Tuesday, August 1, 2017

අපි room එකකට ගියා... එයා pregnant... දැන් මොකද කරන්නේ...

මං මේ දවස් වල private practice කරන තැනට ආපු කපල් එකක් ගැන කතාවක් අද කියන්නම්...

මේ දෙන්නට පෙනුමෙන් නම් අවුරුදු 20ක් වත් නැතිව ඇති. අර I'm his - He is Mine කියල ගහපු T - Shirt ඇඳගෙන උකුළු මුකුලු පාපු මේ දෙන්න දකිද්දි මට හිතුනෙ හරිම ආදරණීය couple එකක් කියල.

Pregnancy test එකක් කරගන්න පුළුවන් ද? එයාල එහෙම ඇහුව.

පුළුවන් කියපු මිසී ගැහැණු ළමයගෙන් මුත්‍රා සාම්පලයක් එහෙම අරගෙන urine hCG test එක, ඒ කියන්නෙ pregnant ද කියල බලන මුත්‍රා පරීක්ෂණේ කරන්න පටන් ගත්ත.

රිපෝට් එක ආව. කෙල්ල pregnant !

කෙල්ල හොඳට ම භය වෙලා. අඬන්න ඔන්න මෙන්න වගේ... එකත් එකට ම මෙයාල තාම marry කරලවත් නැතුව ඇති.

ඔයාල ගිහින් VOG මහත්තයෙක් හම්බවෙන්න. එයා විටමින් එහෙම ලියල දේවි. මං එහෙම කීවට එයාලගෙ මුහුණුවල ඇඳිල තිබ්බෙ ප්‍රශ්නාර්ථයක සේයාවක්.

වෙන මොනවත් අහන්නෙවත් කියන්නෙවත් නැතුව මෙයාල යන්න ගියා...

කොහේ ගියා ද මොනව කරගත්ත ද මම නම් දන්නෙ නැහැ.

හැබැයි මේ හරියෙ හොරෙන් ගබ්සා කරන තැන් නම් ඕනි තරම් තියෙනවා...

Marry කරන්න කලින් Sex කරන්න එපා කියන එක මේ කාලේ කරන තේරුමක් නැති කතාවක්. හැබැයි අඩුම ගානේ උපත් පාලන ක්‍රම ගැනයි ලිංගාශ්‍රිත රෝග ගැනයි සාමාන්‍ය දැනුමක්වත් තරුණ ළමයින්ට දෙන්න විදියක් තියෙන්න ඕනි.

ලංකාව කියන්නේ ආගමික සංකල්ප කරපින්නා ගත්ත රටක් උනාට දවසකට අනවසර ගබ්සා 1000කට කිට්ටු ගණනක් වෙනවා කියන එකත් මේ වෙලාවේ ම මතක් කරන්න ඕනි. 

post එක හොඳ නම් like කරන්න share කරන්න වගේම comment කරන්නත් අමතක කරන්න එපා... 😀😃

Thursday, July 27, 2017

අලි බබා

ළමා රෝග සුව කිරීමෙහි ලා සුප්‍රකට පේරාදෙණිය මහ රෝහලේ දී මට මුණ ගැසෙනා ඇය අවුරුදු 9ක දැරිවියක්. හුරුබුහුටි හැබැයි ටිකක් විතර මහත මෙයා ඇවිත් හිටියෙ වව්නියාවෙ ඉඳල!
කොර ගගහ ඇවිදපු මෙයාට දැන් මාස තුනක ඉඳල දණිස් කැක්කුමක් ලු. මෙහෙට එන්න කලින් අනුරාධපුරේ මහ ඉස්පිරිතාලෙත් මාස දෙකක් නැවතිලා හිටියලු. කරන කරන හැම පරීක්ෂණේ ම නෝමල් ලු. ඒත් දරුවගෙ දණිස් කැක්කුම වැඩි වෙනව මිසක් අඩුවක් නැති හන්ද තමයි මෙයාල ටිකට් කපාගෙන පේරාදෙණි ඇවිත් තියන්නෙ.
වැඩේ කියන්නෙ අපිත් කරපු හැම පරීක්ෂණේ ම නෝමල්. ඒත් ළමය ඇවිදින්නෙ ම කොර ගගහ. සැර වේදනා නාශක බෙහෙත් කිහිපයක් ම දුන්නත් කකුලෙ කැක්කුමේ අඩුවක් පේන්නත් නෑ.
මෙවන් අවයව,හන්දි වගේම මස්පිඩු වලින් එන කැක්කුම්  ඒ වගේම ගෑස්ටික් වලට ඇතැම් වෙලාවට විෂාදය වැනි මානසික රෝගත් එක් හේතුවක් බව සමහර විට ඔබ අසා ඇති.
සරලව කීවොත් අයෙක් දිගු කාලයක් තිස්සේ පීඩා විඳින පපුවේ අමාරුවක් ගැන පවසනවායි සිතන්න. ECG, Echo ආදී පපුවේ අමාරුවට අදාල පරීක්ශණ සියල්ල සිදු කළත් ඒවා සියල්ල සාමාන්‍ය නම් මෙම තත්වය මානසික රෝගයක අතුරු ප්‍රතිඵලයක් විය හැකිය.
පරීක්ෂණ සාමාන්‍ය වුවත් මෙහි ඛේදනීය තත්ත්වය නම් රෝගියා මේ රෝග ලක්ෂණ සියල්ල සත්‍ය ලෙසම අත්දැකීමයි.
ඉතින් මුකුත් ප්‍රශ්නයක් තියනව ද කියල අපි අහපුවම මුකුත් කියපු නැති හන්ද අපි මෙයාව ළමා මනෝවෛද්‍යතුමෙක් ළඟට යොමු කරා.
ඒ ක්ලිනික් එකට ගිහින් ආව විතරයි මෙන්න මෙයාට හොඳ වෙලා !
වෙලා තියන්නෙ මේකයි. මෙයා ටිකක් මහතයිනේ. ඉතින් ඉස්කෝලෙ යාලුවෝ අලි බබා කියල හැම වෙලේ ම විහිලු කරනවලු. එයා අම්මත් එක්ක මේ කතාව කීවට එයත් වැඩිය ගණන්ගෙන නෑ. දන්නෙම නැතුව මෙයාගෙ මානසික පීඩනය එන්න එන්න ම වැඩි වෙලා. ඒක එළියට ඇවිත් තියන්නෙ දණිස් අමාරුවක් විදියට...
වෛද්‍ය විද්‍යාවේ දී අප මෙය හඳුන්වන්නේ විෂාදය නිසා ඇතිවන කායික රෝග ලක්ශන ලෙස.
ඉතින් මෙවන් රෝගීන් ඔබත් දන්නවා ඇති. දිගුකලක් තිස්සේ රෝගාබාධ ගැන පැවසුවත් reports ඔක්කොම නෝමල් ඇති. නිතරම සිනාමුසු මුහුණින් සිටියත් ඔවුන්ට මානසික රෝගයක් වැළඳී තිබීම ට ඇති අවකාශය ගැන සොයා බලා සුදුසුකමලත් වෛද්‍යවරයෙකු වෙතට යොමු කිරීම වැදගත්.
ඒ වාගේම කුඩා දරුවන් ඔවුන්ගේ ප්‍රශ්න ගැන පවසන විට ඔවුන් ව නොසළකා හරින්නත් එපා...

Wednesday, April 6, 2016

තීරණය...

සමහර ලෙඩ්ඩු කොච්චර අමාරු වෙලා ආවත් හරි විස්තරයක් කියන්නේ නෑ. මං මේ කියන්න හදන්නේ සිහිසුන් ලෙඩ්ඩු ගැන වත් මානසික මට්ටම වෙනස් වෙච්ච ලෙඩ්ඩු ගැන වත් නොවෙයි. හොඳ සිහියෙන් ඉන්න ලෙඩ්ඩු ගැන...

තමන්ගේ ම අනුවණ වැඩ හන්දය අසනීපෙ උපරිමේට ම වැඩි කර ගත්තු ගොඩක් ලෙඩ්ඩු බොහෝ වෙලාවට දොස්තර මහත්තයට තමන්ගේ ඇත්ත අසනීපෙ, ඇත්ත රෝග ලක්ෂණ මොකක්ද කියන එක කියන්නේ නෑ. කොහොම හරි කොළේ වහන්නයි බලන්නේ. ලැජ්ජාව මේකට තවත් හේතුවක්

ලෙඩ කොහොම කිව්වත් එයාව පරික්ශා කරලා බැලුවට පස්සේ මෙයාගේ අසනීපෙ මොකක්ද කියන එක ගැන ඉඟි ටිකක් දොස්තර මහත්තයට හම්බවෙනවා. ඊට පස්සේ තමයි විශේෂ පරීක්ෂණ එහෙම නියම කරන්න ඕනි නම් එහෙම කරලා එහෙම බෙහෙත් ටික දෙන්නේ... ගොඩක් වෙලාවට ලෙඩාට සනීප වෙනවා.

ඒත් සමහර වෙලාවට අවාසනාව කියන එක ලෙඩාගේ පැත්තටත් කරකැවෙනවා. මේ එහෙම කෙනෙක් ගැන කතාවක්...

මෙයා අවුරුදු 55ක කාන්තාවක්. ඇවිත් හිටියේ තමන්ගේ දුවත් එක්ක. ඒ වෙනකොට මේ ලෙඩා හොඳට කතා කරනවා. මෙයාට හුස්මගන්න අමාරුයි ලු. ඉතින් ඉක්මනට ම ලෙඩාව පරික්ෂා කරලා බලපු දොස්තර මහත්තයා මෙයාට දුම් අල්ලලා (nebulize කරලා) වැඩි හොඳට කියල මෙයාව HDU එකට එහෙමත් නැත්තම් (   ) එකට දැම්ම. හදිසි සීනි පරික්ෂවකුත් කළා (Random Blood සුගර්). මෙයාට සීනි 540ක්. මුත්‍රා පිටකරන එක අමාරුයි කියපු හන්ද මුත්‍රා බටේකුත් ඇතුල් කළා. එතැනදී තමයි අපි දැක්කේ මුත්‍රා වෙනුවට සැරව පිටවනවා කියල.

කියන්න අමතක උණා. මේ ලෙඩාට දියවැඩියාවට ඉන්සියුලින් ගන්න කෙනෙක්. මෙයාලට අවුරුද්දක විතර ඉඳන් ආර්ථික ප්‍රශ්න වගයක් ඇවිත්. ඉතින් අන්තිම මාස දෙක තුනේදී හරියට ඉන්සියුලින් අරන් නෑ. ඒ මදිවට පහුගිය සතිය පුරාවට ම මෙයා එක ඉන්සියුලින් ෂොට් එකක් වත් අරගෙන නෑ . ( රජයේ රෝහල් වෛද්‍ය සායන වලින් නොමිලේ ඉන්සියුලින් නිකුත් කරන බව මා මෙහිදී සඳහන් කල යුතුයි.) ඇයි ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් ඉන්සියුලින් ගත්තේ නැත්තේ කියල අහනකොට මෙයා බිම බලාගත්ත.

තවත් එකක්. මෙයාට දැන් අවුරුදු 5ක විතර ඉඳන් කොන්දේ කැක්කුමක් තිබිල. මේ ලෙඩා ඔයා නම් ඔබ චැනල් කරන්නේ කොයි ශේත්රයේ විශේෂඥ වෛද්යතුමෙක් ද ?  මෙයාල ගිහින් තිබුනේ ස්නායු ශල්‍යවෛද්යතුමෙක් ලඟට. ඔහුගේ නියමයෙන් සිදුකරපු MRI පරීක්ෂණයෙන් කොඳු නාරටියේ අව්ලක් කියල හොයාගෙන තිබුන. ඉතින් මෙයා ඔහු නියම කළ වේදනා නාශක සහ steroid බෙහෙතුත් බිබී ඉඳල තියන්නේ.

steroid බෙහෙත් දිගු කලක් භාවිතය නිසා ඇඟට විෂබීජ ඇතුල්වීමට අධික අවධානමක් ඇති වනවා. නමුත් ඇතැම් අවස්ථාවල මෙම බෙහෙත් නැවත්වීම ද සිදු කල නොහැක්කක්.

දැන් ඉතින් අපි ආයෙම අපේ වාට්ටුවට එමු.

ලෙඩා HDU එකට දාල වැඩි වෙලාවක් ගියේ නෑ, මෙන්න ලෙඩා arrest උණා. ඒ කිව්වේ ස්වසන පද්ධතියයි රුධිර සංසරණ පද්ධතියයි ක්‍රියාවිරහිත උණා. අපි ඉක්මනටම ලෙඩාට කෘතීම ස්වසනය දෙන්න පටන් ගත්ත. විනාඩි 10කට විතර පස්සේ ලෙඩා ගොඩ ආව. බලාගෙන ඉඳල හරියන්නේ නැති හන්ද ලෙඩාව ඉක්මනටම ICU එකට ට්‍රාන්සර් කරා. එහෙදි ආයෙමත් ලෙඩා arrest  වෙලා... එයාලත් කෘතීම ස්වසනය දීල. ඒත් මේ පාරනම් අවාසනාව කියන එක ලෙඩාගේ පැත්තට කරකැවිල. උදේ හොඳට හිටපු ලෙඩා දවල් 2ට විතර අපෙන් සමු අරන් යන්න ගියා...

දැන් තමයි කතාවේ හොඳම හරියට එන්නේ...

මියයන්න ඇත්තට ම බලපාපු හේතුව හොයන්න ලෙඩාට මරණ පරීක්ෂණයක් කළා... මෙයාගේ වම් පැත්තේ වකුගඩුව වෙනුවට එතන තිබ්බේ හරියට මොකක්ද කියල හිතාගන්න බැරි වකුගඩු දෙකක් විතර ලොකු දෙයක්. මේක කපල බැලුවාම ඒක තනිකරම සැරව වලින් පිරිලා තිබුන. වකුගඩුවක ලක්ෂනත් සුළුවෙන් හරි ඉතිරි වෙලා තිබ්බ. මේ වගේ තත්ත්වයක දී මුත්රාත් සමඟ සැරව පිට වන එක අනිවාර්ය දෙයක්. ඉතින් මේ රෝගියා මුත්‍රා පිටකරන කොට මේක දකින එකත් අනිවාර්ය දෙයක්. අපේ මේ ලෙඩා නම් අපිට මේක කිව්වෙත් නෑ කලින් වෙන කව්රුහරි දොස්තර මහත්තයෙක් ට කියලත් නෑ.

මේ ලෙඩා කරපු තව මෝඩ වැඩක් තමයි කොන්දේ කැක්කුමට හොඳ, ස්නායු ශල්‍යවෛද්යවරයෙක් චැනල් කරන එක කියල හිතපු එක. කොන්දේ කැක්කුම කියද්දී අපි හැමෝටම හිතෙන දේ තමයි කොඳු නාරටියේ තමයි අවුල කියන එක. ඒත් මෙතැනදී කියන්න ඕනි වැදගත් ම දේ තමයි කොඳුනාරටිය සම්බන්ද නොවන බොහොමයක් හේතු හන්දත් කොන්දේ කැක්කුම එන්න පුළුවන් කියන එක. මුත්‍රා අමාරුව කියන්නේ කොන්දේ කැක්කුමක් එන්න බලපාන කොඳු නාරටිය සම්බන්ධ නොවන එක හේතුවක්.

ඉතින් එතකොට කොන්දේ කැක්කුමක් තියනවනම් ඔබ අනිවාර්යන්ම යන්න ඕනි කායික රෝග විශේෂඥ වෛද්යතුමෙක් ළඟට. ඔහු තීරණය කරවි ඔබට මොන හේතුව හන්ද ද කොන්දේ කැක්කුමක් ඇවිත් තියෙන්නේ කියල. වෙනත් වෛද්‍යවරයෙක් වෙතට යොමු කරන්න අවශ්‍ය නම් පමණක් ඔහු එය සිදුකරාවි.

දියුණු රටවල නම් විශේෂඥ වෛද්‍යවරයෙක් චැනල් කිරීම ආවාට ගියාට සිදු කල නොහැකියි. සාමාන්‍ය වෛද්‍යවරයෙක් යොමුකිරීම සිදුකළ කල විට පමණයි  ඔබට වී.වෛද්‍යවරෙක් හමුවිය හැක්කේ. වෛද්‍ය විද්‍යාව යනු කිසිවෙකුටත් සිතාගත නොහැකි පුළුල් පරාසයකට විහිදී යන්නක්. මේ පරාස සියල්ල ගැන දැනගැනීම එක අයෙකුට ඉතා අසීරු කටයුත්තක් (කළ නොහැකි කටයුත්තක්). ඒ හේතුව නිසාමයි එක එක ශේස්ත්‍ර සඳහා වී.වෛද්‍යවරුන් බිහිවී ඇත්තේ. ඉඳින් මේ විශේෂඥ වෛද්‍යවරුන් තම ශේෂ්ත්රයේ පමණක් දිගු කලක් තිස්සේ කටයුතු කිරීම නිසා ඔවුන් අනෙකුත් ශේස්ත්‍ර ගැන දන්නේ අල්ප වශයෙන් (මතක තිබෙන්නේ අල්ප වශයෙන්). සියලුම ශේස්ත්‍රයන් හි ලෙඩුන්(ළමා, කායික රෝග, ප්‍රසව හා නාරිවේද, වැඩිහිටි, ආදී) පළමුව පැමිණෙන්නේ  සාමාන්‍ය වෛද්‍යවරයෙකු වෙත බැවින් ඔහුට මේ සියලුම ශේස්ත්‍රයන් හි සාමාන්‍ය අවබෝධයක් තිබෙනවා. ඔහුට රෝග විනිශ්චයකට එළඹීමට නොහැකි නම් යොමු කල යුත්තේ කුමන වෛද්‍යවරයෙක් වෙතට ද යන්න ගැන අවබෝධයක් ද ඔහුට තිබෙනවා.  එවිට ඔබගේ රෝග විනිශ්චය මඟ හැරීමට ඇත්තේ අල්ප අවස්තාවක්. මේ හේතුව නිසයි සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ යොමු කිරීම මත පමණක් ම බටහිර රටවලදී වී.වෛද්‍යවරයෙකු හමුවිය හැක්කේ.

උදා: කොන්දේ කැක්කුම බලපාන හේතු විශ්ලේෂණය කරන සාමාන්‍ය වෛද්‍යතුමා එයට හේතුව මුත්‍රා පිළිඹඳ ප්‍රශනයක් නම් ඔබව මුත්රමර්ගය පිළිඹඳ වී.වෛද්යතුමෙක් හට යොමු කරවී. මේ යොමු කිරීම වෛද්‍ය විද්‍යාව පිලිම්බන්දව දැනුමක් තිබෙන අයෙකුට පමණක් කල හැක්කක්. එසේ නොමැති අයෙක් මෙය සිදුකල තමයි අපගේ කතා නායිකාව වගේ මුත්‍රා අමාරුවට ස්නායු ශල්‍යවෛද්‍යවරයෙක් වෙතට යොමු වන්නේ...

නමුත් ලංකාවේ මිනිසුන් හෙම්බිරිස්සවටත් ස්පෙෂලිස්ට් කෙනෙක් චැනල් කරන්න යනවා.. ඔබට යන්නම ඕනි නම් කායික රෝග පිළිඹඳ විශේෂඥ වෛද්යතුමෙක් පමණක් හමුවන්න කියන එක විශේෂයෙන් ම කියන්නම්.

ඒ කතාව පැත්තකින් තියමු. ඔබ සීනි අහුරක් මේසයක් මතට හලා බලන්න. විනාඩි කිහිපයකින් කුඹි ගුලක් ම එතන ඉඳීවි. දියවදියාවත් මේ වගේ. හරියට පාලනය කරගත්තේ නැත්තම් අහක යන විෂබීජ සේරම ඇඟ ඇතුලේ.

ඉතින් අපි ආයෙම අපේ රෝගියා දෙසට හැරෙමු. මැයට දියවැඩියාව වැළඳී පසුකලෙක නැවතත් රෝගී වන්නේ කොන්දේ කැක්කුමක් සමගින්. එහිදී ඇය තීරණය කරන්නේ ස්නායු ශල්‍යවෛද්‍යවරයෙක් හමුවිය යුතු බව. ඔහු සිදු කරන MRI  පරීක්ෂණයෙන් ඇගේ කොඳු ඇට පෙලේ අවුලක් හමුවනවා. මෙයට නියම කරන steroid බෙහෙත් නිසා මැගේ ශරීරයට විෂබීජ ඇතුල්වීමට අධික අවදානමක් ඇති වෙනවා. මේ අතරේ ඇයට දියවැඩියාව සඳහා හරි හැටි බෙහෙත් ගැනීම මග හැරෙනවා. එවිට ඇය විෂබීජ සඳහා අධික ලෙස නිරාවරණය වෙනවා. මුත්‍රා මාර්ගය ආසාදන ඇති වන මුලික ස්ථාන වලින් එකක්. ඇයටත් මුත්‍රා මාර්ගයේ ආසාදනයක්  ඇති වනවා.. ඇය මුත්‍රා දැවිල්ල ගැන කා සමඟවත් පවසන්නේ ද නැත. සමහර විට කොඳු ඇටපෙලේ අවුලට දෙන වේදනා නාශක නිසා මැය මුත්‍රා දැවිල්ල  හඳුනාගන්නට නැතුව ඇති. නමුත් ඇය මුත්‍රා සමඟ සැරව පිටවනවා දැක්කත් එය කිසිවෙකුට පවසන්නේ නැහැ. කාලයත් සමඟ මේ විෂබීජය ශරීරය පුරා ඔඩු දුවනවා. එවිටයි ඈ හුස්මගැනීමේ අපහසුවෙන් රෝහල් ගතවන්නේ... නමුත් එවිට කිසිදු බෙහෙතකට ප්‍රතිචාර නොදක්වන තරමට විෂබීජය ශරීරය දුර්වල කොට අවසානයි.

Friday, November 20, 2015

පදික වෙළෙන්දා සහ දියණිය...

ඔබ මහනුවර අවට කෙනෙක් ද? මේ කොතනද කියල හඳුනාගන්න පුළුවන් ද? ඔබ වසර දෙකකින් පමණ මහනුවර නගරයට පැමිණ නැති නම් එක් වරම ඔබට මේ කොහේ දැයි සිතාගන්නට අසීරු ඇති. මේ මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොලේ සිට ඔරලෝසු කනුව වෙතට ඇති මාතලේ දුම්රිය මාර්ගය දෙපස කොටසයි. දැන් මෙහෙම තිබුණට මෙතන ඉස්සර නම් තිබුනේ හතු පිපෙන්නා වගේ අක්‍රමවත් ව ඉදි කරපු පදික වේදිකා කඩ පේලියක්. මිනිස්සු අතරේ තෙරපි තෙරපි මේ කඩ කාරයොන්ට හොදවයින් බැන බැන මේ හරහා ගියපු හැටි මට තාම මතකයි. ඔබටත් මතක ඇති. ඉතින් අද ඒ කඩ පේළිය එතැන නැහැ. මේවා ඉවත් කරලා වසර දෙකකට විතර පස්සේ ඔතන සාප්පු සංකීර්ණයක් හැදුණා. අර පදික වෙළෙන්දෝ ටික දැන් ඉන්නේ එතැන. හැබැයි ඉස්සර තරම් නම් අදායම් නම් නැතුව ඇති.

ඉතින් ඒ කතාව පැත්තකට තියල අද කතාව වෙතට හැරෙමු.

ඈ වයස 19 ක ඉතා රූමත් තරුණියක්. ඇවිත් හිටියේ හදිසි අනතුරු වාට්ටුවකට. මෙයා තාත්තාගෙන් ගුටි කාල. පරික්ෂා කරල බැලුවාම ඇඟ හැම තැනම වගේ තුවාල කැළැල් විසිරිලා තිබුණ.

ඉතින් ඇයි මේ තාත්ත තමන්ගෙන රත්තරන් දුවට මෙහෙම කරදර කරන්නේ...?

මේ තාත්ත අර මං කලින් කියපු කොච්චි පාර අයිනේ හිටපු පදික වෙළෙන්දෙක්. ඒ දවස්වල මෙයාලට හොඳ ආදායමකුත් තිබිල. සතුටින් ජිවත් වෙලා. ඒත් නගර සංවර්ධනයයි පදිකයන්ට පහසුවක් වෙන්නයි කියල මේ කියන පදික වේදිකාව කඩල දැම්මයින් පස්සේ අර තාත්තට තමන්ගේ රස්සාව කරගන්න තැනක් නැති වෙලා. දැන් දැන් මෙයාලට අග හිඟ කම් එන්න පටන් අරන්. මේ ළමයාගේ අම්ම රට ගිහින්. තාත්ත දුක් කරදර අමතක වෙන්නත් එක්ක හවසට හවසට බොන්න පටන් අරන්. එහෙම බීගෙන එන හවස් වරුවට අර ගෑණු ළමයාගේ මොකක් හරි වැරද්දක් හොයාගෙන හොදටම ගහනවලු.

කොහොම හරි ටික දවසකට පස්සේ මේ ළමයාගේ තාත්ත ගෙන්නලා අවවාද කරලා පොලිස් පොතේ අස්සනුත් කරලා දෙන්නම ගෙදර යැව්වා. හැබැයි මේ තාත්තට තාම රස්සාවක් නම් නෑ. අර සාප්පු සංකීර්ණය හැදෙන පාටක් පේන්නත් නෑ. ගෙදර යන්න බෑ කියා කියා අඩ අඩ ගියපු මේ සුන්දර තරුණිය ගැන ආරංචියක් අපිට ආයෙම අවෙත් නෑ.

සොඳුරු රුව ඇති
තවම නිකැළැල්
හිරිමල් යෞවන

අද කොතැනක සිටි ද
කුමක් කරත් ද
මම නම් නොදනිමි...

Tuesday, October 27, 2015

ලජ්ජා කාරී...

සමහර ලෙඩ්ඩු හරිම ලැජ්ජයි. එයාල දොස්තර මහත්තයාටත් ඇත්ත කියන්නේ අන්තිමම ම මොහොතේදී. මේ ඒ වගේ ලෙඩෙක් ගැන කතාවක්...

මෙයා මට මුණගැහෙන්නේ ප්‍රසව හා නාරි වේද වාට්ටුවකදී. ප්‍රසව කියන්නේ බබ්බු හම්බවෙන්න ඉන්න අම්මලා සිටින කොටස. නාරිවේද කියන්නේ කාන්තාවන්ට පමණක් සීමා වූ රෝගී තත්ත්වයන් සහිත ලෙඩුන් සිටින කොටස(ගර්භණිතාවය හැර)...

නාරිවේද කොටසේ වෛද්‍යවරයා ට පරික්ෂා කර බැලීමට සිටිනා ලෙඩුන් සිටි පෝලිමේ බොහොම අමාරුවෙන් මේ කාන්තාව වාඩි වෙලා ඉන්නවා. මෙයත් එක්ක පිරිමි කෙනෙකුත් ඇවිත් හිටිය. එක පාරටම මෙන්න මේ පිරිමි කෙනා මාත් එක්ක කතාවකට වැටෙනවා.

'පොඩි දොස්තර මහත්තයා මගේ නෝනට ගොඩක් අමාරුයි.'
'මොකක් වෙලා ද එයාට?'
'එයාගේ බද හොඳටම රිදෙනවලු.'

මං මේ කාන්තාව දිහා ආයෙත් සැරයක් බැලුව. ඇත්ත තමයි , මෙයා ලොකු අමාරුවකින් වගේ ඉන්නේ !

වාට්ටුව භාර කණිෂ්ඨ වෛද්‍යවරයා ළඟට දුවගෙන ගියපු මං මේ ලෙඩා ගැන ඔහුට කිව්වා.

එතුමා මේ කාන්තාව ගෙන් දැන් ප්‍රශ්න අහනවා.

'මොකක්ද ඔයාට තියන අමාරුව?'
'මගේ බඩ හොදටම රිදෙනවා මහත්තයෝ'
'එහෙනම් නගින්න බලන්න ඇඳට...'

පරික්ෂාවෙන් පස්සේ වෛද්‍යතුමාගේ මූණ අමුතු විදියට වෙනස් උණා.

මල්ලි මේ ගෑණි ට බබෙක් හම්බවෙන්න ඉන්නේ. අමාරුයි කියල කියල තියන්නේ විලි රුදාවට. තව පැයක් යන්න කලින් බබා හම්බ වෙයි ගොඩක් වෙලාවට.

පරික්ෂා කරලා බලනකන් ම තමන් ප්‍රෙග්නන්ට් කියල  මේ ලෙඩා වචනයක් වත් කිව්වේ නෑ. හොඳ වෙලාවට ලේබර් රූම් එක ළඟ පාතක තිබුනේ. ලේබර් රූම් එකට දාල පැය භාගයක් යන්නත් කලින් මේ කාන්තාව පිරිමි දරුවෙක් ප්‍රසුත කළා.

මේ කාන්තාව ළඟ එයාගේ ගර්භණි කාලයට අදාළ සායනික වාර්තා සහ විශේෂ පරීක්ෂණ වාර්තා මුකුත් ම තිබුනේ නෑ. පස්සේ අහල බලපුවාම කිව්වා එයා ක්ලිනික් එකකට වත් ගියේ නෑ කියල. ඒ මොකද කියල අහපුවාම මෙයා බිම බලාගත්ත.

හොඳ වෙලාවට හැමෝගෙම වාසනාවට කිසිම කරදරයක් නැතුව මේ අම්ම නිරෝගී දරුවෙක් බිහි කළා. හදිස්සියෙවත් සංකුලතාවයක් එහෙම ආවනම් ගොඩක් වෙලාවට මේ අම්මගේ ජීවිතේට උනත් හානියක් වෙන්න ඉඩ තිබ්බ. ඒ මේ අම්මගේ රෝග විස්තර, ගර්භණි සමය ගැන කිසිම විස්තරයක් අපි දන්නේ නැති හන්ද...

ඉතින් අන්තිමට කියන්න තියන්නේ ඔබත් දොස්තර මහතෙකු හමුවට යනවනම් සියල්ල නොසඟවා පවසන්න කියන එකයි.

Saturday, September 12, 2015

මිනිස් මොළයේ ඇති වන ලේ ගෙඩි - Brain (Cerebral) Aneurysm

මේ කාන්තාවට අවුරුදු 58ක් විතර ඇති. මෙයා දැන් අවුරුදු විස්සක් විතරම අධික රුධිර පීඩනයට හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමෙකුගෙන් බෙහෙත් ගන්නවා. ළඟදී ඉඳන් මෙයාට තද හිසේරදයක් ඇවිත්. පෙනඩෝල් ගත්තට අඩු වෙනවලු. ආයෙම ටික දවසකින් මතුවෙනවලු. මෙයා වැඩිය ගණන් අරන් නෑ.
මාසෙකට විතර පස්සේ මෙයාට එක පාරටම සිහිය නැති වෙලා. එයා ගියපු රජයේ මහරෝහලෙන් හිසේ CT පරීක්ෂණයක් කරලා. මොළේ ලේ නහරයක් පුපුරළලු.   ස්නායු ශල්‍යවෛද්‍යතුමෙක් ළඟට යොමු කරාට පස්සේ එතුමා මෙහෙම කියල.

මේ ලෙඩාගේ ලේ ටික අයින් කරන්න ඔලුව කැපුවොත් අනිවාර්යයෙන්ම ලේ ගිහිල්ලම ලෙඩා විනාඩි පහක් විතර ඇතුලත මැරෙනවා.  ඔයාල අපහු ගිහින් පිරිත් ටිකක් දාල තියන්න. අපිට කරන්න වෙන කිසිම දෙයක් නෑ.

මෙයාල සල්ලි තියන කට්ටියක්. කොළඹ ලොකුයි කියන පුද්ගලික රෝහලකට ගිහින්. එහෙදි මෙහෙම කියල.

ඇඩ්මිට් වෙන්න මට ඕක හොඳ කරන්න පුළුවන්.

ටික දවසක් මේ කියන පුද්ගලික රෝහලේ ඉඳල. අන්තිමට උනේ ලොකු බිලක් ආපු එකයි මේ ලෙඩා මරුතුරුලට ගියපු එකයි විතරයි.


විශේෂයෙන්ම කියන්න ඕනි දේ තමයි පුද්ගලික රෝහල් වල ලබාදෙන සේවාවන් ඊටත් වඩා හොඳින් ඇතැම් මහ රෝහල් වල නොමිලේ ම සිදු වෙනවා. මා ඔබට බයිපාස් එකක් කිව්වොත් ඔබට පළමුව මතක් වෙන්නේ කොහෙද ?? පුද්ගලික රෝහලක් නේද? ඔබ දන්නවාද ඔබ දන්නවාද කොළඹ ජාතික රෝහල, මහනුවර මහරෝහල ආදී මහරෝහල් කිහිපයක මේ කියන බයිපාස් සැත්කම් සැමදාම වාගේ නොමිලේ සිදුවන බව? එකම දේ තමයි රජයේ රෝහල් වල පොරොත්තු ලේඛණය ඇතැම් විට අවුරුදු ගණන්. එතකොට බොහෝ පුද්ගලික රෝහල් වල බිල ගිනි ගණන්.

දැන් බලමු මොකක්ද මේ ලේ නහර පුපුරා යාමේ තත්ත්වය කියල. වතුර බටේක එක තැනක ඝනකම අඩුවී සියුම් උනොත් මොකද වෙන්නේ? අර වතුර පාරේ පෙෂර් එකට මෙතන තවත් තුනී වෙලා බටේ පිම්බෙන්න වගේ පුළුවන්. තවත් ටික කාලයක් ගියාට පස්සේ  වතුර ලීක් වෙන්නත්  බලනවා නේද?

මේ දේම අපේ මොළයේ අභ්‍යන්තර ලේ නහර වල සිදු උනොත් අපි එකට කියන්නේ Brain (cerebral) aneurysm එකක් එහෙමත් නැත්නම් මොළයේ රුධිර නාල වල ඇතිවන ගෙඩි තත්ත්වයක් කියල. මිට අමතරව ප්‍රධාන රුධිර නාල වලත් මේ කියන Aneurysm(ගෙඩි) තත්ත්වය සුලබව දකින්න පුළුවන්.

දැන් බලමු Aneurysm වලට හේතු වෙන්නේ මොනවාද කියල.
සමහර අයට ආරෙට එන්න පුළුවන්.
සමහර විට උපතින්ම මේවා පිහිටා තියෙන්නත් පුළුවන්.
කාන්තාවන්ට වගේම කළු ජාතික අමෙරිකනුවන්ටත් මේ තත්ත්ව ඇතිවෙන්න තියන හැකියාව වැඩිලු.

අධික රුධිර පීඩනය තියන යට මේ කියන තත්ත්වය ඇතිවෙන්න ලොකු හැකියාවක් තියෙනවා.
ඒත් එක්කම කොලෙස්ටරෝල් තියෙනවනම් මේ හැකියාව තවත් වැඩි වෙනවා.
දුම් පානය කරනවානම් මේවා පුපුරයමේ හැකියාව ඉහලයි.

අපේ ලෙඩාට මේ දේ ඇවිත් තිබුනේ අධික රුධිර පීඩනය හන්ද...

රෝග ලක්ෂණ ගැන කිව්වොත්,
   අපේ මොළයේ එක එක තැනින් වෙන්නේ එක එක වැඩ. ඉතින් මේ තත්ත්වය තියන තැන සහ  අනුව රෝග ලක්ෂණ වෙනස් වෙන එක අනිවාර්යයෙන්ම වෙනවා.

එහෙත්,
         අධික හිසරදය,
         වමනය / ඔක්කාරය,
         බොඳවී පෙනීම
                      වගේ දේවල් නම් හැමෝටම වගේ එනව.

ඒ පුපුරන්න කලින්. පිපිරුවට පස්සේ.

      ක්ෂණිකව ඇතිවන
                    අධික හිසරදය,
                    වමනය
                    වලිප්පු තත්ත්ව (ෆිට් එක )
                                       වගේම
                     

                        රෝගියා සිහි මුර්ජවිම සිදු වෙන්න පුළුවන්.



ඉතින් ඔබටත් අධික රුධිර පීඩනය තියෙනවා නම් අඩු වෙන්නේ නැති හිසේ කැක්කුමක් තියනවනම් අපේ ලෙඩා වගේ ගෙදරට වෙලා පැනඩෝල් බිබී ඉන්නේ නැතුව හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පතන්න කියන එක තමයි අන්තිමට කියන්න තියන්නේ.




මොළය ඇතුලට ලේ ගොස් ඇති ආකාරය
රුධිර නාලයක ඇතිවූ Aneurysm හෙවත් ගෙඩියක් 

Saturday, June 20, 2015

මඟ තොටේ දී හමුවූ පරණ ලෙඩා...

මං මේ ළඟදි දවසක් පන්සලකට ගියා... ගෙදර ඉඳන් ආපු නැති හන්ද අතේ මල් පහන් හදුන්කුරු මුකුත් තිබ්බේ නෑ. එහෙම පන්සල් යන්න මොකක්දෝ වගේ හින්ද පාර අයිනේ තිබ්බ මල් විකුණන stall එකක් ලඟට ඇවිදන් ගියා...

අනේ මහත්තයෝ අපෙනුත් මල් ගන්න එන්න...

අවුරුදු 35ක් වගේ පෙනුමක් තියෙන අක්ක කෙනෙක් බැගපත් වෙනවා. පෙනුමෙන් නම් ජිවන ගමන ඉදිරියට රැගෙන යන්න උපරිමේටම කට්ට කනවා වගේ... 
මේ ගිනි ගහන අව්වේ පිච්චි මල් විකුණන එක ලේසි වැඩක් යැ..

"මේ මිස් මට දැකල පුරුදුයි වගේ..." මට නිකන්ම කියවුණා...
"එකනේ මටත් මේ මහත්තයව හොදට දැකල පුරුදුයි වගේනේ..."
"ළඟදි ඉස්පිරිතලේකවත් හිටියද???"
"අහ මේ අපේ doctor නේ. දැන් අපේ දුවට හොදටම හොදයි."

එතකොට මේ කාන්තාව ගැන චායාවක් වගේ මතක සටහනක් හිතේ ඈත කොනක ඇඳිලා ගියා.
අපි ළමා රෝග ඇපොයිමන්ට් එක කරන දවස් වල මේ අම්මයි දුවයි අපේ වාට්ටුවේ නතර වෙලා හිටිය. මොකටද aaවේ කියන්න නම් හරි හැටි මතකයක් නෑ. ඒත් දුවට හොදටම හොඳවුණා කියල නම් මතකයි.

කොහොම කොහොම හරි ආගිය විස්තර කතා කරන අතරේ පහන් දෙකකුයි, මල් පර්සලයකුයි හඳුන්කුරු පෙට්ටියකුයි ගත්ත.

අපිව හොඳ කරපු මහත්තයගෙන් කොහොම සල්ලි ගන්නද. කියපු මෙයා සල්ලි ගන්න බෑ ම කියනවා...
එයා එහෙම බෑ කියන්නේ අවංකවමයි කියන එක මුණ දිහා බලද්දිම තේරෙනවා.

තාම medical student ල වෙන අපි ගැන, ලෙඩ හොඳ කරගත්තු මෙයාලගේ හිතේ තියන ගෞරවය, පැහැදීම දැකල මං කොච්චර වාසනාවන්තද කියල හිතුන.

මේ කතාව මෙහෙම ලියන්න හිතුනේ මඟ තොටේදී හමුවූ පරණ ලෙඩෙක් ගැන බ්ලොග් ලියන තවත් අපේම සහෝදරයෙක් ලියපු පොස්ට් එකක් දැකල.

එකත් කියවලම යන්න. මෙන්න ලින්කුව...