් වැඩකරන්නේ ඔපරේෂන් වාට්ටුවක කියලා. ඉතින් අද කතාව මට වාට්ටුවෙදි හම්බවෙච්ච ලෙඩෙක් ගැන.
 මේ ලෙඩා ආවෙ හර්නියා අමාරුව කියාගෙන. ඒ කියන්නෙ කහිනකොට,තටමනකොට බඩේ ඉස්සරහින් ගුලියක් වගේ බඩවැල් එළියට පනිනවා... මේක ටිකක් විතර කරදරකාරී දෙයක්, කැක්කුම එන දෙයක්. සමහර වෙලාවට ඕකෙ බඩ වැල් ඇලුණාම ගෙඩිය වගේ එළියට නෙරලම තියෙනවා. කලාතුරකින් වෙලාවක ඕක ඇතුලෙ හිරවෙන බඩවැල් වලට ලේ යන්නෙ නැතුව ඒව කුණුවෙන වෙලාවලුත් තියෙනවා. 
ඉතින් අපි කරන්නෙ එච්චර හදියක් වෙන්න කලින් දිනයක් දීල ඕක හරිගස්සන එක. 
ඒකට කරන්නෙ අර බඩවැල් , බඩ ඇතුලෙන් එළියට පනින සිදුර මහල ඒකට උඩින් ආයෙ ඇරෙන්නෙ නැතුවෙන්න දැලකුත් දාලා බඩේ ඉස්සරහ බිත්තියේ ශක්තිය වැඩි කරන එක. 
කොහොමහරි ඔන්න මේ කියන ලෙඩා අදාල දවසෙ ඇඩ්මිට් වුණා... මෙයාගෙ බඩේ ඉස්සරහ බිත්තිය මේ විදියට දුර්වල වෙන්න හේතුවෙලා තිබුණෙ කලින් බඩ කපලා කරපු ශල්‍යකර්මයක්. 
ඊට අමතරව නිතරම කැස්ස තියන අයගෙ, මළ මුත්‍රා කරනකොට නිතර තදින් තටමන අයගේ වගේම සමහර ජානමය රෝග තියන අයගෙ මේ වගේ බඩේ බිත්ති දුර්වල වෙලා හර්නියා අමාරු හැදෙනවා. තව, නිතර බර උස්සන අයගෙත් බඩේ ඉස්සරහ බිත්තිය තදවෙනවා වැඩි හන්ද ඒව දුර්වල වෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩියි. 
කොහොමහරි අපි මෙයාගෙ සැත්කම කරලා අර කලින් කිව්වා වගේ බඩේ ඉස්සරහා බිත්තියේ ශක්තිය වැඩිවෙන්න දැලකුත් prolene mesh) දැම්මා. 
හරි. වැඩේ ඉවරයි. ලෙඩත් දවස් දෙකකින් විතර ටිකට් කපන් ගෙදර ගියා...

ඉවරයි කියලා හිතුවට ඉවරම නෑ කියලා හිතුනෙ සතියකට වගේ පස්සෙ මේ ලෙඩා ආපහු ඇවිත් තිබුණ හන්ද. ටසිරි කියන්නෙ අපි මහපු තැන හොඳටම සැරව. තුවාලෙට විසබීජ ගිහින්. 
දැන් ඉතින් මාත් ඇතුළුව මෙයාගෙ ඔපරේසම කරපු ඩොක්ටර්ලට මාර අවුල. අපි හරියට අත් එහෙම හෝදගෙන ජීවාණුහරණය කරපු බඩු වලින් ෆුල් ක්ලීන් පිට වැඩේ කළේ. ඒත් මෙහෙම වුණේ කොහොමද... මාර ප්‍රශ්නෙ. 

මහත්තයෝ ගියපාරත් එහෙමම හර්නියා ඔපරේසම කරලා තුවාලෙ පැසෙව්වා... මෙන්න ලෙඩා එකපාරටම කියපි. 
දැන්ද මනුස්සයෝ ඕක කියන්නෙ. අපිට අසූහාරදාහට කේන්තියි...

වෛද්‍යවරු විදියට අපි ලෙඩෙක් ඔපරේසන් කරන්න කලින් එයාගෙ පරණ රෝග වාර්තා ඔක්කොම කියවලා බලනවා සහ ලෙඩාගෙන් අහලා දැනගන්නවා. හැබැයි මේ ලෙඩාගෙ පරණ ඔපරේසන් කාඩ් මුකුත් තිබුණෙ නෑ. ලෙඩාට මුකුත් ඇලජික් වෙලාද පලු දැම්මද කරප්පන් දැම්මද කියල ඇහුවට නෑ කියලමයි කිව්වෙ. 
පස්සෙ එයා කියනවා ඒවා කිව්වොත් මේසැරේ ඔපර්සම කරන්නේ නැතිවෙයි කියලා හිතලලු කීවෙ නැත්තෙ කියලා. 

සමහර අයට මේ හර්නියා ඔපරේසම කරනකොට දාන දැල ආසාත්මික වෙනවා. එහෙම අයට කරන්න තියන්නේ ආසාත්මික නොවෙන ද්‍රව්‍යකින් හදපු non allergic දැලක් දාන එක. හැබැයි මේවගෙ ගාණ හොඳටම වැඩියි. ආණ්ඩුවෙන් හම්බවෙන්නෙත් නෑ. ඉතින් එතකොට කරන්නෙ දැල දාන්නෙ නැතුව හර්නියා සිදුර වහලා දාන එක. ඒක ඒහැටි සාර්ථක නෑ. ආයෙ ආය එන්න පුළුවන් . ඒත් ඉතින් ඒකට කරන්න දේකුත් නෑ ලෙඩාට ම ඒවගේ දැලක් ගන්න එක ඇර. ඉතින් එහෙම ආසාත්මික වුණාට පස්සෙ එතන ඉදිමිලා විසබීජ වර්ධනය වුණාට පස්සෙ තමයි තුවාලෙ පැසවන්නෙ. 

දැන් ඉතින් මේ ලෙඩා තාම වාට්ටුවේ ඉන්නවා. ලොකු ලොකු ඇන්ටිබයොටික් මහ ගොඩකුත් විදිනවා තුවාලෙ වේලෙන්න. ඒ මදිවට ආයෙත් ඔපරේෂන් කාමරේට අරන් තුවාලෙ සුද්ද කරලා දාන්නත් වෙලා. 

මේ ඔක්කොම ලෙඩා හරියට එයාගෙ කලින් විස්තර කියපු නැති හන්දා... ඉතින් ඔයාලත් එහෙම වෛද්‍යවරයා ඉදිරියේ ඇත්ත හංගනවා නම්. බලාගෙනයි. පරිස්සමෙන්... හොඳේ... වැඩේ ඔයා හිතන්නෙ නැති පැත්තකට යන්න පුළුවන් ... 

තව දෙයක්. හර්නියා අමාරු ගැන කතා කරපු එකේ ඒව එන්න බලපාන හේතු ගැනත් කතා කරමු.
කැස්ස දිගට තියෙනවා නම්
මුත්‍රා කරනකොට මළපහ කරනකොට හැමදාම තටමන්න ඕනි නම් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා ඒ අමාරු අඩු කරගන්න. නැත්නම් පස්සෙ දවසක ඒ හන්දම හර්නියා අමාරු එන්න ගොඩක් ලොකු ඉඩක් තියෙනවා.

අදට ඇති. මං වෛද්‍ය ජයසංඛ නවෝද්, ඇල්පිටිය මූලික රෝහලේ සිට...