Friday, November 20, 2015

පදික වෙළෙන්දා සහ දියණිය...

ඔබ මහනුවර අවට කෙනෙක් ද? මේ කොතනද කියල හඳුනාගන්න පුළුවන් ද? ඔබ වසර දෙකකින් පමණ මහනුවර නගරයට පැමිණ නැති නම් එක් වරම ඔබට මේ කොහේ දැයි සිතාගන්නට අසීරු ඇති. මේ මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොලේ සිට ඔරලෝසු කනුව වෙතට ඇති මාතලේ දුම්රිය මාර්ගය දෙපස කොටසයි. දැන් මෙහෙම තිබුණට මෙතන ඉස්සර නම් තිබුනේ හතු පිපෙන්නා වගේ අක්‍රමවත් ව ඉදි කරපු පදික වේදිකා කඩ පේලියක්. මිනිස්සු අතරේ තෙරපි තෙරපි මේ කඩ කාරයොන්ට හොදවයින් බැන බැන මේ හරහා ගියපු හැටි මට තාම මතකයි. ඔබටත් මතක ඇති. ඉතින් අද ඒ කඩ පේළිය එතැන නැහැ. මේවා ඉවත් කරලා වසර දෙකකට විතර පස්සේ ඔතන සාප්පු සංකීර්ණයක් හැදුණා. අර පදික වෙළෙන්දෝ ටික දැන් ඉන්නේ එතැන. හැබැයි ඉස්සර තරම් නම් අදායම් නම් නැතුව ඇති.

ඉතින් ඒ කතාව පැත්තකට තියල අද කතාව වෙතට හැරෙමු.

ඈ වයස 19 ක ඉතා රූමත් තරුණියක්. ඇවිත් හිටියේ හදිසි අනතුරු වාට්ටුවකට. මෙයා තාත්තාගෙන් ගුටි කාල. පරික්ෂා කරල බැලුවාම ඇඟ හැම තැනම වගේ තුවාල කැළැල් විසිරිලා තිබුණ.

ඉතින් ඇයි මේ තාත්ත තමන්ගෙන රත්තරන් දුවට මෙහෙම කරදර කරන්නේ...?

මේ තාත්ත අර මං කලින් කියපු කොච්චි පාර අයිනේ හිටපු පදික වෙළෙන්දෙක්. ඒ දවස්වල මෙයාලට හොඳ ආදායමකුත් තිබිල. සතුටින් ජිවත් වෙලා. ඒත් නගර සංවර්ධනයයි පදිකයන්ට පහසුවක් වෙන්නයි කියල මේ කියන පදික වේදිකාව කඩල දැම්මයින් පස්සේ අර තාත්තට තමන්ගේ රස්සාව කරගන්න තැනක් නැති වෙලා. දැන් දැන් මෙයාලට අග හිඟ කම් එන්න පටන් අරන්. මේ ළමයාගේ අම්ම රට ගිහින්. තාත්ත දුක් කරදර අමතක වෙන්නත් එක්ක හවසට හවසට බොන්න පටන් අරන්. එහෙම බීගෙන එන හවස් වරුවට අර ගෑණු ළමයාගේ මොකක් හරි වැරද්දක් හොයාගෙන හොදටම ගහනවලු.

කොහොම හරි ටික දවසකට පස්සේ මේ ළමයාගේ තාත්ත ගෙන්නලා අවවාද කරලා පොලිස් පොතේ අස්සනුත් කරලා දෙන්නම ගෙදර යැව්වා. හැබැයි මේ තාත්තට තාම රස්සාවක් නම් නෑ. අර සාප්පු සංකීර්ණය හැදෙන පාටක් පේන්නත් නෑ. ගෙදර යන්න බෑ කියා කියා අඩ අඩ ගියපු මේ සුන්දර තරුණිය ගැන ආරංචියක් අපිට ආයෙම අවෙත් නෑ.

සොඳුරු රුව ඇති
තවම නිකැළැල්
හිරිමල් යෞවන

අද කොතැනක සිටි ද
කුමක් කරත් ද
මම නම් නොදනිමි...

Tuesday, October 27, 2015

ලජ්ජා කාරී...

සමහර ලෙඩ්ඩු හරිම ලැජ්ජයි. එයාල දොස්තර මහත්තයාටත් ඇත්ත කියන්නේ අන්තිමම ම මොහොතේදී. මේ ඒ වගේ ලෙඩෙක් ගැන කතාවක්...

මෙයා මට මුණගැහෙන්නේ ප්‍රසව හා නාරි වේද වාට්ටුවකදී. ප්‍රසව කියන්නේ බබ්බු හම්බවෙන්න ඉන්න අම්මලා සිටින කොටස. නාරිවේද කියන්නේ කාන්තාවන්ට පමණක් සීමා වූ රෝගී තත්ත්වයන් සහිත ලෙඩුන් සිටින කොටස(ගර්භණිතාවය හැර)...

නාරිවේද කොටසේ වෛද්‍යවරයා ට පරික්ෂා කර බැලීමට සිටිනා ලෙඩුන් සිටි පෝලිමේ බොහොම අමාරුවෙන් මේ කාන්තාව වාඩි වෙලා ඉන්නවා. මෙයත් එක්ක පිරිමි කෙනෙකුත් ඇවිත් හිටිය. එක පාරටම මෙන්න මේ පිරිමි කෙනා මාත් එක්ක කතාවකට වැටෙනවා.

'පොඩි දොස්තර මහත්තයා මගේ නෝනට ගොඩක් අමාරුයි.'
'මොකක් වෙලා ද එයාට?'
'එයාගේ බද හොඳටම රිදෙනවලු.'

මං මේ කාන්තාව දිහා ආයෙත් සැරයක් බැලුව. ඇත්ත තමයි , මෙයා ලොකු අමාරුවකින් වගේ ඉන්නේ !

වාට්ටුව භාර කණිෂ්ඨ වෛද්‍යවරයා ළඟට දුවගෙන ගියපු මං මේ ලෙඩා ගැන ඔහුට කිව්වා.

එතුමා මේ කාන්තාව ගෙන් දැන් ප්‍රශ්න අහනවා.

'මොකක්ද ඔයාට තියන අමාරුව?'
'මගේ බඩ හොදටම රිදෙනවා මහත්තයෝ'
'එහෙනම් නගින්න බලන්න ඇඳට...'

පරික්ෂාවෙන් පස්සේ වෛද්‍යතුමාගේ මූණ අමුතු විදියට වෙනස් උණා.

මල්ලි මේ ගෑණි ට බබෙක් හම්බවෙන්න ඉන්නේ. අමාරුයි කියල කියල තියන්නේ විලි රුදාවට. තව පැයක් යන්න කලින් බබා හම්බ වෙයි ගොඩක් වෙලාවට.

පරික්ෂා කරලා බලනකන් ම තමන් ප්‍රෙග්නන්ට් කියල  මේ ලෙඩා වචනයක් වත් කිව්වේ නෑ. හොඳ වෙලාවට ලේබර් රූම් එක ළඟ පාතක තිබුනේ. ලේබර් රූම් එකට දාල පැය භාගයක් යන්නත් කලින් මේ කාන්තාව පිරිමි දරුවෙක් ප්‍රසුත කළා.

මේ කාන්තාව ළඟ එයාගේ ගර්භණි කාලයට අදාළ සායනික වාර්තා සහ විශේෂ පරීක්ෂණ වාර්තා මුකුත් ම තිබුනේ නෑ. පස්සේ අහල බලපුවාම කිව්වා එයා ක්ලිනික් එකකට වත් ගියේ නෑ කියල. ඒ මොකද කියල අහපුවාම මෙයා බිම බලාගත්ත.

හොඳ වෙලාවට හැමෝගෙම වාසනාවට කිසිම කරදරයක් නැතුව මේ අම්ම නිරෝගී දරුවෙක් බිහි කළා. හදිස්සියෙවත් සංකුලතාවයක් එහෙම ආවනම් ගොඩක් වෙලාවට මේ අම්මගේ ජීවිතේට උනත් හානියක් වෙන්න ඉඩ තිබ්බ. ඒ මේ අම්මගේ රෝග විස්තර, ගර්භණි සමය ගැන කිසිම විස්තරයක් අපි දන්නේ නැති හන්ද...

ඉතින් අන්තිමට කියන්න තියන්නේ ඔබත් දොස්තර මහතෙකු හමුවට යනවනම් සියල්ල නොසඟවා පවසන්න කියන එකයි.

Saturday, September 12, 2015

මිනිස් මොළයේ ඇති වන ලේ ගෙඩි - Brain (Cerebral) Aneurysm

මේ කාන්තාවට අවුරුදු 58ක් විතර ඇති. මෙයා දැන් අවුරුදු විස්සක් විතරම අධික රුධිර පීඩනයට හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමෙකුගෙන් බෙහෙත් ගන්නවා. ළඟදී ඉඳන් මෙයාට තද හිසේරදයක් ඇවිත්. පෙනඩෝල් ගත්තට අඩු වෙනවලු. ආයෙම ටික දවසකින් මතුවෙනවලු. මෙයා වැඩිය ගණන් අරන් නෑ.
මාසෙකට විතර පස්සේ මෙයාට එක පාරටම සිහිය නැති වෙලා. එයා ගියපු රජයේ මහරෝහලෙන් හිසේ CT පරීක්ෂණයක් කරලා. මොළේ ලේ නහරයක් පුපුරළලු.   ස්නායු ශල්‍යවෛද්‍යතුමෙක් ළඟට යොමු කරාට පස්සේ එතුමා මෙහෙම කියල.

මේ ලෙඩාගේ ලේ ටික අයින් කරන්න ඔලුව කැපුවොත් අනිවාර්යයෙන්ම ලේ ගිහිල්ලම ලෙඩා විනාඩි පහක් විතර ඇතුලත මැරෙනවා.  ඔයාල අපහු ගිහින් පිරිත් ටිකක් දාල තියන්න. අපිට කරන්න වෙන කිසිම දෙයක් නෑ.

මෙයාල සල්ලි තියන කට්ටියක්. කොළඹ ලොකුයි කියන පුද්ගලික රෝහලකට ගිහින්. එහෙදි මෙහෙම කියල.

ඇඩ්මිට් වෙන්න මට ඕක හොඳ කරන්න පුළුවන්.

ටික දවසක් මේ කියන පුද්ගලික රෝහලේ ඉඳල. අන්තිමට උනේ ලොකු බිලක් ආපු එකයි මේ ලෙඩා මරුතුරුලට ගියපු එකයි විතරයි.


විශේෂයෙන්ම කියන්න ඕනි දේ තමයි පුද්ගලික රෝහල් වල ලබාදෙන සේවාවන් ඊටත් වඩා හොඳින් ඇතැම් මහ රෝහල් වල නොමිලේ ම සිදු වෙනවා. මා ඔබට බයිපාස් එකක් කිව්වොත් ඔබට පළමුව මතක් වෙන්නේ කොහෙද ?? පුද්ගලික රෝහලක් නේද? ඔබ දන්නවාද ඔබ දන්නවාද කොළඹ ජාතික රෝහල, මහනුවර මහරෝහල ආදී මහරෝහල් කිහිපයක මේ කියන බයිපාස් සැත්කම් සැමදාම වාගේ නොමිලේ සිදුවන බව? එකම දේ තමයි රජයේ රෝහල් වල පොරොත්තු ලේඛණය ඇතැම් විට අවුරුදු ගණන්. එතකොට බොහෝ පුද්ගලික රෝහල් වල බිල ගිනි ගණන්.

දැන් බලමු මොකක්ද මේ ලේ නහර පුපුරා යාමේ තත්ත්වය කියල. වතුර බටේක එක තැනක ඝනකම අඩුවී සියුම් උනොත් මොකද වෙන්නේ? අර වතුර පාරේ පෙෂර් එකට මෙතන තවත් තුනී වෙලා බටේ පිම්බෙන්න වගේ පුළුවන්. තවත් ටික කාලයක් ගියාට පස්සේ  වතුර ලීක් වෙන්නත්  බලනවා නේද?

මේ දේම අපේ මොළයේ අභ්‍යන්තර ලේ නහර වල සිදු උනොත් අපි එකට කියන්නේ Brain (cerebral) aneurysm එකක් එහෙමත් නැත්නම් මොළයේ රුධිර නාල වල ඇතිවන ගෙඩි තත්ත්වයක් කියල. මිට අමතරව ප්‍රධාන රුධිර නාල වලත් මේ කියන Aneurysm(ගෙඩි) තත්ත්වය සුලබව දකින්න පුළුවන්.

දැන් බලමු Aneurysm වලට හේතු වෙන්නේ මොනවාද කියල.
සමහර අයට ආරෙට එන්න පුළුවන්.
සමහර විට උපතින්ම මේවා පිහිටා තියෙන්නත් පුළුවන්.
කාන්තාවන්ට වගේම කළු ජාතික අමෙරිකනුවන්ටත් මේ තත්ත්ව ඇතිවෙන්න තියන හැකියාව වැඩිලු.

අධික රුධිර පීඩනය තියන යට මේ කියන තත්ත්වය ඇතිවෙන්න ලොකු හැකියාවක් තියෙනවා.
ඒත් එක්කම කොලෙස්ටරෝල් තියෙනවනම් මේ හැකියාව තවත් වැඩි වෙනවා.
දුම් පානය කරනවානම් මේවා පුපුරයමේ හැකියාව ඉහලයි.

අපේ ලෙඩාට මේ දේ ඇවිත් තිබුනේ අධික රුධිර පීඩනය හන්ද...

රෝග ලක්ෂණ ගැන කිව්වොත්,
   අපේ මොළයේ එක එක තැනින් වෙන්නේ එක එක වැඩ. ඉතින් මේ තත්ත්වය තියන තැන සහ  අනුව රෝග ලක්ෂණ වෙනස් වෙන එක අනිවාර්යයෙන්ම වෙනවා.

එහෙත්,
         අධික හිසරදය,
         වමනය / ඔක්කාරය,
         බොඳවී පෙනීම
                      වගේ දේවල් නම් හැමෝටම වගේ එනව.

ඒ පුපුරන්න කලින්. පිපිරුවට පස්සේ.

      ක්ෂණිකව ඇතිවන
                    අධික හිසරදය,
                    වමනය
                    වලිප්පු තත්ත්ව (ෆිට් එක )
                                       වගේම
                     

                        රෝගියා සිහි මුර්ජවිම සිදු වෙන්න පුළුවන්.



ඉතින් ඔබටත් අධික රුධිර පීඩනය තියෙනවා නම් අඩු වෙන්නේ නැති හිසේ කැක්කුමක් තියනවනම් අපේ ලෙඩා වගේ ගෙදරට වෙලා පැනඩෝල් බිබී ඉන්නේ නැතුව හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පතන්න කියන එක තමයි අන්තිමට කියන්න තියන්නේ.




මොළය ඇතුලට ලේ ගොස් ඇති ආකාරය
රුධිර නාලයක ඇතිවූ Aneurysm හෙවත් ගෙඩියක් 

Saturday, June 20, 2015

මඟ තොටේ දී හමුවූ පරණ ලෙඩා...

මං මේ ළඟදි දවසක් පන්සලකට ගියා... ගෙදර ඉඳන් ආපු නැති හන්ද අතේ මල් පහන් හදුන්කුරු මුකුත් තිබ්බේ නෑ. එහෙම පන්සල් යන්න මොකක්දෝ වගේ හින්ද පාර අයිනේ තිබ්බ මල් විකුණන stall එකක් ලඟට ඇවිදන් ගියා...

අනේ මහත්තයෝ අපෙනුත් මල් ගන්න එන්න...

අවුරුදු 35ක් වගේ පෙනුමක් තියෙන අක්ක කෙනෙක් බැගපත් වෙනවා. පෙනුමෙන් නම් ජිවන ගමන ඉදිරියට රැගෙන යන්න උපරිමේටම කට්ට කනවා වගේ... 
මේ ගිනි ගහන අව්වේ පිච්චි මල් විකුණන එක ලේසි වැඩක් යැ..

"මේ මිස් මට දැකල පුරුදුයි වගේ..." මට නිකන්ම කියවුණා...
"එකනේ මටත් මේ මහත්තයව හොදට දැකල පුරුදුයි වගේනේ..."
"ළඟදි ඉස්පිරිතලේකවත් හිටියද???"
"අහ මේ අපේ doctor නේ. දැන් අපේ දුවට හොදටම හොදයි."

එතකොට මේ කාන්තාව ගැන චායාවක් වගේ මතක සටහනක් හිතේ ඈත කොනක ඇඳිලා ගියා.
අපි ළමා රෝග ඇපොයිමන්ට් එක කරන දවස් වල මේ අම්මයි දුවයි අපේ වාට්ටුවේ නතර වෙලා හිටිය. මොකටද aaවේ කියන්න නම් හරි හැටි මතකයක් නෑ. ඒත් දුවට හොදටම හොඳවුණා කියල නම් මතකයි.

කොහොම කොහොම හරි ආගිය විස්තර කතා කරන අතරේ පහන් දෙකකුයි, මල් පර්සලයකුයි හඳුන්කුරු පෙට්ටියකුයි ගත්ත.

අපිව හොඳ කරපු මහත්තයගෙන් කොහොම සල්ලි ගන්නද. කියපු මෙයා සල්ලි ගන්න බෑ ම කියනවා...
එයා එහෙම බෑ කියන්නේ අවංකවමයි කියන එක මුණ දිහා බලද්දිම තේරෙනවා.

තාම medical student ල වෙන අපි ගැන, ලෙඩ හොඳ කරගත්තු මෙයාලගේ හිතේ තියන ගෞරවය, පැහැදීම දැකල මං කොච්චර වාසනාවන්තද කියල හිතුන.

මේ කතාව මෙහෙම ලියන්න හිතුනේ මඟ තොටේදී හමුවූ පරණ ලෙඩෙක් ගැන බ්ලොග් ලියන තවත් අපේම සහෝදරයෙක් ලියපු පොස්ට් එකක් දැකල.

එකත් කියවලම යන්න. මෙන්න ලින්කුව...


Saturday, May 30, 2015

Medical Student කෙනෙක්ගේ දවසක්...

හදිසියේම අප විශේෂඥ ශල්‍යවෛද්‍යතුමන්ගේ ජංගම දුරකතනය වෙත කෙටි පණිවුඩයක් පැමිණෙයි.

Wife : I'm going to London for an office tour. What do u want from there???
Husband : I want a British girl... :-P
After two weeks the wife returns...
Husband : did u bring???
Wife : yes. Wait for nine months... :-P

ඊට පැය 17කට පමණ පෙර...

වේලාව - උදෑසන 4.30 යි.

එතකොට මට හොඳටම නින්ද ගිහින් තිබුණේ. හදිස්සියේම අල්ලපු ඇඳේ හිටපු එකාගේ එලාම් එක වැදුන. ඌ නැගිට්ට. එලාම් එක ඔෆ් කරා. අයෙ බුදිය ගත්ත. මටත් අයෙම නින්ද යාගෙන ආව විතරයි අරුගේ එලාම් එක අයෙත් වදින්න ගත්ත. බැලින්නම් ඌ ඒක ඔෆ් කරනවා වෙනුවට ස්නූස් කරලා. මට යක්ෂ කේන්තියක් ගියා. යකෝ බුදියන්න ඕනි නම් එලාම් නොතිය ඉඳපන්. මට මූව මරන් කන්න තරං කේන්තියි. කොහොම කොහොම හරි මට පහ හමාර වෙනකම් නින්ද ගියේම නෑ.
කියන්න අමතක උණා අද අපේ ක්ලිනික් දවසක්. උදේ හත හමාර වෙද්දිවත් ක්ලිනික් එක ළඟ ඉන්න ඕනි. ඉතින් පහ හමාරට ඇඳෙන් බිමට බැස්ස මං මුණ හෝදන්න වැසිකිළි සංකීර්ණය පැත්තට ඇවිදන් ගියා. මගුලයි. ඊයේ ඇඳපුවා හේදුවේ නැනේ. අයෙ කාමරේට ගිහින් ඒ රෙදි ටිකත් අරන් ආපු මං රෙදි ටික හෝදලා දත් ටික මැදල රැව්ල කපල නාල (අනිත් ඒවත් කරගෙනම) එලියට ආව. රෙදිත් මැදගෙන ඒවා ඇඳගෙන කොහොමින් කොහොම හරි හොස්ටල් එකෙන් එලියට බහිනකොට වෙලාව උදේ 6.30යි. කැන්ටිමේ කෑම පෝලිමේ එහෙම ඉඳල කාල පාරට බහිනකොට එනකොට වෙලාව 7යි. හයියෙන් ආපු ලදරන් බස් එකකට දුවගෙන ගිහින් නැග්ග. ලෑල්ලට පාගල යන්න පුළුවන් උනේ ටික දුරයි. මෙන්න බ්ලොක් එකක්. කොහොමහරි හන්දියක් හන්දියක් ගානේ හිටපු පොලිස් රාලලට පින්සිද්ද වෙන්න කිලෝමීටර් හයේ දුර එන්න පැය භාගයකටත් වඩා ගියා...

විශේෂඥ වෛද්‍ය තුමා clinic එකට සැපත් වෙන්න කලින් එයා බලන්න නියමිත ලෙඩ්ඩු (ඒ කියන්නේ රතු නොම්බර) ටිකේ විස්තර අහගන්න ඕනි. ( හිස්ට්‍රි  ගන්න ඕනි ). ලංකාවේ ක්ලිනික් ගැන අමුතුවෙන් කියන්න ඕනි නැනේ. සෙනග සූ ගාල. එෂ්කිසුස් මී කිය කියා ලෙඩ්ඩු ගොඩේ රිංග රිංග අංක අහ අහ අමාරුවෙන් හිස්ට්‍රි ටික ගත්ත. මහන්සි අරින්න හම්බුනේ නෑ මෙන්න විශේෂඥ වෛද්‍යතුමා ඇවිත්.
අපි හිස්ට්‍රි ගත්තු ලෙඩා විශේෂඥ වෛද්‍යතුමා ළඟට යද්දී අපිත් ඒ එක්කම යන්න ඕනි. ගිහින් හිස්ට්‍රි එක ඉදිරිපත් කරන්න ඕනි. ඊට පස්සේ එයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඕනි. බඩේ වම්පස කැක්කුම්, දකුණු පස කැක්කුම්, පිට දිහාට පැතිරෙන කැක්කුම් අර කැක්කුම් මේ කැක්කුම් වගේම හර්නියා, අර්ශස් ගෙඩි වෙරිකොස් වේන් වගේ රෝග වගේම තයිරොයිඩ් ගෙඩි පියයුරු පිළිකා වගේ රෝග ගොන්නක් කරගහගෙන ආපු ලෙඩ්ඩු බොහොමයකගේ හිස්ට්‍රි අපි එදා ඉදිරිපත් කරා. අලුත් දේවල් ඉගෙන ගත්ත. දන්නා දේවල් තවදුරටත් මුවාත් කරගත්ත. ඒ වගේම වැරදි දේවල් කියපු වෙලාවට මදි නොකියන්න බැනුමුත් අහගත්තා. වෙලාව දහවල් 12ත් උනා. එක හමාර වෙද්දී ලෙක්චර් යන්නත් ඕනි. දනි පනි ගල ෆැකල්ටියට ආපු අපි ඉක්මනටම කෑම පෝලිමට සෙට් උනා.

"මුදලාලි පරිප්පුයි මැල්ලුමුයි නැති ෆුල් එකක් දෙන්න."

ඔයාල බලයි ඇයි ඒවා කන්න බැරිද කියල. මෙහෙමයි. කැන්ටිමේ බත් එක අඩු ගානට දෙන්න ඕනි හන්ද තුන් වේලටම පරිප්පු තියනවා... ඉතින් මේ අවුරුදු හතර පුරාවටම තුන් වේලටම පරිප්පු කාල ගෙදර ආපුවම වත් පරිප්පු කන්න හිතෙන්නේ නෑ... එච්චරටම අප්පිරියයි. මැල්ලුන් හදන්නේ අනික් මාලු උයන්න පොල් මිරිකුවට පස්සේ ඉතුරු වෙන පොල් කුඩු වලින්. ඉතින් මුදලාලිගේ මැල්ලුන් කන එක පරිප්පු කනවටත් වඩා අප්පිරිය දෙයක්.

කොහොමහරි දිවා භෝජනය වැළඳීමෙන් අනතුරුව ඉක්මනටම ලෙක්චර් හෝල් එකට ගියේ විනාඩි පහක් හරි නිදාගන්න ඕනි හන්ද. අද 4.30 වෙනකම්ම ලෙක්චර්ස්. පොඩ්ඩක් හරි නිදා ගත්තේ නැත්තම් ඉතින් 4.30 වෙනකම් තියෙන ලෙක්චර් හොද සිහියෙන්  අහන් ඉන්න වෙන්නේ නෑ. ලෙක්චර් යන අතරින් පතර පොඩ්ඩක් නින්දත් ගියා. පුළුවන් තරමක් අහගෙනත් හිටිය. කොහොමහරි 4.30 ත් උනා.

පුදුම සහනයක්. ඒත් පොඩි අවුලක්. ආයෙම හවස 6 වෙද්දී වෝඩ් යන්න ඕනි. ඒ මදිවට රෑ 10 වෙනකම් වාට්ටුවේ ඉන්නත් ඕනි. අද හදිස්සි අනතුරු රෝගීන් බාරගන්නේ අපේ වාට්ටුවට . ඒ වගේ දවසට වෛද්‍ය සිසුන් රෑ 10 වෙනකම් වාට්ටුවේ ගත කරන්න ඕනි.

නින්ද ගිහින් බයික් එකෙන් වැටිල තුවාල වෙච්ච අය, වහලේ උඩින් වැටිල උකුල් ඇට කඩා ගත්තු අය, පිච්චිච්චි අය, ඇපෙන්ඩික්ස්  වගේ විවිධාකාර ලෙඩ්ඩු මහා ගොඩක් එදා වාට්ටුවට ආව.

මේ අස්සේ එක්කනෙක් ඇවිත් කිව්වේ එයාගේ ඔලුවට පොල් ගෙඩියක් වැටුන කියල. කලන්තේ වගේ කියලත් කියනවා. පරික්ෂා කරලා බැලින්නම් චුටි සීරීමක් විතරක් තියනවා. පස්සේ බැලින්නම් වැටිල තියෙන්නේ පොල් ගෙඩියක් නෙවෙයි කුරුම්බැට්ටියක්. මෙහෙමත් ලෙඩ්ඩු. මෙයාල කියන දේවල් පොඩ්ඩක් වත් සුවර් නෑ. කතාව ඇත්තනම් CT පරීක්ෂණයක් කරන්න හිටියේ. අවධානය ගන්න කියල මෙයා කියන බොරු වලින් තව පොඩ්ඩෙන් මෙයා ප්‍රභල ඒ වගේම හානිකර CT කිරණ වලට ගොදුරු වෙනවා.

ඒ අස්සේ තව සේයා කෙනෙක් ඇවිත් හිටිය ඔලුවට රබර් බෝලයක් වැදුනයි කියල . හොදටම කලන්තේ වගේ කියලත් මෙය කියනවා. රබර් බෝල වැදිලා ඔච්චර දෙයක් වෙන්න පුලුවන්නම් මොනවා වෙන්න බැරිද... කොයි  එකටත් කියල තියන අමාරු වල හැටියට random blood sugar එකක් කරන එක හොදයි කියල හිතපු සීමාවාසික දොස්තර මහත්තය එක කරා.
සීයට 365 ට සීනි .

"ඔයාට කලින් සීනි තිබිල තියනවද?? සිනි වලට බෙහෙත් ගන්නවද??"
"නෑ මහත්තයෝ කලින් තිබිල නෑ."
"එහෙනම් රබර් බොලේ වැදිච්ච හන්ද වෙන්න ඇති ඔච්චර සිනි වැඩි වෙලා තියන්නේ"
"වෙන්න ඇති මහත්තයෝ"
ලෙඩෙක්ට හිනාවෙන එක වැරදියි නම් තමයි. ඒත් එහෙම කියද්දීම එතන හිටපු හැමෝටම බකස් ගල හිනා ගියා.
ඔය අතරේ තමයි අපේ විශේෂඥ වෛද්‍යතුමා රාත්‍රී Ward round එකට වාට්ටුවට ආවේ. ලෙඩ්ඩු ටික බලපු එතුමා අපිට class එකකුත් ගත්ත. ඔය අතරේ තමයි අර උඩින් දල තියන sms  එක එතුමාගේ දුරකථනයට ආවේ. මනුස්සයා joke sms සේවාවක රේජිස්ටර් වෙලා. sms එකේ කතාවට අපි ආයෙම හිනා උනා.

කොහොමින් කොහොම හරි වෙලාව රෑ 10ත් උනා.

දැන් තමයි අපිට වාට්ටුවෙන් යන්න අවසර තියන්නේ. Faculty එකෙන් දීල තියෙන බස් එකේ නැගල කැම්පස් එකට එනකොට වෙලාව රෑ 10.30යි. ගෑල්ලමයි ටික බෝඩින් වලට ඇරලවල හොස්ටල් එකට එද්දී වෙලාව 11යි. හෙට ආයෙම උදේ 8 වෙද්දී වාට්ටුවේ ඉන්න ඕනි කියල මතක් වෙනකොට පිස්සු වගේ. ඉක්මනටම රෙදි හෝදලා නාල තේ එකක් එහෙම බීල ඇඳට වැටෙනකොට යන්නම් රෑ 11.30 උනා විත‍රයි.
මට එහෙම්මම නින්ද ගියා.

නින්ද යාගෙන ආව විතරයි බෙල් එකක සද්දෙට ආයේම ඇහැරුනා. බැලින්නම් අරු අදත් බෙල් එක තියල. වෙලාව උදේ 4.30 යි. මේ මොන මගුලක්ද කියල හිතපු මං උගේ බෙල් එක ඕෆ් කරලම දාල ආයෙම ඇහැ පියාගත්තා.

ප.ලි :

ඔයාල බලයි අපි හැමදාම මේ වගේ ද කියල. ඒක මෙහෙමයි.

සමහර කාල වලට මාසෙම මේ වගේ(ප්‍රසව හා නාරි වේද විද්‍යාව කරන කාලෙට). සමහර කාල වලට සතියට දවස් තුනක් විතර මේ වගේ. තවත් සමහර කාල වලට (ළමා රෝග වාට්ටු වල ඉන්න කාලෙට)  හවස 4.30න් පස්සේ ෆ්‍රී...
තවත් සමහර දවස් වලට දවල් 12 වෙනකම් විතරයි වැඩ...

Sunday, May 17, 2015

ගින්දර...

රචකයාගේ මනසේ  කොහොම මේ චරිත මැවුන ද කියල සමහර පොත් කියවනකොට අපිට හිතෙනවා නේද?
සමහර සිද්ධි කියවනකොට ඒවා නම් කොහොමටවත්ම මේ ලෝකේ වෙන්න බෑ කියලත් හිතෙනවා නේද?
අද කියන්න හදන්නෙත් ඒ වගේ කතාවක්...

මං මේ කියන දවසේ මේ කියන වෙලාව රෑ හතට විතර ඇති.

මුළු ඇඟම වගේ ගිනි ගත්තු අවුරුදු 23ක ගැහැණු ළමයෙක් අපේ වාට්ටුවට ඇඩ්මිට් කරලා තිබුණ. 

නේවාසික වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය වගේම සුළු සේවකයිනුත් යුහුසුළුව රෝගියා ලඟට ගියේ පුළුවන් හැම ප්‍රතිකරයක්ම කරලා කොහොම හරි මේ තරුණිය තව දුරටත් ජිවත් කරවන්න. 

මිසීල ටික ලෙඩාගේ ඇඟේ silver sulfadiazine ක්‍රීම් අලේප කරන්න පටන් ගත්ත. (එකෙන් මෙයාගේ ඇඟට විෂබීජ ඇතුල් වෙන එක වළකිනවා වගේම ඇඟේ තියන වතුර ඉවත්වෙලා යන එකත් නවතිනව. ඒ ගැන වැඩිදුර කියවන්න ඕනි නම් මෙන්න ලින්කුව). කැතිටර් වගේම කැනියුලත් හනි හනිකට ලෙඩාට ඇතුල් කලේ අවශ්‍ය ප්‍රතිකාර ඉක්මනින්ම දෙන්න ඕනි හන්ද. අධික වේදනාවෙන් කෑගහන ලෙඩාගේ වේදනාව අඩු කරන්න ප්‍රබල වේදනා නාශකයකුත් ඔය අතරේ ලෙඩාට දුන්න... අසිහියෙන් වගේ කෑගහපු ලෙඩාගේ දැඟලිල්ල එතකොට නම් ටිකක් විතර අඩු වුනා.
 
මිහිපිට අපායක් වගේ වෙච්ච මේ තරුණ ලෙඩා දිහා  තවත් වෙලා බලන් ඉන්න බෑ වගේ දැනුන හන්දම මං එතනින් පිටවෙලා පිරිමි වාට්ටුව පැත්තට ඇවිදන් ආව.

මෙන්න බොලේ තවත් පිච්චිච්චි ලෙඩෙක්...

වැඩිම උනොත් එයාට අවුරුදු 25ක් ඇති. මේ තරුණයාගේ නම් අත් දෙක විතරයි පිච්චිලා තිබ්බේ. මේ පිච්චුනා ලෙඩ්ඩු දෙන්නම දකික්දී මෙයාල අතරේ මොකක් හරි සම්බන්ධයක් ඇති කියල මට නිකමට වගේ හිතුණ. 

පස්සේ තමයි කතාව ආරංචි උනේ. මේ දෙන්න husband & wife ලු. එදා හවස ගෙදර පොඩි වලියක් ගිහිල්ල. කොහොමින් කොහොම හරි වැඩේ කෙළවර වෙලා තිබුනේ මේ තරුණයා අර තරුණියගේ ඇඟට ලාම්පුතෙල් හළලා ගිනි තියපු එකෙන්. 

කොහොම හරි අර තරුණියට ගිනි තැබීමේ වරදට මේ තරුණයාව රෝහල් පොලිසිය මඟින් අත්අඩංගුවට ගත්ත. 

මේ දෙන්නට දාව ඉපදිච්ච වයස මාස 4ක් වෙන ළමයෙකුත් ඉන්නවලු. මේ සිද්දිය වුණාට පස්සේ ඒ ළමයව අසල්වැසි කිරිදෙන අම්ම කෙනෙක් ළඟ ලු නවත්තල ඇවිත් තියන්නේ.

දවසින් දවසම මේ දෙන්නම සුව අතට හැරුණ. දැන් මේ තරුණියට තම ස්වාමි පුරුෂයාගෙන් දික්කසාදය ගන්න ඕනි වෙලා තිබුන. එතකොට ළමයට මොකද වෙන්නේ???

අපිට පහුවෙනිදා ආරංචි උනා මේගොල්ලෝ ඒ ළමයව විකුණලා කියල...

අනේ මෙහෙමත් ජිවිත කියල මට හිතුන...

Thursday, May 7, 2015

බෙහෙත් කෝ...

බොහෝ මිනිසුන් රෝහල් වෙත පැමිණෙන්නේ තම රෝගී තත්වය අතිශය උත්සන්න වූ විටයි. වෛද්‍යවරුන් උරණවනු ඇතැයි සිතනා ඔවුන් මුසා බස් තෙපලති. නමුත් බොහෝවිට එකී එක් එක් බොරුව පිටුපස සැඟවුණු අවාසනාවන්ත සත්‍ය කතාවක් ඇත.

"මහත්තයෝ මීට අවුරුදු විස්සකට විතර එපිටහින් මට මේ වකුගඩු අමාරුව හැදුනෙ. මං එකට ඉස්පිරිතාලේ ක්ලිනික් එකෙන් බෙහෙත් ගත්ත. දැන් මගේ අක්මාවත් නරක් වෙලා ලු."  දිනක්  මා හට History ගැනීමට බාර වූ රෝගියෙක් පැවසුවේ එවන් කතාවක්...

අපි ඒ කතාව මදකට අමතක කරමු.

මං දැන් ඔබට වෙනත් කතාවක් කියන්නම්...

Wednesday, April 22, 2015

අරිශ්ටේ ඉල්ලල ජරමරේ...

ඕනි ලෙඩකට සිංහල බේත් බොන්න. ඔය ඉංගිරිසි බෙහෙත් වගේ නෙවෙයි සිංහල බේත් ගස් වැල් ම කොටලා අරන් හදන හන්ද මොන අතුරු ආබාධයක් වත් නෑ..."
ඇතැමෙක් මෙහෙම කියනවා ඔබ අසා ඇති. ඒත් ඊට පරස්පර විරෝධී කතාවක් මං ඔබට කියන්නම්.
මේ දවස් වල මං ඉන්න වාට්ටුව, ඒ කියන්නේ කායික රෝග වාට්ටුවට ඇඟ ඉදිමිච්ච ආච්චි කෙනෙක් ඇඩ්මිට් කරලා තිබුන. මෙයාගේ ඇඟ ඉදිමීමට හේතු හොයන්න කරපු පරීක්ෂණ වලින් හෙළි වෙලා තිබ්බේ මෙයාගේ අක්මාව නරක් වෙලා කියල. (අක්මාව නරක් වුණාම ඒක පිටට පෙන්නේ ඇඟ ඉදිමිම වගේ රෝග ලක්ෂණ වලින්) . වෙන විදියකින් කිව්වොත් ආච්චිට සිරෝසිස්. ෂුවර් එකටම ආච්චි කන් පාත් වෙනකන් බොන්න ඇති කියල මට හිතුණ.
සිරෝසිස් විතරක් නම් මදෑ ආච්චිට පොතු කබරත් හැදිලා එකෙනුත් වේදනා විඳින ගමන් තමයි මෙහෙම ඇඟත් ඉදිමිලා තියෙන්නෙ. අලි මදිවට හරක් කියල ඔයාලට හිතෙනන ඇති.
විස්තර අහගෙන යද්දී ආච්චි මෙහෙම කතාවක් කිව්වා.
අවුරුදු පහ හයකට විතර උඩදී පොතු කබර හැදුනලු. ඊට පස්සේ වෙද මහත්තයෙක් ළගට ගියපු ආච්චි ඒකට බෙහෙත් අරන්. මේ වේද මහත්තය දීල තියෙන්නේ අරිෂ්ඨයක්. කඩින් කඩ වෙද මහත්තයා හම්බවෙන්න ගියපු ආච්චි මේක අවුරුදු පහ පුරාවටම බීල.
සමහර සිංහල බෙහෙත් වල විශේෂයෙන්ම අරිෂ්ඨ වල අපේ ඇඟට අහිතකර විවිධ විෂ රසායන අඩංගු වෙනවා. වැඩිපුරම මේවා බලපාන්නේ අපේ ඇඟේ තියන විෂ නසන ඉන්ද්‍රියට. එකියන්නේ අක්මාවට. වකුගඩු වගේ වෙනත් ඉන්ද්රියන්ටත් මේ කියන බලපෑම අඩු වැඩි වශයෙන් තියෙනවා. කාලයක් මේවා බොනවා කියන්නේ මේ කියන ඉන්ද්‍රියන් විනාශ උණා කියන එක තමයි. ඉතින් අපේ ආච්චිට වෙලා තියෙන්නෙත් ඒකයි.
අන්තිමට කියන්න තියන්නේ මේවගේ සිංහල බෙහෙත් බොන්නම ඕනි නම් විශේෂයෙන්ම ගොඩ කාලෙකට බොනවා නම් වකුගඩු ඒවගේම අක්මාව වගේ ඉන්ද්‍රියන්ට ඒ බෙහෙත් වලින් හානි වෙනවද කියල අදාල පරීක්ෂණ කාලෙන් කාලෙට කරගන්න ගමන් බොන්න කියන එකයි.

Sunday, April 5, 2015

පියයුරු පිළිකාව සහ ඈ...

එදා මං හිටියේ ශල්‍යාගාරයේ... වයස අවුරුදු 45ක වගේ පෙනුමක් තියෙන කාන්තාවක් පියයුරු පිළිකාවක් නිසා පියයුරු ඉවත් කිරීමේ සැත්කමකට මුහුණ දෙන්න ඇවිත් හිටිය.

මෙයාගේ පිළිකාව වාසනාවකට වෙන කොහේටවත් පැතිරිලා ගිහින් තිබුනේ නෑ.

ඉතින් පිළිකාව තියන පියයුර විතරක් අයින් කළාම මෙයාට පුර්ණ සුවය ලබන්න පුළුවන්.

ඒ බව එයාට කලින්ම කියලයි තිබුණේ. ඒත් මෙයා එහෙම සතුටු වෙන්න කාරණයක් තියෙද්දිත් අඩ අඩ හිටියේ.

"මහත්තයෝ එතකොට එකක් නෑනේ..." ඇයි කියල අහපුවාම එයා එහෙම කිව්වා.

ඔය අතරේ එතෙන්න අපේ විශේෂඥ වෛද්‍යතුමා ආව.

"මේ අම්මගේ මහත්තයා මොනාද කරන්නේ?"

"අනේ මහත්තයෝ එයාට අංශ භාගේ හැදිලා කකුල් දෙකම පන නැතුව ඇඳට වෙලා දැන් ගොඩක් කල්... තනියම ඇඳෙන් බහින්නවත් බෑ."

"එතකොට ඔයාගේ ළමයි මොකද කරන්නේ?"

"එයාල තාම ඉස්කෝලේ යනවා මහත්තයෝ..."

අසල තිබුන රේඩියෝවෙන් ඊට ටික වෙලාවකට පස්සේ මේ සින්දුව වාදනය වුණා.

Friday, March 27, 2015

දඟකාර පුංචි ළමයි ලෙඩ උනාම...

අහිංසක මල් වගේ හැඩකාර ඒවගේම දඟකාර පුංචි පැන්චියෝ වගේම පුංචි පැන්චෝන්ගෙනුත් පිරිලා ඉතිර ගිය ළමාරෝග වාට්ටුවක තමයි පහුගිය මාසෙම මට ඉන්න ලැබුණේ.

මල් වගේ හුරතල් පුංචි ළමයිගෙන් මුළු වාට්ටුවම පිරිලා ඉතිරිලා ගිහින්. මටත් මගේ පුංචි කාලෙට අයෙම යන්නත් හිතෙනවා.

මෙයාල හැමෝම ඇවිත් ඉන්නේ එක එක රෝග වලට ගොදුරු වෙලා. සමහර පැන්චෝන්ට නම් වැඩි අවුලක් නෑ. එත් සමහරුනට නම් ටිකක් අමාරුයි. විශේෂඥ වෛද්‍යතුමිය සැපත් වෙන්න කලින් හිස්ට්‍රි ගන්නත් ඕනි. ඒ මදිවට විශේෂඥ වෛද්‍යතුමෙක් වෙන්න ඉතාම ආසන්න SRතුමා ගෙනාපු භිෂණයත් මදි නොකියන්න තිබුණ. (ඒ කිව්වේ එය අපෙන් ප්‍රශ්න අහනවා. උත්තර දන්නේ නැති උනාම අපිව වාත කරනවා. ඒක තමයි භිෂණය. :-) )

මේ හැමෝම අතරේ එක එක විදියේ අම්මලත් හම්බුනා.

වැඩිපුර පරිස්සම් කරන්න ගිහින් ලෙඩ වැඩි කරගත්තු ළමයි ගැන හිතෙනකොට නම් හරිම දුකයි. අක්කලත් එක්ක වැලි සෙල්ලම් බත් උයපු, වෙළවල් වලට බැහැල මඩ නාපු, දුවිලි ගොඩේ නටපු හරිම නැවුම් අතීතයක් මට නම් තිබ්බ. මේක කියවන ගොඩ දෙනෙක්ටත් එහෙම තියෙන්න ඇති. එහෙම කරා කියල අපිට මුකුත් උනේ නම් නැනේ.

ඒත් සමහර අමමල තමන්ගේ ළමයට එලියට බැහැල සෙල්ලම් කරන්න දෙන්නේ නෑ. වැලි සෙල්ලම් කරන්න දෙන්නේ නෑ... වෙන එකක් තියා හරියට නාවන්නේ වත් නෑ.

එක අම්ම කෙනෙක් හම්බුනා එය පුතාව මාසෙකින් නාවල නෑ. හෙම්බිරිස්සාව වැඩිවෙන හන්දලු. පොඩි එකා නො නා කොහොම ඉන්නවද මන්ද. තව ටිකක් විස්තර අහපුවම මෙය පණ්ඩිතකමට වගේ කියනවා ළමයාගේ සෙම අමාරුවට ප්‍රසිද්ධ ළයරෝග විශේෂඥ වෛද්‍යතුමෙකුගෙනුත් බෙහෙත් ගත්තයි කියල.

වතුරට බැහැපු ගමන් හෙම්බිරිස්සාව එනවා කියන්නේ ළමයට වතුර ඇලජික්. ළමයව වතුරට ටික ටික හුරු කරවන එක තමයි එහෙම ළමයින්ට දෙන ප්‍රතිකාරය.

අම්ම හෙට ඉදන් ළමයව නාවන්න. සෙම පොඩ්ඩක් වැඩිවෙයි. එක අඩුවෙන්න බෙහෙත් දීල තියන්නේ. බයවෙන්නේ නැතුව නාවන්න. නාවන්නේ නැතුව මේ ලෙඩේ හොඳ කරන්න බෑ. ඒ විශේෂඥ වෛද්‍යතුමා එහෙම කිව්වට මේ අම්ම බේත් ටික ඉවරවෙනකම්ම ළමයව නාවල නෑ. ආයෙම  වැඩිවෙයි කියල හිතුනලු. නාවල දවස් දෙකකට පස්සේ ආයෙම පොඩි එකාට සෙම වැඩි වෙලා. මේ පාරත් අපේ විශේෂඥවෛද්‍ය තුමිය බෙහෙත් දීල, හොඳට නාවන්න කියල කියල ටිකට් කපල ගෙදර යැව්වා. මේ අම්මයි  ළමයයි තව දවස් දෙකතුනකින් ආයෙත් සැරයක් වාට්ටුවේ දකින්න ලබුනොට් මන් නම් පුදුම වෙන්නේ නෑ.

ආසාදන වලට ප්‍රතිජීවක ඖෂධ නියම කරනවා කියල ඔයාල දන්නවා ඇතිනේ. වේලක් දෙකක් බිපුවම අමාරු නම් අඩු වෙනවා. ඉතින් අපි ආයේ ඒවා බොන්නේ නැනේ. නොබීව කියල අපි ආයෙම ලෙඩ වෙන්නෙත් නෑනේ. ඒ අපේ ප්‍රතිශක්තිය හොඳ හන්ද. ඒත් පුංචි ළමයින්ගේ නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳට වර්ධනය වෙලා නැති හන්ද ලෙඩේ අඩු උනත් එයාලට නම් බේත් ටික ඉවරවෙනකන්ම හරියට දෙන්න ඕනි. මේ විදියට ළමයට හරියට බෙහෙත් ටික දෙන්නැතුව ආයෙම ළමයව ලෙඩ කරන ආපු අම්මලත් හිටිය. ඔයාලගේ පොඩි එකා ලෙඩ උනොත් බේත් ටික ඉවර වෙනකන්ම හරියට දෙන්න හොදේ...

අවුරුද්දක ළමයෙක් වඩාගෙන සායනයට ආපු වැදගත් පෙනුමක් තියෙන අම්ම කෙනෙක් කිව්වේ වෙනස් කතාවක්. ළමයාගේ බර හොදටම අඩුයි ලු. අම්ම දිහා බලපුවම නම් දුප්පත් පාටක් ගෑවිලාවත් තිබුනේ නෑ. විස්තර අහපුවම හොදට සල්ලි බාගේ තියෙන, වලව්වක ඉන්න කට්ටියක් ලු. ඒත් පොඩි එකාට මන්ද පෝෂණය වගේ...

හොයල බලපුවම මේකයි වෙලා තියන්නේ. ළමයාගේ ආච්චි ඒ කියන්නේ අම්මගේ නැන්දම්මා ගතානුගතික කෙනෙක්. සෙම ඇවිස්සෙයි කියල සමහර කෑම ජාති කන්න දෙන්න එපා කියල. ඌෂ්නෙ වැඩිවෙයි කියල මේමේ කෑම ජාති කන්න දෙන්න එපා කියල. තව තව එක එක ඒවා වෙයි කියල තව තව කෑම ජාති කන්න දෙන්න එපා කියල. මේකතා ඔක්කොම අහපු ළමයාගේ අම්ම ළමයට ගුණ කෑම මුකුත්ම දීලම නෑ... ඉතින් ළමයට මන්ද පෝෂණය නොහැදෙයි ද...

මේවගේ රසබර වගේම දුක්බර කතා ගොඩක් අතරේ ගෙවිච්ච ළමාරෝග වාට්ටුවේ  ජිවිතයට සමුදෙන්න වෙන දවසත් ළඟ ළඟම එනවා...

Saturday, February 21, 2015

ඉංග්‍රීසි වෙදකමින් සිංහල බෙහෙත් තෙල් වලට...

ඔබ කෙදිනක හෝ අස්ථි බිඳී යාමක් හෝ සන්ධි පැනීමකින් පීඩා වින්ද තිබේද???

මෙවන් රෝගාබාධ සඳහා ශ්‍රිලංකාවේ බොහෝ දෙනෙක් තවමත් සිංහල වෙදකම සඳහා නිතැතින්ම යොමු වේ. ඒ ඉංග්‍රීසි ප්‍රතිකාරවල දී  මෙන් නොව සිංහල කැඩුම් බිඳුම් වෙදකමේ දී වරු තුන හතරකින් සුවය ලබා සුපුරුදු දින චර්යාවට ඉක්මනින් අනුගත විය හැකි බැවිණි.

නමුත් තවත් සමහරුන් මෙවන් රෝගී තත්ත්ව වලදී බටහිර ප්‍රතිකාර සඳහා යොමු වෙති.

"මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙද්දී සිංහල වෙදකම් කරලා අත් කකුල් ඇද කරගන්නේ පිස්සුවකටැයි. ටික කාලයක් අත වෙළාගෙන ඉන්න උනාට කෑමක් නෑ;වැඩේ හරියට වෙනවනම්." එවන් රෝගීන් එසේ පිළිතුරු දෙයි.

මෙහෙම ලියන්න හිතුනේ පහුගිය දවසක මගේ යාලුවෙක්ට වෙච්ච ඇබැද්දියක් මතක් වෙලා. යාලුවෙක්ට කිව්වට යාළුවගේ අම්මට. එයා වැටිලා අතේ හන්දිය පැනල. ඉතින් මගේ යාළුවත් මම වගේම වෛද්‍ය ශිෂ්‍යයෙක් හන්ද එයා ඉක්මනට ම අම්මව ශල්‍ය වෛද්‍ය වාට්ටුවට ඇතුලත් කළා. ඉක්මනටම X-Ray එකකුත් ගත්ත. වැඩි අවුලක් නැති හන්ද පොඩි ශල්‍ය කර්මයක් කරලා පැනපු හන්දිය ආයෙත් තිබ්බ විදියටම හැදුව.

හැබැයි පොඩි අවුලක් . අම්මට මෙන්න මේවිදියට අත තියන් සති 6ක් ඉන්ඩ කියල
දොස්තර මහත්තයා කියල.

අම්මට හෙනම අවුල. පුත්තන්ඩිය දොස්තර පැටිය උනාට අම්මනම් හිටියේ කැඩුම් බිඳුම් වලට සිංහල බේත් හොදයි කියන මතයේ. පුතාගේ කීමට වාට්ටුවට ආවට එයා ඇවිත් තිබුණේ වැඩි කැමැත්තකින් නම් නෙවෙයි.

ශල්‍යකර්මයෙන් දවස් තුනකට විතර පස්සේ ටිකට් කැපුවහම අම්ම පුතාට හොරෙන් වේද මහත්තයෙක් ළඟට ගිහින්. ඉංග්‍රීසි දොස්තර මහත්තය අම්මගේ අත හරියට හදපු හන්ද මේ වේද මහත්තය අර ප්ලස්ටරේ අයින් කරලා එයාගේ බේත් තෙල් ටික හන්දිය උඩින් තියල බැඳල.

දවස් තුන හතරයි ගියේ. මෙන්න අම්ම පරණ පුරුදු විදියටම වැඩ... අතේ අවුලක් තිබ්බ කියල නාමයක් වත් නෑ... ඉංග්‍රීසි වේදකමේම එල්බගෙන හිටියා නම් තාමත් ඈ අත බැඳගෙන...

අද අපි ඉංග්‍රීසි ප්‍රතිකාර ක්‍රම වලට මල් පහන් තියාගෙන වැඳගෙන හිටියට අපි ගොඩ දෙනෙක් ගණන් ගන්නෙවත් නැති ආයුර්වේද වේද කම සියවස් ගණනාවක් තිස්සේ පරම පරවෙන් පරම පරාවට පැවතගෙන ඈ ඉතා දියුණු වෛද්‍ය ක්‍රමයක්. ඒත් ගුරු මුශ්ධි සහා තාක්ෂනය ට අනුගත නොවීම වාගේ බොහෝ හේතු
නිසා අද මේ ශ්‍රේෂ්ඨ වෛද්‍ය ක්‍රමය අභාවයට ගොසින් සහ ජනතා පිළිගැනීමෙන් දුරස් වෙලා.

නමුත් විකලාංග වෙදකමේ දී නම් මේ කියන දුරස්ථ කම එහෙමත් නැතිනම් අභාවයට යෑම තරමක් දුරකට හෝ වලංගු ප්‍රකාශයක් නොවේ.

බිඳීමකට හෝ පැනීමකට අස්ථි හෝ සන්ධි ලක්වවීමක දී ස්නායු, රුධිර වාහිනී සහ tendan වැනි අවට පිහිටි දෑ ද බොහෝවිට හානි වීමකට ලක්වේ. ඉංග්‍රීසි වෙදකමේ දී X කිරණ සටහන්, CT සටහන්, අතිධ්වනි ඡයාරුප ආදී නොයෙකුත් තාක්ෂණ ක්‍රම මගින් සහ රෝගියාගේ රෝග ලක්ෂණ අනුව ආබාධය පිලිබඳ ව වඩාත් නිරවද්‍ය වූ නිගමනයකට එළඹීම පළමුකොටම සිදුවේ. පසුව ඒ සියල්ල ද නිවැරදි කිරීමක් සිදු කරනු ලබයි. රෝග ලක්ෂණ අනුව අවශ්‍ය නම් ශල්‍යකර්ම ද සිදු කරයි. ස්නායු වලට හානි සිදුව තිබේනම් ශල්‍ය කර්ම කොට ඒවා ද යථා තත්වයට පත් කරනු ලබයි.

එහෙත් සිංහල වෙදකමේ දී මේ කිසිත් නොබලා ( බොහෝ විට X කිරණ සටහනක් පමණක් ) ප්‍රතිකාර ක්‍රම සිදු කරන බැවින් බොහෝ විට පසු කලෙක රෝගියා සන්ධි ඇදවීම්, ස්නායු රෝගාබාධ වැනි සංකුලතා බොහොමයකට ලක් වේ. ඒ වනවිට ඒවා නිවැරදි කල හැකි අයුරින් තිබෙන ඒවා ද නොවේ. මෙවන් බොහොමයක් දෙනා මගතොටේ දී සහ රෝහල් භුමියේ දී මා හට මුණගැසී ඇත.

නමුත් ඉංග්‍රීසි බෙහෙත් වලට වඩා ඉක්මනින් සන්ධි හාවීම සිංහල වෙදකමේ දී සිදුවේ.

එබැවින් විකලාංග වෙදකමේ දී වත් සිංහල සහ ඉංග්‍රීසි කියන මේ අන්ත දෙක සුදුසු පරිදි එකතු කොට මහා බලගතු වූ ප්‍රතිකාර ක්‍රමයකට එළඹීමට සුදුසු කාලය මෙය නොවේද ???

Sunday, February 1, 2015

පලිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.

පහුගිය සතියේ දවසක මටත් රෝගියෙක් විදිහට ශල්‍ය වෛද්‍ය වාට්ටුවකට ඇතුලත් වෙලා ඉන්න සිදුවුණා. ඉතින් එහෙම ඉන්නකොට මගේ අල්ලපු ඇඳේ හිටපු රෝගියාගේ විස්තරේ තමයි අද කියන්න යන්නේ.

මේ රෝගියාගේ ගම් පළාත අම්පාර. මොහු රෝහල් ගත වෙලා හිටියේ ගෙලෙහි කුද්දෙටි එකක් පමණක් විශාල වී තිබුණු නිසාවෙන්.

මෙවන් කුද්දෙටි විශාල වීම් සඳහා හේතු බොහෝ ගණනක්  තිබෙනවා. නමුත් මේ රෝගියා සතුව අම්පාර මහා රෝහලේදී සිදු කරපු අර කුද්දෙටියෙන් ගත්තු පටක අන්වීක්ෂයෙන් බලල ඒව මොන ජාතියේ ඒවා ද කියල හොයපු  බයොප්සි රිපෝට් එකක් තිබුන.

 ඒකෙ විදිහට නම් අර කුද්දෙටියේ තියෙන්නේ පිළිකා සෛල.

එහෙනම් කුද්දෙටිය ගලවලා අයින් කරා නම් වැඩේ හරිනේ...

ඔබ එසේ සිතාවි.

නමුත්,

කුද්දෙටි යනු වසා ගැටිති ඉදිමීමකි. එසේම එක් වසා ගැටිත්තකට වසා ශ්‍රාවය වන්නේ එම වසා ගැටිත්ත ආවරණය කරන සිරුරේ එක් නිශ්චිත ස්ථානයක සිටයි.

ගෙලෙහි නම් හිසෙහි සහ ගෙලෙහි පිහිටන ඉන්ද්‍රියක සිටයි.

වෙනත් විදියකින් කිවහොත් මෙම වසා ගැටිත්තේ ඇති පිළිකා සෛලවල ආරම්භක ස්ථානය රෝගියාගේ හිසෙහි හෝ ගෙලෙහි පිහිටි වෙනත් ස්ථානයකි.

ඉතින් මොහුගේ පිළිකාවේ ආරම්භක ස්ථානය සොයා
      හිසෙහි සහ ගෙලෙහි CT පරීක්ෂණයකට ද
      ස්වසන මාර්ගයේ ස්ථාන නිරීක්ෂණය සඳහා endoscopy පරීක්ෂණයකට ද ඔහු ලක්ව තිබුණා.

ඔහුගේ ග්‍රසනිකාව (pharynx) ප්‍රදේශයේ (නාසයට පිටුපසින් උගුරු දණ්ඩට ඉහළින් පිහිටන කොටස ) තිබු අවසන් අදියරේ පවත්නා පිළිකාවක් නිරීක්ෂණය කිරීමට ඉහත පරීක්ෂණ හරහා වෛද්‍යවරුනට හැකියාව ලැබී තිබිණි.

සාමාන්‍යයෙන් මෙවන් රෝගීන්  කහින විට රුධිරය පිටවීම,
                                                 ස්වසනයේ සහ ගිලීමේ අපහසුතා,
                                                 කටහඬ වෙනස් වීම,
                                                 හදිසියේ සිදුවන බර අඩු වීම,
                                                 ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ වලින් පෙළුන ද මොහු තුළ සිටි පිළිකා මාරයා ඒ කිසිදු රෝග ලක්ෂණයක් පිටතට නොපෙන්වීමට තරම් අකාරුණික වී තිබුණා. කෙසේ හෝ ඔහු රෝහල කරා පැමිණෙන විට එම පිළිකාව අවසන් අදියර තෙක් වර්ධනය වී අවසන්.

මෙවන් පිළිකා සඳහා හේතු වන්නේ දුම්පානය වැනි අහිතකර පුරුදු වුවත් මෙම රෝගියා කිසි කලෙක කිසි දිනෙක දුම් පානය කර නැති බව මා හා පැවසුවා.

වැඩිදුර ප්‍රශ්න කිරීමේදී දැන ගැනීමට ලැබුනේ මොහු ගොවි මහතෙකු බවත් කුඹුරට බෙහෙත් ගසන කාලයේදී බොහෝ විට පැය හත අටක් එක දිගටම තෙල් බෙහෙත් ඉසිනා බවකි.

ඉතින් ඔබ මුඛ වාඩමක් භාවිත කළේ නැති ද ???

පැය හත අට එක දිගටම ඕක මුනේ බැඳගෙන ඉන්න අමාරුයි නේ මහත්තයෝ. ඉතින් මං කවදාවත් ම මාස්ක් එකක් පාවිච්චි කළේ නෑ... මං ඒ විදියට අවුරුදු විස්සක් තිහක් විතර බේත් ගැහුවා මහත්තයෝ...

ඔහු එසේ පවසන විට ඇස් අගින් මතු වූ කඳුළු බින්දුවක් ඔහුටත් හොරා රූටා වැටෙනු මා දුටුවා. අවසන් අදියරේ තිබු පිළිකාවක් නිසා, ප්‍රතිකාර කලත්  බොහෝවිට තව ටික කලකින් මාරයාගේ පහස කරා යන්නට සිදුවන බව ඔහු දන්නා සෙයකි.

ශ්‍රී ලංකාවේ ගොවි මහතුන් පලිබෝධ නාශක ඉසීම සිදු කරන්නේ ඉන් තමන්ට සිදු විය හැකි හානි ගැන වැඩි දුර නොසිතා ය. පළිබෝධ නාශක අනතුරු සහිතයි, ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න කියා ලේබලයේ ගසා තිබුනත් බොහෝ දෙනා එය තුට්ටුවකට වත් මායිම් කරන්නේ නැත.

නමුත් එම අනතුරට ගොවියා ගොදුරු වන්නේ බොහෝවිට ඉන් වසර ගණනාවකට පසුවයි.

ඉතින් ඔබත් මෙවන් ගොවි මහතුන් ගැන දන්නේ නම් ඔවුන් දැනුවත් කරන්නට පමා වන්න එපා...


Wednesday, January 21, 2015

පරණ කතාවක්

Losartan නිසා බලෙන් වකුගඩු රෝගියෙක් වෙච්ච තවත් කෙනෙක් මට දවස් දෙක තුනකට කලින් මුණ ගැසුණා.


ඉතින් මේ හදිස්සියේ බ්ලොග් එක පැත්තට ආවෙ Losartan වල Trade name ටිකක් කියල දාන්න. මොකද මං Losartan කිව්වට ඔබ එය නොදන්නවා වෙන්න පුළුවන්. ඔබ හෝ  ඔබ අදුනන කෙනෙක් පෙෂර් එකට බොන ලස්සන නමක් තියෙන  බෙහෙත Losartan වෙන්නත් පුළුවන්.

ඉතින් තවත් වැල්වටාරම් ඕනි නෑ. පල්ලෙහා තියන Link එකට ගිහිල්ල බලන්න ප්‍රෙෂර් එක තියන ඔයා දන්න රෝගීන් බොන බෙහෙත Losartan ද කියල...

එය Losartan නම් මතකයිනේ කලින් සටහන...

Losartan සඳහා වෙනත් නම්

ප.ලි : මෙන්න Losartan ගැන කලින් සටහන

Saturday, January 17, 2015

අද 1984 අවුරුද්දෙ අහවල් දවස... නේද???

සතියක් ගෙවී ගිහින් ඇරඹෙන තවත් අලුත් සතියක නැවුම් ආලෝකය ගෙයි දොරකඩටම ඇවිත්. අලුත් සතියේ අලුත් රෝගියෙකුගේ විස්තරයක් ඔබට කියන්න තමයි මගේ මේ සුදානම...

මේ මව සහ ඇගේ පුත්‍රයා මට මුණගැසෙන්නේ අපේ ශික්ෂණ රෝහලේ මානසික රෝග සායනයේදී. මං අද කියන්න යන්නේ නාවර පෙරාගත් මුරණ්ඩු කුඩා ගැටයෙක් අතින් අල්ලාගෙන ආපු අසරණ අම්මා කෙනෙක් ගැන කියල ඔබ හිතුව නම් ඔබට වැරදුණා...  

වයස අවු : 78 ක අම්ම කෙනෙක් එක්කන් ආපු අවු : 50 ක විතර රියදුරු මහත්තයෙක් ගැන තමයි අද කතාව...

අපේ අම්ම අවුරුදු දෙකකට කලින් වෙනකම් ගෙදර වැඩ පල කරගෙන හොඳින් හිටිය. ඊට පස්සේ තමයි මහත්තයෝ අපේ අම්මට මේ කාලකන්ණි ලෙඩේ හැදුනේ. 

දැන් අම්මට ළඟදී වෙච්ච කිසි දෙයක් මතක නෑ. දවල්ට හොඳට බඩ පිරෙන්න කාපු අම්ම පැය භාගෙකට විතර පස්සේ කෑවේ නෑ කියල කුස්සිය පෙරලගෙන කෑම හොයනවා. මං එයාගේ පුතා කියන්නවත් එයාට මතක නෑ. හැබැයි අවුරුදු 20 කට 30 කට කලින් වෙච්ච දේවල් නම් අම්මට හොඳට මතකයි. අම්ම එයාගේ ගමේ ඉස්කෝලෙට ගියපු හැටි එහෙම නිතරම වගේ කියනවා.  
ඒ හැම එකක්ම ඉවසන්න පුළුවන් මහත්තයෝ ඒත් අපේ අම්ම ගේ වටෙයි අහල පහලයි හැමතැනම ඇවිදින්න ගිහින්, තියන කුණු සේරම ගෙනත් ඇඳේ තියගන්නවනේ. ඒවා මැදි කරන් තමයි අම්ම නිදාගන්නේ. අපි ඒවා අයින් කරන්න හදනකොට අම්ම අපිට ගහන්නත් එනවා...

අම්මගේ හැසිරීම මේ විදියට වෙනස් වෙලා දැන් කොච්චර කල් ද ???  නොනැවතී ඉදිරියට යන කෝච්චියක් වාගේ වෙච්ච මෙයාගේ කතාව මදකට නතර කරන්න මං ඇහුව...

අවුරුදු දෙකක් ඇති...

ඒ අවුරුදු දෙකටම බෙහෙත් ගත්තේ නැද්ද???

නෑ මහත්තයෝ. අපි හිතුවේ කව්රු හරි ඉරිසියකාරයෙක් අපිට හුනියමක් කරලා ඇති කියල. රට වටේ තියන දේවාල හැම එකකටම වාගේ අපි අම්මව එක්කන් ගියා. පුළුවන් තරම් ගුරු කම් කළා, නුල් බැන්ද ඒත් ගුණයක් නෑ මහත්තයෝ.

අන්තිමට අපේ ගමේ කෙනෙක් මේ කිලිනික් එක ගැන කිව්වා. එහෙමයි මෙහෙ ආවේ...

මේ ලෙඩේ හොඳ කරගන්න පුළුවන් වෙයි නේද මහත්තයෝ???

මේ අම්මට ඉක්මනටම ලෙඩේ හොඳ කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් මං ලෙඩත් එක්ක අපේ විශේෂඥ වෛද්‍යතුමා ළඟට ගියා...

මේ ලෙඩා මං ළඟට ( විශේෂඥ මනෝ වෛද්‍ය - Consultant Psychiatrist ) මේ විදියට ලෙඩ උන අලුත එක්කන් ආව නම් හොඳ කරගන්න තිබුන. දැන් අවුරුදු දෙකක් ගිහිල්ලනේ. ලෙඩාට වයසත් වැඩියි (අවු;78). ඉතින් බෙහෙත් වලින් හොඳ වෙන්නත් පුළුවන් , හැබැයි ලොකු බලාපොරොත්තු නම් තියාගන්න එපා. අම්ම කරන විකාර වැඩ අඩු වෙන්න නම් බෙහෙතක් දෙන්නම්. පොඩි ළමයෙක් බලා කියගන්නවා වාගේ අම්මව බලාගන්න. 

දැන් දැන් සමාජයේ මානසික රෝගීන් ඉතා සුලභව හමුවේ. නමුත් තවමත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියෙහි ඇලී ගැලී සිටිනා බහුතරයක් දෙනා මෙවන් මානසික රෝගීන් වෛද්‍යවරයෙකු හමුවට රැගෙන යන්නේ ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වූ පසුවයි. එහෙත් එවිට ඔවුන් සුව කිරීම යනු බොහෝවිට හුදෙක් සිහිනයක් ම පමණයි.

මෙවන් රෝගීන් වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන්නේ Amnesia යනුවෙන්. මෙහි ආකාර කිහිපයක් දැකිය හැකියි. මෙම තත්ත්වය තාවකාලික ද විය හැකියි. මොළයේ සෛල වලට සිදුවන හානි නිසා amnesia තත්ත්වය ඇතිවේ.
                      වැටීම් ආදිය නිසා මොළයට සිදුවන හානි ( Physical Trauma),
                      මොළයට බලපාන විවිධ රෝගාබාධ (Brain diseases- Brain abscess etc)
                      පාළුව, කාන්සාව වැනි මානසික තත්ත්ව (Psychological Trauma)
                      ඇතැම් ඖෂධ හා මත්ද්‍රව්‍ය
                                             නිසාවෙන් කෙනෙක් හට අමතක වීම හෙවත් amnesia තත්ත්වය ඇතිවේ.

මෙවිට මොළයේ සෛල අකර්මන්‍ය වේ. ප්‍රතිකාර නොකළහොත් මෙම සෛල මියයාම සිදුවේ. නමුත් කල්තියා අදාල හේතුව සඳහා ප්‍රතිකාර කිරීමෙන් සෛල මියයාම නැවැත්විය හැකිය. එනම් මෙම තත්ත්වය පාලනය කිරීම හෝ සුව කිරීම සිදු කල හැකිය. නමුත් මොළයේ ස්නායු සෛල නැවත  වර්ධනය වීම සිදු නොවන බැවින් කල් ගතවත්ම රෝගය උත්සන්න වේ. එවිට රෝගියා සුව කිරීම සිදු කල නොහැකියි.

එබැවින් ඔබ දන්නා කෙනෙකුට හදිසියේ සෑම දෙයක්ම අමතක වීමේ තත්ත්වයක් ඇත්නම් සහ එය වැඩිවන බව ඔබ දකී නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරුය. 

එසේම මානසික රෝගියෙක් බලි තොවිල් කිරීම සඳහා කපු මහතෙකු වෙත රැගෙන යනු වෙනුවට මානසික වෛද්‍යවරයෙකු වෙත කැටුව යාමට ද අමතක කරන්න එපා...

මෙවන් රෝගීන් බොහොමයක් මහා මඟ අතරමන් කර දමා ගොස් සිටිනු ඔබ දැක ඇති. එසේ වී ඇත්තේ ඔවුන්ගේ සමීපතමයන් රෝගියා සුව කිරීම සඳහා නිසි ප්‍රයත්න නිසි කල්හි නොදරා ඇති නිසාය.  



Saturday, January 10, 2015

අපිත් Losartan බොමු...

එදා වැහි දවසක්. සීතලේ ගුලිවෙලා නිදාගෙන හිටපු මම එළාම් එක වදිනකොටම ඇඳෙන් බිමට පැන්නේ පරක්කුවෙලා වාට්ටුවට ගිහින් අපේ විශේෂඥ ශල්‍ය වෛද්‍යතුමාගෙන් බැනුම් අහන්න බැරි හින්ද මිසක් ආසාවකට නම් නෙවෙයි.

ටිකක් වෙලගිහිල්ල හරි කොහොමින් කොහොම හරි මං එදා වාට්ටුවට ආව.

 එහෙම ආපු මම එදා දවසේ මට යොමුවෙලා හිටිය රෝගියා සොයා ඇඳක් ඇඳක් ගානේ ඇවිද්ද.

ඇය පැත්තකට වෙලා ඔහේ බලන් හිටපු යන්තම් හැට පැනපු මැදිවියේ කාන්තාවක්.

කොහොම හිටියත් විශේෂඥ වෛද්‍යතුමා වාට්ටුවට සැපත් වෙන්න කලින් රෝග විස්තරේ අහගන්න එපැයි. ඉතින් හෙමින් හෙමින් මෙයා ළඟට ගියපු මම වැඩේ පටන් ගත්ත.

එයා තරුණ වයසේ ළමයි දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්ලු. ඉතින් මේ වයසේ කෙනෙක් කඳුළු පුරෝගෙන ඉන්නේ ඇයි කියල මට පුදුමත් හිතුන.

මහත්තයා මගේ වකුගඩු දෙකම නරක වී ගෙන යනවලු.

සාමාන්‍යයෙන් මධ්‍යම පළාතේ වකුගඩු රෝගීන් කියන්නේ වැඩිය හමුනොවෙන කට්ටියක්. ඉතින් ඇගේ රෝගයට මුළ හොයාගෙන මං ආයෙත් ඇගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්ත.

වකුගඩු රෝගයට බලපාන කරුණු බොහොමයක් අතුරින් දියවැඩියාව සහ අධික රුධිර පීඩනය අතිශය සුලබ හේතු දෙකක්. ඇයට අධි රුධිර පිඩනයට කාලයක් තිස්සේ බෙහෙත් බොන කෙනෙක්ලු.

මොනවද බොන්නේ අහපුහම Losartan බොන බව ඈ මා හා පැවසුවා.

කතාව ඉස්සරහට කියන්න කලින් ඒ පෙත්ත ගැන කරුණු ටිකක් ඔබට කියන්නම්. Losartan මඟින් රුධිර වාහිනී සංකෝචනය වීම නවත්වා ඒවා ප්‍රසාරණය කොට තබයි. මෙමගින් රුධිර ගමනාගමනයට ඇති බාධාව අවම වන නිසා රුධිර පීඩනය අඩුවේ. මීට අමතරව හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීම සඳහා ද  Losartan සුලබව භාවිත වේ.

ඕනෑම ඖෂධයක අතුරුඵල ඇත. Losartan හි side effects ලෙස කලාතුරකින් කෙනෙක්ට වකුගඩු අකර්මන්‍ය වීමක් ඇතිවිය හැක. එබැවින් වෛද්‍යවරයෙකු Losartan නිර්දේශ කරන්නේ ඔබට වකුගඩු රෝග අවධානමක් නැතැයි සැක හැර දැනගෙනය. මීට අමතරව මාස කීපයකට වරක් රුධිරයේ ක්‍රියටිනින් අගය නිර්ණය කිරීම මඟින් (රුධිර පරීක්ෂාවක් හරහා) ඔබගේ වකුගඩු වල තත්වය පරික්ෂා කිරීමක් ද වෛද්‍යතුමා විසින් සිදු කරයි.

ඉතින් මගේ රෝගියාගෙන් වැඩිදුර විස්තර අහනකොට තමයි රෝග නිධානය ගැන විස්තර දැනගත්තේ.

අධික රුධිර පීඩනය කියල දැනගත්ත දවස් වල වෛදයතුමෙක් ඈට  Losartan නිර්දේශ කළාලු. බෙහෙත් ඉවර වුණාට පස්සේ වෛද්‍යතුමා ළඟට නොගිහින් ලේසියට ගමේ ෆාමසියෙන්  Losartan ආයෙත් ගත්තලු. ඈ මේ විදියට වසර කිහිපයක් වෛද්‍ය නිර්දේශයෙන් තොරව Losartan බීල.

අන්තිමට ඈ අවාසනාවන්ත ලෙස වකුගඩු රෝගියෙකු බවට පත්වුණා.

ඉංග්‍රීසි බෙහෙත් වල අපි හිතන්නෙවත් නැති, සමහර විට අහලවත් නැති අතුරුඵල බොහොමයක් තියෙනවා. ඉතින් ඔයාලත් කවමදාකවත් වෛද්‍ය නිර්දේශයෙන් තොරව ෆාමසියෙන් නම් බෙහෙත් ගන්න නම් එපා...

Wednesday, January 7, 2015

මධු මේහය නොසළකා හැරි ඔහු...

මේක මට මුහුණ දෙන්න සිදුවුන අනුවේදනීය සිදුවීමක්... ඉරිදා දවස හැරෙන්න අනික් හැමදාම උදේම වාට්ටුවට යන අපි පැමිණිලා සිටින රෝගීන් ගෙන් රෝග විස්තර සටහන් කරගැනීමක් සිදු කරනවා. අපේ භාෂාවෙන් කියනවානම් history ගන්නවා.

ඉතින් මට මේ සිදුවීමට මුහුණ දෙන්න සිදුවුනෙත් history එකක් ගන්න එක්තරා රෝගියෙකු ළඟට ගියපු වෙලාවක. අවුරුදු 60ක් විතර වයස ඔහුගේ කකුලේ තිබුන තුවාලයක් ගෝස් වලින් වෙලා තිබුණා. නම, ගම එහෙම ලියාගත්තු මම එයාගේ රෝග විස්තර අහන්න පටන් ගත්ත. 

එහෙම විස්තර අහනකොට සාමාන්‍යයෙන් බොහෝ රෝගීන් අපිත් එක්ක ගොඩක් සුහදශීලි වෙනවා. එයාලගේ විස්තර බොහොම කැමැත්තෙන් අපිත් එක්ක කියනවා. ඒත් මේ රෝගියා නම් එහෙම කෙනෙක් වුනේ නෑ. 

කඳුළු පුරෝගත්තු අහිංසක ඇස් දෙකෙන් බොහොම අහිංසක විදියට මං දිහා බලපු මෙයා මං අහපු ප්‍රශ්න වලට යන්නේ කොහෙද මල්ලේ පොල් වාගේ උත්තර දුන්නා. මෙයාගේ හිතේ තිබ්බ ලොකු ප්‍රශ්නයක් මෙයාට වද දෙනවා කියන එක වැඩි වෙලාවක් යන්න කලින්ම මට තේරුණා. 

මොකක්ද මහත්තයා ප්‍රශ්නේ කියල හරිම ලෙන්ගතු විදියට ඇහුවත් මෙයා මට උත්තර දුන්නේ නම් නැහැ. ඉතින් බැරිම තැන මං මෙයාගේ ticket එක අතට අරන් කියවන්න පටන් ගත්තා.

ඒ වෙලාවේ තමයි එයාගෙම අත් අකුරින් ලියපු මේ සටහන මං දැක්කේ.
පහුවෙනිදා මෙයාගේ දණහිසට පහලින් වම කකුල ඉවත් කරලා තිබුණා...

ටික දවසකට පස්සේ ආයෙම දවසක මෙයා ළඟට ගියපු මම එයාව කතාවකට අල්ලගන්න හැදුවා... එදා නම් එයා මාත් එක්ක හොඳට කතා කලා.

මාස දෙකකට විතර කලින් මෙයාගේ වම් කකුලේ කට්ටක් ඇනිලා. දවස් දෙකතුනක් යනකොට එතැන තුවාලයක් හැදිලා. මෙයා වැඩිය එක ගණන් අරන් නැහැ. ටික දවසකින් තුවාලෙන් සැරව එන්නත් පටන් අරන්. ඒත් මාස දෙකක් යනකම් ම ඉස්පිරිතාලෙකට යන්න ඕනි කියල මෙයාට හිතිලා නෑ. 

කොහොමින් කොහොම හරි මෙයා ඉස්පිරිතාලෙට එනකොට දණහිස ළඟට එනකන්ම තුවාලේ ඔඩු දුවලා තිබුණා. සැරව පිරිලා තිබ්බ මේ තුවාලේ තවත් උඩට පැතිරිලා මෙයාගේ ජීවිතේට හානියක් කරන්න කලින් කරන්න පුළුවන් එකම දේ තමයි කකුල කපල ඉවත්කරලා දාන එක.

මේ වාගේ රෝගීන් සාමාන්‍යයෙන් දියවැඩියාවෙන් පීඩා විඳිනවා. ඉතින් මං මෙයාගෙනුත් ඒ ගැන අහල බැලුවා. 

මෙයාට අවුරුදු දෙකක ඉදන් දියවැඩියාව තිබිල. හැබැයි එයා එකට හරියට බෙහෙත් අරන් නැහැ. 

අද ඉඳන් දිගටම හරියට බෙහෙත් ගන්නවා කියල මාත් එක්ක කිව්වට එයාගේ කකුල නම් ආයේ ලබාගන්න විදියක් නම් නැහැ.

දියවැඩියාව, අත් සහ පාද වල ස්නායු පද්ධතියට හානි කරනවා. ඒ නිසයි තුවාලේ ඔඩු දුවනකන්ම මෙයාට එක දැනිල නැත්තේ. ඒවගේම රුධිරයේ වැඩිවන සීනි මට්ටම නිසා තුවාලය මත බැක්ටීරියා වර්ධනය සීග්‍රයෙන් සිදු වනවා. එම තත්වය පාලනය කිරීම කල් ගතවන විට ඉතා අපහසුයි.

දියවැඩියාව අද සමාජයේ හරිම සුලබ ලෙඩක්. නමුත් සමාජය තුල ඒගැන තියෙන දැනුවත් භාවයනම් හරිම අඩුයි. හැමදාම හරියට බෙහෙත් ටික අරන් හරි විදියට කෑම පාලනය කරගෙන හිටියොත් දියවැඩියා මාරයා පරදනවා කියන්නේ හරිම සුළු දෙයක්.

ඔයාලගේ පවුලේත් දියවැඩියාවෙන් පීඩා විඳින්නන් ඇති. ඔවුන් හරියට බෙහෙත් ගන්නේ නැතිනම් විය හැකි දේ ගැන ඔවුන් දැනුවත් කිරීමට පමා වෙන්න එපා...

හොඳ වෙන්නේ නැති තුවාල තියෙනවනම් කල් යවන්නේ නැතිවම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමු වන්න කියන එකත් කියන්න ඕනි...

මේ රෝගියා එක අතකින් වාසනාවන්තයි. රස්සා කරන මෙයාගෙම ළමයි මෙයාව හොඳට බලාගන්නවා. ඒත් ඔබේ නිවසේ මුදල් උපයන්නා ඔබ පමණක් වන්නට පුළුවන්. ඔබට මෙවන් දෙයක් වුවොත් ඔවුන්ට යන කල දසාව කුමක් ද... 

ඔබ වයස අවු : 25 ට වඩා වැඩිනම් ලේ වල සිනි (Fasting Blood Sugar) අගය වසරකට වතාවක් වත් පරික්ෂා කරගැනීම නුවනට හුරුයි. එසේම ඔබට නිතරම මුත්‍රා කරන්න අවශ්‍යනම් සහ අධික ලෙස පිපාසය දැනේනම් වහාම ඉහත පරික්ෂාව පැය 10ක් නිරාහාරව ගොස් සිදුකර ගන්න. ඔබ දැනටමත් දියවැඩියාවෙන් පීඩා විඳින්නෙකු විය හැකිය... 

Tuesday, January 6, 2015

ඇරඹුම...

                        ඩොකාගේ ඩයරිය කියල නමක් දැම්මට තාම මම ඩොකෙක් නෙවෙයි කියල මුලින්ම කියන්න ඕනි. මම අද දවසට (07-01-2015) හතරවෙනි වසර වෛද්‍ය ශිෂ්‍යයෙක්.

                                                                 නොයෙකුත් රෝගාබාධ වලට ප්‍රතිකාර ගැනීමට ශික්ෂණ රෝහල් වෙත පැමිණෙන විවිධාකාරයේ රෝගීන් රැසක් වෙද සිසුවෝ වන අපට හැමදාමත් මුණගැසෙනවා. 

                                         පොඩි හෙම්බිරිස්සාවක් වෙච්ච ගමන් සමහරු දුවගෙන එනවා. ඒ අතරේ තවත් සමහරු රෝහල වෙත එන්නේ ඔවුන්ගේ රෝගාබාධය උපරිමේටම වැඩි උනාට පස්සෙයි. 

                                                    ඒ කොහොම ආවත් බොහොමයක් දෙනා ඉක්මන් සුවය ලබල ටික දිනකින්ම රෝහලෙන් පිටව යනවා. තවත් සමහරකට  ටික කාලයක් රෝහලේ ඇඳක් මතට වෙලා ඉන්නත් සිදු වෙනවා.

                  කොයි විදිහේ කෙනෙක් උනත් ඒ බොහොමයක් දෙනා අපට හිතන්න කතාවක් ඉතුරු කරලා අපෙන් සමු අරන් යන්න යනවා.

               ඉතින් ඒ කතා මට පුළුවන් විදිහට මේ බ්ලොග් රෝලේ අද ඉඳන් ලියවෙයි.