Friday, November 20, 2015

පදික වෙළෙන්දා සහ දියණිය...

ඔබ මහනුවර අවට කෙනෙක් ද? මේ කොතනද කියල හඳුනාගන්න පුළුවන් ද? ඔබ වසර දෙකකින් පමණ මහනුවර නගරයට පැමිණ නැති නම් එක් වරම ඔබට මේ කොහේ දැයි සිතාගන්නට අසීරු ඇති. මේ මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොලේ සිට ඔරලෝසු කනුව වෙතට ඇති මාතලේ දුම්රිය මාර්ගය දෙපස කොටසයි. දැන් මෙහෙම තිබුණට මෙතන ඉස්සර නම් තිබුනේ හතු පිපෙන්නා වගේ අක්‍රමවත් ව ඉදි කරපු පදික වේදිකා කඩ පේලියක්. මිනිස්සු අතරේ තෙරපි තෙරපි මේ කඩ කාරයොන්ට හොදවයින් බැන බැන මේ හරහා ගියපු හැටි මට තාම මතකයි. ඔබටත් මතක ඇති. ඉතින් අද ඒ කඩ පේළිය එතැන නැහැ. මේවා ඉවත් කරලා වසර දෙකකට විතර පස්සේ ඔතන සාප්පු සංකීර්ණයක් හැදුණා. අර පදික වෙළෙන්දෝ ටික දැන් ඉන්නේ එතැන. හැබැයි ඉස්සර තරම් නම් අදායම් නම් නැතුව ඇති.

ඉතින් ඒ කතාව පැත්තකට තියල අද කතාව වෙතට හැරෙමු.

ඈ වයස 19 ක ඉතා රූමත් තරුණියක්. ඇවිත් හිටියේ හදිසි අනතුරු වාට්ටුවකට. මෙයා තාත්තාගෙන් ගුටි කාල. පරික්ෂා කරල බැලුවාම ඇඟ හැම තැනම වගේ තුවාල කැළැල් විසිරිලා තිබුණ.

ඉතින් ඇයි මේ තාත්ත තමන්ගෙන රත්තරන් දුවට මෙහෙම කරදර කරන්නේ...?

මේ තාත්ත අර මං කලින් කියපු කොච්චි පාර අයිනේ හිටපු පදික වෙළෙන්දෙක්. ඒ දවස්වල මෙයාලට හොඳ ආදායමකුත් තිබිල. සතුටින් ජිවත් වෙලා. ඒත් නගර සංවර්ධනයයි පදිකයන්ට පහසුවක් වෙන්නයි කියල මේ කියන පදික වේදිකාව කඩල දැම්මයින් පස්සේ අර තාත්තට තමන්ගේ රස්සාව කරගන්න තැනක් නැති වෙලා. දැන් දැන් මෙයාලට අග හිඟ කම් එන්න පටන් අරන්. මේ ළමයාගේ අම්ම රට ගිහින්. තාත්ත දුක් කරදර අමතක වෙන්නත් එක්ක හවසට හවසට බොන්න පටන් අරන්. එහෙම බීගෙන එන හවස් වරුවට අර ගෑණු ළමයාගේ මොකක් හරි වැරද්දක් හොයාගෙන හොදටම ගහනවලු.

කොහොම හරි ටික දවසකට පස්සේ මේ ළමයාගේ තාත්ත ගෙන්නලා අවවාද කරලා පොලිස් පොතේ අස්සනුත් කරලා දෙන්නම ගෙදර යැව්වා. හැබැයි මේ තාත්තට තාම රස්සාවක් නම් නෑ. අර සාප්පු සංකීර්ණය හැදෙන පාටක් පේන්නත් නෑ. ගෙදර යන්න බෑ කියා කියා අඩ අඩ ගියපු මේ සුන්දර තරුණිය ගැන ආරංචියක් අපිට ආයෙම අවෙත් නෑ.

සොඳුරු රුව ඇති
තවම නිකැළැල්
හිරිමල් යෞවන

අද කොතැනක සිටි ද
කුමක් කරත් ද
මම නම් නොදනිමි...

3 comments:

  1. ඊළඟ සැරේ හම්බුනාම කියහන් හොඳ පොල්ලක් ලේස්ති කරලා තියාගෙන බීල කරදර කරන්න ආවොත් දීල ඇදපන් කියල .. ඔය ප්‍රශ්න විසඳන්නේ එහෙමයි

    ReplyDelete
  2. ඔය කඩකාමර පදික වෙළෙන්දන්ට ගන්ඩ සල්ලි නෑ,තිබුණත් ඒවා දෙන්නේ දේස පාලුවන්ගේ ගෝලයන්ට.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  3. ඔය හැමදේටම අන්තිමේ දොස් කියන්න වෙන්නෙ ඉතින් කිසිම සැලසුමක් නැතිව රටක් පාලනය කරන පාලකයින්ට තමයි. මේ මනුස්සයගෙ ජීවිකාව නොකැඩී ඉදිරියට කරගෙන යන්න ක්‍රමයක් මුලින් ඉදිරිපත් කරලා, ඊට පස්සෙ අනවසර කඩ ඉවත් කරලා තිබ්බානම් හරිනෙ. දැන් බලන්න, මේ ප්‍රශ්නෙ නිසා ඒක පවුලටම බලපානවනෙ. ඔය එක උදාහරණයක් විතරනෙ. තව පවුල් කීයකට ඔය දේම වෙලා ඇද්ද?

    නමුත් මෙතන තවත් ප්‍රශ්ණයක් තියෙනවා, ඒක තමයි මොන දේ උනත් නොසැලී ජීවිතයට මූණදෙන එක ඒ මනුස්සයට එක්කො ඉස්කෝලෙකින්, නැතිනම් ජීවිත අවබෝධයෙන් හෝ ජීවිතේ ගැන ඒ වගේ කියවීමක් ඇති කෙනෙකුගෙන් දැනමුතු කමක් ලැබිලා නැතිව හෝ එහෙම ලැබුනත් ඒක හිතේ ධාරණය කරගෙන ඉදිරි කටයුතු කරගන්න තරම් පුරුදු කරපු හිතක් ඒ මනුස්සයට නැතිව ඇති.

    අපේ රටේ මම දකින අඩු පාඩුවක් තමයි විචාර බුද්ධිය අඩුකම. "මම මේ දේ මොකටද කරන්නෙ" කියන දේ තනියම හිතලා විග්‍රහකරගන්න පුලුවන් මානසික මට්ටමක් තියෙන්නෙ කීයෙන් කී දෙනාටද? පොත් පත් කියවීම දියුණු කලොත් ගොඩක් දුරට ඔය තත්වය මග ඇරිලා යයි. මම නම් අපේ සමාජේ එන්න එන්න ප්‍රපාතෙට යනවා මිසක ගොඩ ඒමක් දකින්නෙ නෑ.

    ReplyDelete