Saturday, May 30, 2015

Medical Student කෙනෙක්ගේ දවසක්...

හදිසියේම අප විශේෂඥ ශල්‍යවෛද්‍යතුමන්ගේ ජංගම දුරකතනය වෙත කෙටි පණිවුඩයක් පැමිණෙයි.

Wife : I'm going to London for an office tour. What do u want from there???
Husband : I want a British girl... :-P
After two weeks the wife returns...
Husband : did u bring???
Wife : yes. Wait for nine months... :-P

ඊට පැය 17කට පමණ පෙර...

වේලාව - උදෑසන 4.30 යි.

එතකොට මට හොඳටම නින්ද ගිහින් තිබුණේ. හදිස්සියේම අල්ලපු ඇඳේ හිටපු එකාගේ එලාම් එක වැදුන. ඌ නැගිට්ට. එලාම් එක ඔෆ් කරා. අයෙ බුදිය ගත්ත. මටත් අයෙම නින්ද යාගෙන ආව විතරයි අරුගේ එලාම් එක අයෙත් වදින්න ගත්ත. බැලින්නම් ඌ ඒක ඔෆ් කරනවා වෙනුවට ස්නූස් කරලා. මට යක්ෂ කේන්තියක් ගියා. යකෝ බුදියන්න ඕනි නම් එලාම් නොතිය ඉඳපන්. මට මූව මරන් කන්න තරං කේන්තියි. කොහොම කොහොම හරි මට පහ හමාර වෙනකම් නින්ද ගියේම නෑ.
කියන්න අමතක උණා අද අපේ ක්ලිනික් දවසක්. උදේ හත හමාර වෙද්දිවත් ක්ලිනික් එක ළඟ ඉන්න ඕනි. ඉතින් පහ හමාරට ඇඳෙන් බිමට බැස්ස මං මුණ හෝදන්න වැසිකිළි සංකීර්ණය පැත්තට ඇවිදන් ගියා. මගුලයි. ඊයේ ඇඳපුවා හේදුවේ නැනේ. අයෙ කාමරේට ගිහින් ඒ රෙදි ටිකත් අරන් ආපු මං රෙදි ටික හෝදලා දත් ටික මැදල රැව්ල කපල නාල (අනිත් ඒවත් කරගෙනම) එලියට ආව. රෙදිත් මැදගෙන ඒවා ඇඳගෙන කොහොමින් කොහොම හරි හොස්ටල් එකෙන් එලියට බහිනකොට වෙලාව උදේ 6.30යි. කැන්ටිමේ කෑම පෝලිමේ එහෙම ඉඳල කාල පාරට බහිනකොට එනකොට වෙලාව 7යි. හයියෙන් ආපු ලදරන් බස් එකකට දුවගෙන ගිහින් නැග්ග. ලෑල්ලට පාගල යන්න පුළුවන් උනේ ටික දුරයි. මෙන්න බ්ලොක් එකක්. කොහොමහරි හන්දියක් හන්දියක් ගානේ හිටපු පොලිස් රාලලට පින්සිද්ද වෙන්න කිලෝමීටර් හයේ දුර එන්න පැය භාගයකටත් වඩා ගියා...

විශේෂඥ වෛද්‍ය තුමා clinic එකට සැපත් වෙන්න කලින් එයා බලන්න නියමිත ලෙඩ්ඩු (ඒ කියන්නේ රතු නොම්බර) ටිකේ විස්තර අහගන්න ඕනි. ( හිස්ට්‍රි  ගන්න ඕනි ). ලංකාවේ ක්ලිනික් ගැන අමුතුවෙන් කියන්න ඕනි නැනේ. සෙනග සූ ගාල. එෂ්කිසුස් මී කිය කියා ලෙඩ්ඩු ගොඩේ රිංග රිංග අංක අහ අහ අමාරුවෙන් හිස්ට්‍රි ටික ගත්ත. මහන්සි අරින්න හම්බුනේ නෑ මෙන්න විශේෂඥ වෛද්‍යතුමා ඇවිත්.
අපි හිස්ට්‍රි ගත්තු ලෙඩා විශේෂඥ වෛද්‍යතුමා ළඟට යද්දී අපිත් ඒ එක්කම යන්න ඕනි. ගිහින් හිස්ට්‍රි එක ඉදිරිපත් කරන්න ඕනි. ඊට පස්සේ එයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ඕනි. බඩේ වම්පස කැක්කුම්, දකුණු පස කැක්කුම්, පිට දිහාට පැතිරෙන කැක්කුම් අර කැක්කුම් මේ කැක්කුම් වගේම හර්නියා, අර්ශස් ගෙඩි වෙරිකොස් වේන් වගේ රෝග වගේම තයිරොයිඩ් ගෙඩි පියයුරු පිළිකා වගේ රෝග ගොන්නක් කරගහගෙන ආපු ලෙඩ්ඩු බොහොමයකගේ හිස්ට්‍රි අපි එදා ඉදිරිපත් කරා. අලුත් දේවල් ඉගෙන ගත්ත. දන්නා දේවල් තවදුරටත් මුවාත් කරගත්ත. ඒ වගේම වැරදි දේවල් කියපු වෙලාවට මදි නොකියන්න බැනුමුත් අහගත්තා. වෙලාව දහවල් 12ත් උනා. එක හමාර වෙද්දී ලෙක්චර් යන්නත් ඕනි. දනි පනි ගල ෆැකල්ටියට ආපු අපි ඉක්මනටම කෑම පෝලිමට සෙට් උනා.

"මුදලාලි පරිප්පුයි මැල්ලුමුයි නැති ෆුල් එකක් දෙන්න."

ඔයාල බලයි ඇයි ඒවා කන්න බැරිද කියල. මෙහෙමයි. කැන්ටිමේ බත් එක අඩු ගානට දෙන්න ඕනි හන්ද තුන් වේලටම පරිප්පු තියනවා... ඉතින් මේ අවුරුදු හතර පුරාවටම තුන් වේලටම පරිප්පු කාල ගෙදර ආපුවම වත් පරිප්පු කන්න හිතෙන්නේ නෑ... එච්චරටම අප්පිරියයි. මැල්ලුන් හදන්නේ අනික් මාලු උයන්න පොල් මිරිකුවට පස්සේ ඉතුරු වෙන පොල් කුඩු වලින්. ඉතින් මුදලාලිගේ මැල්ලුන් කන එක පරිප්පු කනවටත් වඩා අප්පිරිය දෙයක්.

කොහොමහරි දිවා භෝජනය වැළඳීමෙන් අනතුරුව ඉක්මනටම ලෙක්චර් හෝල් එකට ගියේ විනාඩි පහක් හරි නිදාගන්න ඕනි හන්ද. අද 4.30 වෙනකම්ම ලෙක්චර්ස්. පොඩ්ඩක් හරි නිදා ගත්තේ නැත්තම් ඉතින් 4.30 වෙනකම් තියෙන ලෙක්චර් හොද සිහියෙන්  අහන් ඉන්න වෙන්නේ නෑ. ලෙක්චර් යන අතරින් පතර පොඩ්ඩක් නින්දත් ගියා. පුළුවන් තරමක් අහගෙනත් හිටිය. කොහොමහරි 4.30 ත් උනා.

පුදුම සහනයක්. ඒත් පොඩි අවුලක්. ආයෙම හවස 6 වෙද්දී වෝඩ් යන්න ඕනි. ඒ මදිවට රෑ 10 වෙනකම් වාට්ටුවේ ඉන්නත් ඕනි. අද හදිස්සි අනතුරු රෝගීන් බාරගන්නේ අපේ වාට්ටුවට . ඒ වගේ දවසට වෛද්‍ය සිසුන් රෑ 10 වෙනකම් වාට්ටුවේ ගත කරන්න ඕනි.

නින්ද ගිහින් බයික් එකෙන් වැටිල තුවාල වෙච්ච අය, වහලේ උඩින් වැටිල උකුල් ඇට කඩා ගත්තු අය, පිච්චිච්චි අය, ඇපෙන්ඩික්ස්  වගේ විවිධාකාර ලෙඩ්ඩු මහා ගොඩක් එදා වාට්ටුවට ආව.

මේ අස්සේ එක්කනෙක් ඇවිත් කිව්වේ එයාගේ ඔලුවට පොල් ගෙඩියක් වැටුන කියල. කලන්තේ වගේ කියලත් කියනවා. පරික්ෂා කරලා බැලින්නම් චුටි සීරීමක් විතරක් තියනවා. පස්සේ බැලින්නම් වැටිල තියෙන්නේ පොල් ගෙඩියක් නෙවෙයි කුරුම්බැට්ටියක්. මෙහෙමත් ලෙඩ්ඩු. මෙයාල කියන දේවල් පොඩ්ඩක් වත් සුවර් නෑ. කතාව ඇත්තනම් CT පරීක්ෂණයක් කරන්න හිටියේ. අවධානය ගන්න කියල මෙයා කියන බොරු වලින් තව පොඩ්ඩෙන් මෙයා ප්‍රභල ඒ වගේම හානිකර CT කිරණ වලට ගොදුරු වෙනවා.

ඒ අස්සේ තව සේයා කෙනෙක් ඇවිත් හිටිය ඔලුවට රබර් බෝලයක් වැදුනයි කියල . හොදටම කලන්තේ වගේ කියලත් මෙය කියනවා. රබර් බෝල වැදිලා ඔච්චර දෙයක් වෙන්න පුලුවන්නම් මොනවා වෙන්න බැරිද... කොයි  එකටත් කියල තියන අමාරු වල හැටියට random blood sugar එකක් කරන එක හොදයි කියල හිතපු සීමාවාසික දොස්තර මහත්තය එක කරා.
සීයට 365 ට සීනි .

"ඔයාට කලින් සීනි තිබිල තියනවද?? සිනි වලට බෙහෙත් ගන්නවද??"
"නෑ මහත්තයෝ කලින් තිබිල නෑ."
"එහෙනම් රබර් බොලේ වැදිච්ච හන්ද වෙන්න ඇති ඔච්චර සිනි වැඩි වෙලා තියන්නේ"
"වෙන්න ඇති මහත්තයෝ"
ලෙඩෙක්ට හිනාවෙන එක වැරදියි නම් තමයි. ඒත් එහෙම කියද්දීම එතන හිටපු හැමෝටම බකස් ගල හිනා ගියා.
ඔය අතරේ තමයි අපේ විශේෂඥ වෛද්‍යතුමා රාත්‍රී Ward round එකට වාට්ටුවට ආවේ. ලෙඩ්ඩු ටික බලපු එතුමා අපිට class එකකුත් ගත්ත. ඔය අතරේ තමයි අර උඩින් දල තියන sms  එක එතුමාගේ දුරකථනයට ආවේ. මනුස්සයා joke sms සේවාවක රේජිස්ටර් වෙලා. sms එකේ කතාවට අපි ආයෙම හිනා උනා.

කොහොමින් කොහොම හරි වෙලාව රෑ 10ත් උනා.

දැන් තමයි අපිට වාට්ටුවෙන් යන්න අවසර තියන්නේ. Faculty එකෙන් දීල තියෙන බස් එකේ නැගල කැම්පස් එකට එනකොට වෙලාව රෑ 10.30යි. ගෑල්ලමයි ටික බෝඩින් වලට ඇරලවල හොස්ටල් එකට එද්දී වෙලාව 11යි. හෙට ආයෙම උදේ 8 වෙද්දී වාට්ටුවේ ඉන්න ඕනි කියල මතක් වෙනකොට පිස්සු වගේ. ඉක්මනටම රෙදි හෝදලා නාල තේ එකක් එහෙම බීල ඇඳට වැටෙනකොට යන්නම් රෑ 11.30 උනා විත‍රයි.
මට එහෙම්මම නින්ද ගියා.

නින්ද යාගෙන ආව විතරයි බෙල් එකක සද්දෙට ආයේම ඇහැරුනා. බැලින්නම් අරු අදත් බෙල් එක තියල. වෙලාව උදේ 4.30 යි. මේ මොන මගුලක්ද කියල හිතපු මං උගේ බෙල් එක ඕෆ් කරලම දාල ආයෙම ඇහැ පියාගත්තා.

ප.ලි :

ඔයාල බලයි අපි හැමදාම මේ වගේ ද කියල. ඒක මෙහෙමයි.

සමහර කාල වලට මාසෙම මේ වගේ(ප්‍රසව හා නාරි වේද විද්‍යාව කරන කාලෙට). සමහර කාල වලට සතියට දවස් තුනක් විතර මේ වගේ. තවත් සමහර කාල වලට (ළමා රෝග වාට්ටු වල ඉන්න කාලෙට)  හවස 4.30න් පස්සේ ෆ්‍රී...
තවත් සමහර දවස් වලට දවල් 12 වෙනකම් විතරයි වැඩ...

20 comments:

  1. හ්ම්ම්ම්... ඒ ජීවිතේ එහෙමයි එතකොට නේද?

    ඔය හිස්ට්‍රි වැඩේට පොඩි ඇප් එකක් එහම හදනවට කන්සෝ කැමති නැද්ද?
    ලෙඩාගෙන් අහලම ගන්න ඕනද?
    ඇප් එකක් හදාගත්තනම් මොබයිල් එකෙන්ම වැඩේ ගොඩ.. පස්සේ මරු ඩේටා බේස් එකනේ.. අර පෑනක් එක්කම තියන මොබයිල් එකක් ගත්තනම් කන්සාගේ උත්තරත් එතනම දාගත හැකි... රෙකෝඩ් කරල හරි...
    [වැදගත්ම දේ: ෂෙයා කරන්නත් හැකිනේ :-) ]

    ReplyDelete
    Replies
    1. මේ විදියි නම් මරු කරන්න පුළුවන් නම්. අපිට නැති වුණත් අපෙන් පස්සෙ එන අයට හරි වැදගත් වෙයි නේ...

      Delete
    2. ඒක නම් ප්‍රයෝගික නැති වෙයි. මොකද ඔය ඕනි app එකකට වැඩිය මිනිස් මොලය දියුණුයි. තර්කනුකුලව වැඩ කරන්න පුළුවන්. ඉතින් හොදින් පුහුණු වූ අද්දැකීම් බහුල වෛද්‍යවරයෙකුට ක්ෂණයකින් රෝග විනිශ්චයකට එළඹෙන්නට පුළුවන්. මෙයා රෝගය හොයාගෙන විනාඩි ගණනක් යනකන් ඔබ කියන කෙනා app එකට data enter කර කර ඉදිවී...
      ඉතින් app මොටද...

      Delete
    3. app for maintaining history.

      Delete
  2. මෙඩ්ඩන් ගැන් ජෝක්ස් එස්.එම්.එස්. සීරීස් එකක් ම ලියන්න පුලුවන් මට නම්.

    ReplyDelete
    Replies
    1. ඕව ලියල ඉවරවෙලා අන්තිමට වරෙන්කො බෙහෙත් ගන්න... :-)

      Delete
    2. හැක හැක!

      සීරීස් එකක්ම ලියන්නට හැක්කේ වසර විස්සක්ම එක ඇදේ පරණ මෙඩ්ඩියක් සිටින නිසා ය!

      Delete
    3. ශිෂ්‍ය ව්‍යාපාරය සහ මෙඩ්ඩෝ කියලා ලිපි සීරීස් එකක් මං ලියලා තියෙනවා ඉරිදා ලක්බිමටත් - ඒ පේරාදෙනියේ අත්දැකීම් ගැන.

      Delete
  3. මම Internship කලේ මාතලේ රෝහලේ 1995. ඒ කාලයේ අපේ කන්සල්ටන්ට්ට තිබ්බේ පේජර් එකක්. ඊට පස්සේ වීඕජී ග​ෙඩාල් බාගයක් රෝහලට ගෙනාවා. පස්සේ කාලයක (2003) විතර මමයි වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතායි අංගොඩ රෝහලේ වෝඩ් රවුන්ඩ්ස් ඉවර කරලා එලියට එන කොට අතුගාන කාන්තාවක් ඉදල පැත්තක තියාගෙන සෙල් එකකින් කතා කරනවා 1995 සිට 2003 විතර වෙන කොට ලංකාවේ සිදුවූ සන්නිවේදන විප්ලවය මම ප්‍රායෝගිකව දැක්කේ එදා.

    ReplyDelete
    Replies
    1. දැන් ඔබ තුමා කොහෙද ඉන්නේ???

      Delete
  4. //ගෑල්ලමයි ටික බෝඩින් වලට ඇරලවල හොස්ටල් එකට එද්දී වෙලාව 11යි.//

    පව් අප්පා. වෙන්ට දොස්තරලාට තියෙන වැඩ ගොඩ. :P

    ReplyDelete
    Replies
    1. නැත්තම් ඒ ළමයි තනියම යවන්ටයැ... :-)

      Delete
  5. පහුගිය කාලෙ ඔය වාට්ටුවක ඉඳල මටත් පුදුම දුකක් තිබ්බෙ ඔය කෙල්ලො ගැන... රෑ 10 වෙනකං නිදි කිර කිර ඉන්නව... ආයිත් මහ පාන්දර වාට්ටුවට එනව... ලොකු ඩොක්ට ගෙන් බැනුං අහනව... සමහර ලෙඩ්ඩු කරන වැඩ වලට හිනත් යනව, ඒ අස්සෙ කේන්තිත් යනව... ( ලෙඩ්ඩුන්ට මෙයාලා කරන පිස්සු වලට හිනා යන එක වෙනම දෙයක්... හි හි) ඒ උනාට පුළුවන් තරං හිනා වෙල ඉන්නව.. කන්න යනකොට ඩොක්ට කෑවද කියල අහුව දවස් දෙකකම, හවස 3 වෙනකනුත් මේ ළමයි කාලා නෑ... මට කොච්චර දුක හිතුනද කිව්වොත් කේක් එකකුත් දීලා ආවෙ... මොකද ඔය බබ්බු හම්බෙන වෙන වාට්ටු වලට කේක් හම්බුනාට අනිත් ඒවට හම්බුවෙනව අඩුයිනෙ... හි හි

    ReplyDelete
    Replies
    1. ගොඩ දෙනෙක් ඔහොම හිතනවානම් කොයි තරම් දෙයක් ද... :-(

      Delete
  6. බොහොම රසවත් කතා ගොඩක්... ශිෂ්‍ය අවධියේ වගේම සීමාවාසික අවධියේ කොතරම් දුක් විඳිනවාද ? දිගටම ලියන්න. කියවනවා මල්ලි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිරිගැන්වීමට... අක්කත් දිගටම ලියන්න...

      Delete
  7. එල ද බ්‍රා
    මම හිතන් හිටියේ ඔයාලා ඉගෙන ගන්න කාලේත් අතටපයට වැඩ කාරයෝ තියාගෙන ෂපාන් එකට ඉන්න කස්ටියක් කියලා...
    දිගටම ලියන්න අපි එනවා..

    ReplyDelete
    Replies
    1. හැමෝම ඔහොමද දන්නෑ හිතන් ඉන්නේ... :-O

      Delete
  8. ඔය කාලේ තව හොඳයි. සීමාවාසික කාලේ සමහර දවස් වලට නිදාගන්නම නෑ. කන්නේ බොන්නේ දවසටම එක වේලයි. ඒකත් ආතල් ඉතින්. ලොල්. අතට පයට වැඩකාරයෝ. හික්ස්

    ReplyDelete