Wednesday, April 6, 2016

තීරණය...

සමහර ලෙඩ්ඩු කොච්චර අමාරු වෙලා ආවත් හරි විස්තරයක් කියන්නේ නෑ. මං මේ කියන්න හදන්නේ සිහිසුන් ලෙඩ්ඩු ගැන වත් මානසික මට්ටම වෙනස් වෙච්ච ලෙඩ්ඩු ගැන වත් නොවෙයි. හොඳ සිහියෙන් ඉන්න ලෙඩ්ඩු ගැන...

තමන්ගේ ම අනුවණ වැඩ හන්දය අසනීපෙ උපරිමේට ම වැඩි කර ගත්තු ගොඩක් ලෙඩ්ඩු බොහෝ වෙලාවට දොස්තර මහත්තයට තමන්ගේ ඇත්ත අසනීපෙ, ඇත්ත රෝග ලක්ෂණ මොකක්ද කියන එක කියන්නේ නෑ. කොහොම හරි කොළේ වහන්නයි බලන්නේ. ලැජ්ජාව මේකට තවත් හේතුවක්

ලෙඩ කොහොම කිව්වත් එයාව පරික්ශා කරලා බැලුවට පස්සේ මෙයාගේ අසනීපෙ මොකක්ද කියන එක ගැන ඉඟි ටිකක් දොස්තර මහත්තයට හම්බවෙනවා. ඊට පස්සේ තමයි විශේෂ පරීක්ෂණ එහෙම නියම කරන්න ඕනි නම් එහෙම කරලා එහෙම බෙහෙත් ටික දෙන්නේ... ගොඩක් වෙලාවට ලෙඩාට සනීප වෙනවා.

ඒත් සමහර වෙලාවට අවාසනාව කියන එක ලෙඩාගේ පැත්තටත් කරකැවෙනවා. මේ එහෙම කෙනෙක් ගැන කතාවක්...

මෙයා අවුරුදු 55ක කාන්තාවක්. ඇවිත් හිටියේ තමන්ගේ දුවත් එක්ක. ඒ වෙනකොට මේ ලෙඩා හොඳට කතා කරනවා. මෙයාට හුස්මගන්න අමාරුයි ලු. ඉතින් ඉක්මනට ම ලෙඩාව පරික්ෂා කරලා බලපු දොස්තර මහත්තයා මෙයාට දුම් අල්ලලා (nebulize කරලා) වැඩි හොඳට කියල මෙයාව HDU එකට එහෙමත් නැත්තම් (   ) එකට දැම්ම. හදිසි සීනි පරික්ෂවකුත් කළා (Random Blood සුගර්). මෙයාට සීනි 540ක්. මුත්‍රා පිටකරන එක අමාරුයි කියපු හන්ද මුත්‍රා බටේකුත් ඇතුල් කළා. එතැනදී තමයි අපි දැක්කේ මුත්‍රා වෙනුවට සැරව පිටවනවා කියල.

කියන්න අමතක උණා. මේ ලෙඩාට දියවැඩියාවට ඉන්සියුලින් ගන්න කෙනෙක්. මෙයාලට අවුරුද්දක විතර ඉඳන් ආර්ථික ප්‍රශ්න වගයක් ඇවිත්. ඉතින් අන්තිම මාස දෙක තුනේදී හරියට ඉන්සියුලින් අරන් නෑ. ඒ මදිවට පහුගිය සතිය පුරාවට ම මෙයා එක ඉන්සියුලින් ෂොට් එකක් වත් අරගෙන නෑ . ( රජයේ රෝහල් වෛද්‍ය සායන වලින් නොමිලේ ඉන්සියුලින් නිකුත් කරන බව මා මෙහිදී සඳහන් කල යුතුයි.) ඇයි ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් ඉන්සියුලින් ගත්තේ නැත්තේ කියල අහනකොට මෙයා බිම බලාගත්ත.

තවත් එකක්. මෙයාට දැන් අවුරුදු 5ක විතර ඉඳන් කොන්දේ කැක්කුමක් තිබිල. මේ ලෙඩා ඔයා නම් ඔබ චැනල් කරන්නේ කොයි ශේත්රයේ විශේෂඥ වෛද්යතුමෙක් ද ?  මෙයාල ගිහින් තිබුනේ ස්නායු ශල්‍යවෛද්යතුමෙක් ලඟට. ඔහුගේ නියමයෙන් සිදුකරපු MRI පරීක්ෂණයෙන් කොඳු නාරටියේ අව්ලක් කියල හොයාගෙන තිබුන. ඉතින් මෙයා ඔහු නියම කළ වේදනා නාශක සහ steroid බෙහෙතුත් බිබී ඉඳල තියන්නේ.

steroid බෙහෙත් දිගු කලක් භාවිතය නිසා ඇඟට විෂබීජ ඇතුල්වීමට අධික අවධානමක් ඇති වනවා. නමුත් ඇතැම් අවස්ථාවල මෙම බෙහෙත් නැවත්වීම ද සිදු කල නොහැක්කක්.

දැන් ඉතින් අපි ආයෙම අපේ වාට්ටුවට එමු.

ලෙඩා HDU එකට දාල වැඩි වෙලාවක් ගියේ නෑ, මෙන්න ලෙඩා arrest උණා. ඒ කිව්වේ ස්වසන පද්ධතියයි රුධිර සංසරණ පද්ධතියයි ක්‍රියාවිරහිත උණා. අපි ඉක්මනටම ලෙඩාට කෘතීම ස්වසනය දෙන්න පටන් ගත්ත. විනාඩි 10කට විතර පස්සේ ලෙඩා ගොඩ ආව. බලාගෙන ඉඳල හරියන්නේ නැති හන්ද ලෙඩාව ඉක්මනටම ICU එකට ට්‍රාන්සර් කරා. එහෙදි ආයෙමත් ලෙඩා arrest  වෙලා... එයාලත් කෘතීම ස්වසනය දීල. ඒත් මේ පාරනම් අවාසනාව කියන එක ලෙඩාගේ පැත්තට කරකැවිල. උදේ හොඳට හිටපු ලෙඩා දවල් 2ට විතර අපෙන් සමු අරන් යන්න ගියා...

දැන් තමයි කතාවේ හොඳම හරියට එන්නේ...

මියයන්න ඇත්තට ම බලපාපු හේතුව හොයන්න ලෙඩාට මරණ පරීක්ෂණයක් කළා... මෙයාගේ වම් පැත්තේ වකුගඩුව වෙනුවට එතන තිබ්බේ හරියට මොකක්ද කියල හිතාගන්න බැරි වකුගඩු දෙකක් විතර ලොකු දෙයක්. මේක කපල බැලුවාම ඒක තනිකරම සැරව වලින් පිරිලා තිබුන. වකුගඩුවක ලක්ෂනත් සුළුවෙන් හරි ඉතිරි වෙලා තිබ්බ. මේ වගේ තත්ත්වයක දී මුත්රාත් සමඟ සැරව පිට වන එක අනිවාර්ය දෙයක්. ඉතින් මේ රෝගියා මුත්‍රා පිටකරන කොට මේක දකින එකත් අනිවාර්ය දෙයක්. අපේ මේ ලෙඩා නම් අපිට මේක කිව්වෙත් නෑ කලින් වෙන කව්රුහරි දොස්තර මහත්තයෙක් ට කියලත් නෑ.

මේ ලෙඩා කරපු තව මෝඩ වැඩක් තමයි කොන්දේ කැක්කුමට හොඳ, ස්නායු ශල්‍යවෛද්යවරයෙක් චැනල් කරන එක කියල හිතපු එක. කොන්දේ කැක්කුම කියද්දී අපි හැමෝටම හිතෙන දේ තමයි කොඳු නාරටියේ තමයි අවුල කියන එක. ඒත් මෙතැනදී කියන්න ඕනි වැදගත් ම දේ තමයි කොඳුනාරටිය සම්බන්ද නොවන බොහොමයක් හේතු හන්දත් කොන්දේ කැක්කුම එන්න පුළුවන් කියන එක. මුත්‍රා අමාරුව කියන්නේ කොන්දේ කැක්කුමක් එන්න බලපාන කොඳු නාරටිය සම්බන්ධ නොවන එක හේතුවක්.

ඉතින් එතකොට කොන්දේ කැක්කුමක් තියනවනම් ඔබ අනිවාර්යන්ම යන්න ඕනි කායික රෝග විශේෂඥ වෛද්යතුමෙක් ළඟට. ඔහු තීරණය කරවි ඔබට මොන හේතුව හන්ද ද කොන්දේ කැක්කුමක් ඇවිත් තියෙන්නේ කියල. වෙනත් වෛද්‍යවරයෙක් වෙතට යොමු කරන්න අවශ්‍ය නම් පමණක් ඔහු එය සිදුකරාවි.

දියුණු රටවල නම් විශේෂඥ වෛද්‍යවරයෙක් චැනල් කිරීම ආවාට ගියාට සිදු කල නොහැකියි. සාමාන්‍ය වෛද්‍යවරයෙක් යොමුකිරීම සිදුකළ කල විට පමණයි  ඔබට වී.වෛද්‍යවරෙක් හමුවිය හැක්කේ. වෛද්‍ය විද්‍යාව යනු කිසිවෙකුටත් සිතාගත නොහැකි පුළුල් පරාසයකට විහිදී යන්නක්. මේ පරාස සියල්ල ගැන දැනගැනීම එක අයෙකුට ඉතා අසීරු කටයුත්තක් (කළ නොහැකි කටයුත්තක්). ඒ හේතුව නිසාමයි එක එක ශේස්ත්‍ර සඳහා වී.වෛද්‍යවරුන් බිහිවී ඇත්තේ. ඉඳින් මේ විශේෂඥ වෛද්‍යවරුන් තම ශේෂ්ත්රයේ පමණක් දිගු කලක් තිස්සේ කටයුතු කිරීම නිසා ඔවුන් අනෙකුත් ශේස්ත්‍ර ගැන දන්නේ අල්ප වශයෙන් (මතක තිබෙන්නේ අල්ප වශයෙන්). සියලුම ශේස්ත්‍රයන් හි ලෙඩුන්(ළමා, කායික රෝග, ප්‍රසව හා නාරිවේද, වැඩිහිටි, ආදී) පළමුව පැමිණෙන්නේ  සාමාන්‍ය වෛද්‍යවරයෙකු වෙත බැවින් ඔහුට මේ සියලුම ශේස්ත්‍රයන් හි සාමාන්‍ය අවබෝධයක් තිබෙනවා. ඔහුට රෝග විනිශ්චයකට එළඹීමට නොහැකි නම් යොමු කල යුත්තේ කුමන වෛද්‍යවරයෙක් වෙතට ද යන්න ගැන අවබෝධයක් ද ඔහුට තිබෙනවා.  එවිට ඔබගේ රෝග විනිශ්චය මඟ හැරීමට ඇත්තේ අල්ප අවස්තාවක්. මේ හේතුව නිසයි සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ යොමු කිරීම මත පමණක් ම බටහිර රටවලදී වී.වෛද්‍යවරයෙකු හමුවිය හැක්කේ.

උදා: කොන්දේ කැක්කුම බලපාන හේතු විශ්ලේෂණය කරන සාමාන්‍ය වෛද්‍යතුමා එයට හේතුව මුත්‍රා පිළිඹඳ ප්‍රශනයක් නම් ඔබව මුත්රමර්ගය පිළිඹඳ වී.වෛද්යතුමෙක් හට යොමු කරවී. මේ යොමු කිරීම වෛද්‍ය විද්‍යාව පිලිම්බන්දව දැනුමක් තිබෙන අයෙකුට පමණක් කල හැක්කක්. එසේ නොමැති අයෙක් මෙය සිදුකල තමයි අපගේ කතා නායිකාව වගේ මුත්‍රා අමාරුවට ස්නායු ශල්‍යවෛද්‍යවරයෙක් වෙතට යොමු වන්නේ...

නමුත් ලංකාවේ මිනිසුන් හෙම්බිරිස්සවටත් ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කරන්න යනවා.. ඔබට යන්නම ඕනි නම් කායික රෝග පිළිඹඳ විශේෂඥ වෛද්යතුමෙක් පමණක් හමුවන්න කියන එක විශේෂයෙන් ම කියන්නම්.

ඒ කතාව පැත්තකින් තියමු. ඔබ සීනි අහුරක් මේසයක් මතට හලා බලන්න. විනාඩි කිහිපයකින් කුඹි ගුලක් ම එතන ඉඳීවි. දියවදියාවත් මේ වගේ. හරියට පාලනය කරගත්තේ නැත්තම් අහක යන විෂබීජ සේරම ඇඟ ඇතුලේ.

ඉතින් අපි ආයෙම අපේ රෝගියා දෙසට හැරෙමු. මැයට දියවැඩියාව වැළඳී පසුකලෙක නැවතත් රෝගී වන්නේ කොන්දේ කැක්කුමක් සමගින්. එහිදී ඇය තීරණය කරන්නේ ස්නායු ශල්‍යවෛද්‍යවරයෙක් හමුවිය යුතු බව. ඔහු සිදු කරන MRI  පරීක්ෂණයෙන් ඇගේ කොඳු ඇට පෙලේ අවුලක් හමුවනවා. මෙයට නියම කරන steroid බෙහෙත් නිසා මැගේ ශරීරයට විෂබීජ ඇතුල්වීමට අධික අවදානමක් ඇති වෙනවා. මේ අතරේ ඇයට දියවැඩියාව සඳහා හරි හැටි බෙහෙත් ගැනීම මග හැරෙනවා. එවිට ඇය විෂබීජ සඳහා අධික ලෙස නිරාවරණය වෙනවා. මුත්‍රා මාර්ගය ආසාදන ඇති වන මුලික ස්ථාන වලින් එකක්. ඇයටත් මුත්‍රා මාර්ගයේ ආසාදනයක්  ඇති වනවා.. ඇය මුත්‍රා දැවිල්ල ගැන කා සමඟවත් පවසන්නේ ද නැත. සමහර විට කොඳු ඇටපෙලේ අවුලට දෙන වේදනා නාශක නිසා මැය මුත්‍රා දැවිල්ල  හඳුනාගන්නට නැතුව ඇති. නමුත් ඇය මුත්‍රා සමඟ සැරව පිටවනවා දැක්කත් එය කිසිවෙකුට පවසන්නේ නැහැ. කාලයත් සමඟ මේ විෂබීජය ශරීරය පුරා ඔඩු දුවනවා. එවිටයි ඈ හුස්මගැනීමේ අපහසුවෙන් රෝහල් ගතවන්නේ... නමුත් එවිට කිසිදු බෙහෙතකට ප්‍රතිචාර නොදක්වන තරමට විෂබීජය ශරීරය දුර්වල කොට අවසානයි.

5 comments:

  1. හොද වෛද්‍යවිද්‍යා පාඩමක්...... අපිටත් හොද උපදෙස් ටිකක් නේද??????? මෙච්චර හරියක් වෙනකල් ලෙඩා විසින් හංගන දේවල් දැක්කා ම පුදුමත් හිතෙනවා.....

    ReplyDelete
  2. වටිනා ලිපියක්..

    ReplyDelete
  3. Casinos Near Casinos, Atlantic City, NJ | MapYRO
    Casinos Near 경상북도 출장샵 Casinos, Atlantic City, NJ. 광주 출장샵 MapYRO 부산광역 출장안마 provides real-time driving directions to 충청남도 출장마사지 casinos 광명 출장마사지 and other places to stay.

    ReplyDelete