Wednesday, April 22, 2015

අරිශ්ටේ ඉල්ලල ජරමරේ...

ඕනි ලෙඩකට සිංහල බේත් බොන්න. ඔය ඉංගිරිසි බෙහෙත් වගේ නෙවෙයි සිංහල බේත් ගස් වැල් ම කොටලා අරන් හදන හන්ද මොන අතුරු ආබාධයක් වත් නෑ..."
ඇතැමෙක් මෙහෙම කියනවා ඔබ අසා ඇති. ඒත් ඊට පරස්පර විරෝධී කතාවක් මං ඔබට කියන්නම්.
මේ දවස් වල මං ඉන්න වාට්ටුව, ඒ කියන්නේ කායික රෝග වාට්ටුවට ඇඟ ඉදිමිච්ච ආච්චි කෙනෙක් ඇඩ්මිට් කරලා තිබුන. මෙයාගේ ඇඟ ඉදිමීමට හේතු හොයන්න කරපු පරීක්ෂණ වලින් හෙළි වෙලා තිබ්බේ මෙයාගේ අක්මාව නරක් වෙලා කියල. (අක්මාව නරක් වුණාම ඒක පිටට පෙන්නේ ඇඟ ඉදිමිම වගේ රෝග ලක්ෂණ වලින්) . වෙන විදියකින් කිව්වොත් ආච්චිට සිරෝසිස්. ෂුවර් එකටම ආච්චි කන් පාත් වෙනකන් බොන්න ඇති කියල මට හිතුණ.
සිරෝසිස් විතරක් නම් මදෑ ආච්චිට පොතු කබරත් හැදිලා එකෙනුත් වේදනා විඳින ගමන් තමයි මෙහෙම ඇඟත් ඉදිමිලා තියෙන්නෙ. අලි මදිවට හරක් කියල ඔයාලට හිතෙනන ඇති.
විස්තර අහගෙන යද්දී ආච්චි මෙහෙම කතාවක් කිව්වා.
අවුරුදු පහ හයකට විතර උඩදී පොතු කබර හැදුනලු. ඊට පස්සේ වෙද මහත්තයෙක් ළගට ගියපු ආච්චි ඒකට බෙහෙත් අරන්. මේ වේද මහත්තය දීල තියෙන්නේ අරිෂ්ඨයක්. කඩින් කඩ වෙද මහත්තයා හම්බවෙන්න ගියපු ආච්චි මේක අවුරුදු පහ පුරාවටම බීල.
සමහර සිංහල බෙහෙත් වල විශේෂයෙන්ම අරිෂ්ඨ වල අපේ ඇඟට අහිතකර විවිධ විෂ රසායන අඩංගු වෙනවා. වැඩිපුරම මේවා බලපාන්නේ අපේ ඇඟේ තියන විෂ නසන ඉන්ද්‍රියට. එකියන්නේ අක්මාවට. වකුගඩු වගේ වෙනත් ඉන්ද්රියන්ටත් මේ කියන බලපෑම අඩු වැඩි වශයෙන් තියෙනවා. කාලයක් මේවා බොනවා කියන්නේ මේ කියන ඉන්ද්‍රියන් විනාශ උණා කියන එක තමයි. ඉතින් අපේ ආච්චිට වෙලා තියෙන්නෙත් ඒකයි.
අන්තිමට කියන්න තියන්නේ මේවගේ සිංහල බෙහෙත් බොන්නම ඕනි නම් විශේෂයෙන්ම ගොඩ කාලෙකට බොනවා නම් වකුගඩු ඒවගේම අක්මාව වගේ ඉන්ද්‍රියන්ට ඒ බෙහෙත් වලින් හානි වෙනවද කියල අදාල පරීක්ෂණ කාලෙන් කාලෙට කරගන්න ගමන් බොන්න කියන එකයි.

Sunday, April 5, 2015

පියයුරු පිළිකාව සහ ඈ...

එදා මං හිටියේ ශල්‍යාගාරයේ... වයස අවුරුදු 45ක වගේ පෙනුමක් තියෙන කාන්තාවක් පියයුරු පිළිකාවක් නිසා පියයුරු ඉවත් කිරීමේ සැත්කමකට මුහුණ දෙන්න ඇවිත් හිටිය.

මෙයාගේ පිළිකාව වාසනාවකට වෙන කොහේටවත් පැතිරිලා ගිහින් තිබුනේ නෑ.

ඉතින් පිළිකාව තියන පියයුර විතරක් අයින් කළාම මෙයාට පුර්ණ සුවය ලබන්න පුළුවන්.

ඒ බව එයාට කලින්ම කියලයි තිබුණේ. ඒත් මෙයා එහෙම සතුටු වෙන්න කාරණයක් තියෙද්දිත් අඩ අඩ හිටියේ.

"මහත්තයෝ එතකොට එකක් නෑනේ..." ඇයි කියල අහපුවාම එයා එහෙම කිව්වා.

ඔය අතරේ එතෙන්න අපේ විශේෂඥ වෛද්‍යතුමා ආව.

"මේ අම්මගේ මහත්තයා මොනාද කරන්නේ?"

"අනේ මහත්තයෝ එයාට අංශ භාගේ හැදිලා කකුල් දෙකම පන නැතුව ඇඳට වෙලා දැන් ගොඩක් කල්... තනියම ඇඳෙන් බහින්නවත් බෑ."

"එතකොට ඔයාගේ ළමයි මොකද කරන්නේ?"

"එයාල තාම ඉස්කෝලේ යනවා මහත්තයෝ..."

අසල තිබුන රේඩියෝවෙන් ඊට ටික වෙලාවකට පස්සේ මේ සින්දුව වාදනය වුණා.

Friday, March 27, 2015

දඟකාර පුංචි ළමයි ලෙඩ උනාම...

අහිංසක මල් වගේ හැඩකාර ඒවගේම දඟකාර පුංචි පැන්චියෝ වගේම පුංචි පැන්චෝන්ගෙනුත් පිරිලා ඉතිර ගිය ළමාරෝග වාට්ටුවක තමයි පහුගිය මාසෙම මට ඉන්න ලැබුණේ.

මල් වගේ හුරතල් පුංචි ළමයිගෙන් මුළු වාට්ටුවම පිරිලා ඉතිරිලා ගිහින්. මටත් මගේ පුංචි කාලෙට අයෙම යන්නත් හිතෙනවා.

මෙයාල හැමෝම ඇවිත් ඉන්නේ එක එක රෝග වලට ගොදුරු වෙලා. සමහර පැන්චෝන්ට නම් වැඩි අවුලක් නෑ. එත් සමහරුනට නම් ටිකක් අමාරුයි. විශේෂඥ වෛද්‍යතුමිය සැපත් වෙන්න කලින් හිස්ට්‍රි ගන්නත් ඕනි. ඒ මදිවට විශේෂඥ වෛද්‍යතුමෙක් වෙන්න ඉතාම ආසන්න SRතුමා ගෙනාපු භිෂණයත් මදි නොකියන්න තිබුණ. (ඒ කිව්වේ එය අපෙන් ප්‍රශ්න අහනවා. උත්තර දන්නේ නැති උනාම අපිව වාත කරනවා. ඒක තමයි භිෂණය. :-) )

මේ හැමෝම අතරේ එක එක විදියේ අම්මලත් හම්බුනා.

වැඩිපුර පරිස්සම් කරන්න ගිහින් ලෙඩ වැඩි කරගත්තු ළමයි ගැන හිතෙනකොට නම් හරිම දුකයි. අක්කලත් එක්ක වැලි සෙල්ලම් බත් උයපු, වෙළවල් වලට බැහැල මඩ නාපු, දුවිලි ගොඩේ නටපු හරිම නැවුම් අතීතයක් මට නම් තිබ්බ. මේක කියවන ගොඩ දෙනෙක්ටත් එහෙම තියෙන්න ඇති. එහෙම කරා කියල අපිට මුකුත් උනේ නම් නැනේ.

ඒත් සමහර අමමල තමන්ගේ ළමයට එලියට බැහැල සෙල්ලම් කරන්න දෙන්නේ නෑ. වැලි සෙල්ලම් කරන්න දෙන්නේ නෑ... වෙන එකක් තියා හරියට නාවන්නේ වත් නෑ.

එක අම්ම කෙනෙක් හම්බුනා එය පුතාව මාසෙකින් නාවල නෑ. හෙම්බිරිස්සාව වැඩිවෙන හන්දලු. පොඩි එකා නො නා කොහොම ඉන්නවද මන්ද. තව ටිකක් විස්තර අහපුවම මෙය පණ්ඩිතකමට වගේ කියනවා ළමයාගේ සෙම අමාරුවට ප්‍රසිද්ධ ළයරෝග විශේෂඥ වෛද්‍යතුමෙකුගෙනුත් බෙහෙත් ගත්තයි කියල.

වතුරට බැහැපු ගමන් හෙම්බිරිස්සාව එනවා කියන්නේ ළමයට වතුර ඇලජික්. ළමයව වතුරට ටික ටික හුරු කරවන එක තමයි එහෙම ළමයින්ට දෙන ප්‍රතිකාරය.

අම්ම හෙට ඉදන් ළමයව නාවන්න. සෙම පොඩ්ඩක් වැඩිවෙයි. එක අඩුවෙන්න බෙහෙත් දීල තියන්නේ. බයවෙන්නේ නැතුව නාවන්න. නාවන්නේ නැතුව මේ ලෙඩේ හොඳ කරන්න බෑ. ඒ විශේෂඥ වෛද්‍යතුමා එහෙම කිව්වට මේ අම්ම බේත් ටික ඉවරවෙනකම්ම ළමයව නාවල නෑ. ආයෙම  වැඩිවෙයි කියල හිතුනලු. නාවල දවස් දෙකකට පස්සේ ආයෙම පොඩි එකාට සෙම වැඩි වෙලා. මේ පාරත් අපේ විශේෂඥවෛද්‍ය තුමිය බෙහෙත් දීල, හොඳට නාවන්න කියල කියල ටිකට් කපල ගෙදර යැව්වා. මේ අම්මයි  ළමයයි තව දවස් දෙකතුනකින් ආයෙත් සැරයක් වාට්ටුවේ දකින්න ලබුනොට් මන් නම් පුදුම වෙන්නේ නෑ.

ආසාදන වලට ප්‍රතිජීවක ඖෂධ නියම කරනවා කියල ඔයාල දන්නවා ඇතිනේ. වේලක් දෙකක් බිපුවම අමාරු නම් අඩු වෙනවා. ඉතින් අපි ආයේ ඒවා බොන්නේ නැනේ. නොබීව කියල අපි ආයෙම ලෙඩ වෙන්නෙත් නෑනේ. ඒ අපේ ප්‍රතිශක්තිය හොඳ හන්ද. ඒත් පුංචි ළමයින්ගේ නම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳට වර්ධනය වෙලා නැති හන්ද ලෙඩේ අඩු උනත් එයාලට නම් බේත් ටික ඉවරවෙනකන්ම හරියට දෙන්න ඕනි. මේ විදියට ළමයට හරියට බෙහෙත් ටික දෙන්නැතුව ආයෙම ළමයව ලෙඩ කරන ආපු අම්මලත් හිටිය. ඔයාලගේ පොඩි එකා ලෙඩ උනොත් බේත් ටික ඉවර වෙනකන්ම හරියට දෙන්න හොදේ...

අවුරුද්දක ළමයෙක් වඩාගෙන සායනයට ආපු වැදගත් පෙනුමක් තියෙන අම්ම කෙනෙක් කිව්වේ වෙනස් කතාවක්. ළමයාගේ බර හොදටම අඩුයි ලු. අම්ම දිහා බලපුවම නම් දුප්පත් පාටක් ගෑවිලාවත් තිබුනේ නෑ. විස්තර අහපුවම හොදට සල්ලි බාගේ තියෙන, වලව්වක ඉන්න කට්ටියක් ලු. ඒත් පොඩි එකාට මන්ද පෝෂණය වගේ...

හොයල බලපුවම මේකයි වෙලා තියන්නේ. ළමයාගේ ආච්චි ඒ කියන්නේ අම්මගේ නැන්දම්මා ගතානුගතික කෙනෙක්. සෙම ඇවිස්සෙයි කියල සමහර කෑම ජාති කන්න දෙන්න එපා කියල. ඌෂ්නෙ වැඩිවෙයි කියල මේමේ කෑම ජාති කන්න දෙන්න එපා කියල. තව තව එක එක ඒවා වෙයි කියල තව තව කෑම ජාති කන්න දෙන්න එපා කියල. මේකතා ඔක්කොම අහපු ළමයාගේ අම්ම ළමයට ගුණ කෑම මුකුත්ම දීලම නෑ... ඉතින් ළමයට මන්ද පෝෂණය නොහැදෙයි ද...

මේවගේ රසබර වගේම දුක්බර කතා ගොඩක් අතරේ ගෙවිච්ච ළමාරෝග වාට්ටුවේ  ජිවිතයට සමුදෙන්න වෙන දවසත් ළඟ ළඟම එනවා...

Saturday, February 21, 2015

ඉංග්‍රීසි වෙදකමින් සිංහල බෙහෙත් තෙල් වලට...

ඔබ කෙදිනක හෝ අස්ථි බිඳී යාමක් හෝ සන්ධි පැනීමකින් පීඩා වින්ද තිබේද???

මෙවන් රෝගාබාධ සඳහා ශ්‍රිලංකාවේ බොහෝ දෙනෙක් තවමත් සිංහල වෙදකම සඳහා නිතැතින්ම යොමු වේ. ඒ ඉංග්‍රීසි ප්‍රතිකාරවල දී  මෙන් නොව සිංහල කැඩුම් බිඳුම් වෙදකමේ දී වරු තුන හතරකින් සුවය ලබා සුපුරුදු දින චර්යාවට ඉක්මනින් අනුගත විය හැකි බැවිණි.

නමුත් තවත් සමහරුන් මෙවන් රෝගී තත්ත්ව වලදී බටහිර ප්‍රතිකාර සඳහා යොමු වෙති.

"මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙද්දී සිංහල වෙදකම් කරලා අත් කකුල් ඇද කරගන්නේ පිස්සුවකටැයි. ටික කාලයක් අත වෙළාගෙන ඉන්න උනාට කෑමක් නෑ;වැඩේ හරියට වෙනවනම්." එවන් රෝගීන් එසේ පිළිතුරු දෙයි.

මෙහෙම ලියන්න හිතුනේ පහුගිය දවසක මගේ යාලුවෙක්ට වෙච්ච ඇබැද්දියක් මතක් වෙලා. යාලුවෙක්ට කිව්වට යාළුවගේ අම්මට. එයා වැටිලා අතේ හන්දිය පැනල. ඉතින් මගේ යාළුවත් මම වගේම වෛද්‍ය ශිෂ්‍යයෙක් හන්ද එයා ඉක්මනට ම අම්මව ශල්‍ය වෛද්‍ය වාට්ටුවට ඇතුලත් කළා. ඉක්මනටම X-Ray එකකුත් ගත්ත. වැඩි අවුලක් නැති හන්ද පොඩි ශල්‍ය කර්මයක් කරලා පැනපු හන්දිය ආයෙත් තිබ්බ විදියටම හැදුව.

හැබැයි පොඩි අවුලක් . අම්මට මෙන්න මේවිදියට අත තියන් සති 6ක් ඉන්ඩ කියල
දොස්තර මහත්තයා කියල.

අම්මට හෙනම අවුල. පුත්තන්ඩිය දොස්තර පැටිය උනාට අම්මනම් හිටියේ කැඩුම් බිඳුම් වලට සිංහල බේත් හොදයි කියන මතයේ. පුතාගේ කීමට වාට්ටුවට ආවට එයා ඇවිත් තිබුණේ වැඩි කැමැත්තකින් නම් නෙවෙයි.

ශල්‍යකර්මයෙන් දවස් තුනකට විතර පස්සේ ටිකට් කැපුවහම අම්ම පුතාට හොරෙන් වේද මහත්තයෙක් ළඟට ගිහින්. ඉංග්‍රීසි දොස්තර මහත්තය අම්මගේ අත හරියට හදපු හන්ද මේ වේද මහත්තය අර ප්ලස්ටරේ අයින් කරලා එයාගේ බේත් තෙල් ටික හන්දිය උඩින් තියල බැඳල.

දවස් තුන හතරයි ගියේ. මෙන්න අම්ම පරණ පුරුදු විදියටම වැඩ... අතේ අවුලක් තිබ්බ කියල නාමයක් වත් නෑ... ඉංග්‍රීසි වේදකමේම එල්බගෙන හිටියා නම් තාමත් ඈ අත බැඳගෙන...

අද අපි ඉංග්‍රීසි ප්‍රතිකාර ක්‍රම වලට මල් පහන් තියාගෙන වැඳගෙන හිටියට අපි ගොඩ දෙනෙක් ගණන් ගන්නෙවත් නැති ආයුර්වේද වේද කම සියවස් ගණනාවක් තිස්සේ පරම පරවෙන් පරම පරාවට පැවතගෙන ඈ ඉතා දියුණු වෛද්‍ය ක්‍රමයක්. ඒත් ගුරු මුශ්ධි සහා තාක්ෂනය ට අනුගත නොවීම වාගේ බොහෝ හේතු
නිසා අද මේ ශ්‍රේෂ්ඨ වෛද්‍ය ක්‍රමය අභාවයට ගොසින් සහ ජනතා පිළිගැනීමෙන් දුරස් වෙලා.

නමුත් විකලාංග වෙදකමේ දී නම් මේ කියන දුරස්ථ කම එහෙමත් නැතිනම් අභාවයට යෑම තරමක් දුරකට හෝ වලංගු ප්‍රකාශයක් නොවේ.

බිඳීමකට හෝ පැනීමකට අස්ථි හෝ සන්ධි ලක්වවීමක දී ස්නායු, රුධිර වාහිනී සහ tendan වැනි අවට පිහිටි දෑ ද බොහෝවිට හානි වීමකට ලක්වේ. ඉංග්‍රීසි වෙදකමේ දී X කිරණ සටහන්, CT සටහන්, අතිධ්වනි ඡයාරුප ආදී නොයෙකුත් තාක්ෂණ ක්‍රම මගින් සහ රෝගියාගේ රෝග ලක්ෂණ අනුව ආබාධය පිලිබඳ ව වඩාත් නිරවද්‍ය වූ නිගමනයකට එළඹීම පළමුකොටම සිදුවේ. පසුව ඒ සියල්ල ද නිවැරදි කිරීමක් සිදු කරනු ලබයි. රෝග ලක්ෂණ අනුව අවශ්‍ය නම් ශල්‍යකර්ම ද සිදු කරයි. ස්නායු වලට හානි සිදුව තිබේනම් ශල්‍ය කර්ම කොට ඒවා ද යථා තත්වයට පත් කරනු ලබයි.

එහෙත් සිංහල වෙදකමේ දී මේ කිසිත් නොබලා ( බොහෝ විට X කිරණ සටහනක් පමණක් ) ප්‍රතිකාර ක්‍රම සිදු කරන බැවින් බොහෝ විට පසු කලෙක රෝගියා සන්ධි ඇදවීම්, ස්නායු රෝගාබාධ වැනි සංකුලතා බොහොමයකට ලක් වේ. ඒ වනවිට ඒවා නිවැරදි කල හැකි අයුරින් තිබෙන ඒවා ද නොවේ. මෙවන් බොහොමයක් දෙනා මගතොටේ දී සහ රෝහල් භුමියේ දී මා හට මුණගැසී ඇත.

නමුත් ඉංග්‍රීසි බෙහෙත් වලට වඩා ඉක්මනින් සන්ධි හාවීම සිංහල වෙදකමේ දී සිදුවේ.

එබැවින් විකලාංග වෙදකමේ දී වත් සිංහල සහ ඉංග්‍රීසි කියන මේ අන්ත දෙක සුදුසු පරිදි එකතු කොට මහා බලගතු වූ ප්‍රතිකාර ක්‍රමයකට එළඹීමට සුදුසු කාලය මෙය නොවේද ???

Sunday, February 1, 2015

පලිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.

පහුගිය සතියේ දවසක මටත් රෝගියෙක් විදිහට ශල්‍ය වෛද්‍ය වාට්ටුවකට ඇතුලත් වෙලා ඉන්න සිදුවුණා. ඉතින් එහෙම ඉන්නකොට මගේ අල්ලපු ඇඳේ හිටපු රෝගියාගේ විස්තරේ තමයි අද කියන්න යන්නේ.

මේ රෝගියාගේ ගම් පළාත අම්පාර. මොහු රෝහල් ගත වෙලා හිටියේ ගෙලෙහි කුද්දෙටි එකක් පමණක් විශාල වී තිබුණු නිසාවෙන්.

මෙවන් කුද්දෙටි විශාල වීම් සඳහා හේතු බොහෝ ගණනක්  තිබෙනවා. නමුත් මේ රෝගියා සතුව අම්පාර මහා රෝහලේදී සිදු කරපු අර කුද්දෙටියෙන් ගත්තු පටක අන්වීක්ෂයෙන් බලල ඒව මොන ජාතියේ ඒවා ද කියල හොයපු  බයොප්සි රිපෝට් එකක් තිබුන.

 ඒකෙ විදිහට නම් අර කුද්දෙටියේ තියෙන්නේ පිළිකා සෛල.

එහෙනම් කුද්දෙටිය ගලවලා අයින් කරා නම් වැඩේ හරිනේ...

ඔබ එසේ සිතාවි.

නමුත්,

කුද්දෙටි යනු වසා ගැටිති ඉදිමීමකි. එසේම එක් වසා ගැටිත්තකට වසා ශ්‍රාවය වන්නේ එම වසා ගැටිත්ත ආවරණය කරන සිරුරේ එක් නිශ්චිත ස්ථානයක සිටයි.

ගෙලෙහි නම් හිසෙහි සහ ගෙලෙහි පිහිටන ඉන්ද්‍රියක සිටයි.

වෙනත් විදියකින් කිවහොත් මෙම වසා ගැටිත්තේ ඇති පිළිකා සෛලවල ආරම්භක ස්ථානය රෝගියාගේ හිසෙහි හෝ ගෙලෙහි පිහිටි වෙනත් ස්ථානයකි.

ඉතින් මොහුගේ පිළිකාවේ ආරම්භක ස්ථානය සොයා
      හිසෙහි සහ ගෙලෙහි CT පරීක්ෂණයකට ද
      ස්වසන මාර්ගයේ ස්ථාන නිරීක්ෂණය සඳහා endoscopy පරීක්ෂණයකට ද ඔහු ලක්ව තිබුණා.

ඔහුගේ ග්‍රසනිකාව (pharynx) ප්‍රදේශයේ (නාසයට පිටුපසින් උගුරු දණ්ඩට ඉහළින් පිහිටන කොටස ) තිබු අවසන් අදියරේ පවත්නා පිළිකාවක් නිරීක්ෂණය කිරීමට ඉහත පරීක්ෂණ හරහා වෛද්‍යවරුනට හැකියාව ලැබී තිබිණි.

සාමාන්‍යයෙන් මෙවන් රෝගීන්  කහින විට රුධිරය පිටවීම,
                                                 ස්වසනයේ සහ ගිලීමේ අපහසුතා,
                                                 කටහඬ වෙනස් වීම,
                                                 හදිසියේ සිදුවන බර අඩු වීම,
                                                 ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ වලින් පෙළුන ද මොහු තුළ සිටි පිළිකා මාරයා ඒ කිසිදු රෝග ලක්ෂණයක් පිටතට නොපෙන්වීමට තරම් අකාරුණික වී තිබුණා. කෙසේ හෝ ඔහු රෝහල කරා පැමිණෙන විට එම පිළිකාව අවසන් අදියර තෙක් වර්ධනය වී අවසන්.

මෙවන් පිළිකා සඳහා හේතු වන්නේ දුම්පානය වැනි අහිතකර පුරුදු වුවත් මෙම රෝගියා කිසි කලෙක කිසි දිනෙක දුම් පානය කර නැති බව මා හා පැවසුවා.

වැඩිදුර ප්‍රශ්න කිරීමේදී දැන ගැනීමට ලැබුනේ මොහු ගොවි මහතෙකු බවත් කුඹුරට බෙහෙත් ගසන කාලයේදී බොහෝ විට පැය හත අටක් එක දිගටම තෙල් බෙහෙත් ඉසිනා බවකි.

ඉතින් ඔබ මුඛ වාඩමක් භාවිත කළේ නැති ද ???

පැය හත අට එක දිගටම ඕක මුනේ බැඳගෙන ඉන්න අමාරුයි නේ මහත්තයෝ. ඉතින් මං කවදාවත් ම මාස්ක් එකක් පාවිච්චි කළේ නෑ... මං ඒ විදියට අවුරුදු විස්සක් තිහක් විතර බේත් ගැහුවා මහත්තයෝ...

ඔහු එසේ පවසන විට ඇස් අගින් මතු වූ කඳුළු බින්දුවක් ඔහුටත් හොරා රූටා වැටෙනු මා දුටුවා. අවසන් අදියරේ තිබු පිළිකාවක් නිසා, ප්‍රතිකාර කලත්  බොහෝවිට තව ටික කලකින් මාරයාගේ පහස කරා යන්නට සිදුවන බව ඔහු දන්නා සෙයකි.

ශ්‍රී ලංකාවේ ගොවි මහතුන් පලිබෝධ නාශක ඉසීම සිදු කරන්නේ ඉන් තමන්ට සිදු විය හැකි හානි ගැන වැඩි දුර නොසිතා ය. පළිබෝධ නාශක අනතුරු සහිතයි, ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න කියා ලේබලයේ ගසා තිබුනත් බොහෝ දෙනා එය තුට්ටුවකට වත් මායිම් කරන්නේ නැත.

නමුත් එම අනතුරට ගොවියා ගොදුරු වන්නේ බොහෝවිට ඉන් වසර ගණනාවකට පසුවයි.

ඉතින් ඔබත් මෙවන් ගොවි මහතුන් ගැන දන්නේ නම් ඔවුන් දැනුවත් කරන්නට පමා වන්න එපා...


Wednesday, January 21, 2015

පරණ කතාවක්

Losartan නිසා බලෙන් වකුගඩු රෝගියෙක් වෙච්ච තවත් කෙනෙක් මට දවස් දෙක තුනකට කලින් මුණ ගැසුණා.


ඉතින් මේ හදිස්සියේ බ්ලොග් එක පැත්තට ආවෙ Losartan වල Trade name ටිකක් කියල දාන්න. මොකද මං Losartan කිව්වට ඔබ එය නොදන්නවා වෙන්න පුළුවන්. ඔබ හෝ  ඔබ අදුනන කෙනෙක් පෙෂර් එකට බොන ලස්සන නමක් තියෙන  බෙහෙත Losartan වෙන්නත් පුළුවන්.

ඉතින් තවත් වැල්වටාරම් ඕනි නෑ. පල්ලෙහා තියන Link එකට ගිහිල්ල බලන්න ප්‍රෙෂර් එක තියන ඔයා දන්න රෝගීන් බොන බෙහෙත Losartan ද කියල...

එය Losartan නම් මතකයිනේ කලින් සටහන...

Losartan සඳහා වෙනත් නම්

ප.ලි : මෙන්න Losartan ගැන කලින් සටහන

Saturday, January 17, 2015

අද 1984 අවුරුද්දෙ අහවල් දවස... නේද???

සතියක් ගෙවී ගිහින් ඇරඹෙන තවත් අලුත් සතියක නැවුම් ආලෝකය ගෙයි දොරකඩටම ඇවිත්. අලුත් සතියේ අලුත් රෝගියෙකුගේ විස්තරයක් ඔබට කියන්න තමයි මගේ මේ සුදානම...

මේ මව සහ ඇගේ පුත්‍රයා මට මුණගැසෙන්නේ අපේ ශික්ෂණ රෝහලේ මානසික රෝග සායනයේදී. මං අද කියන්න යන්නේ නාවර පෙරාගත් මුරණ්ඩු කුඩා ගැටයෙක් අතින් අල්ලාගෙන ආපු අසරණ අම්මා කෙනෙක් ගැන කියල ඔබ හිතුව නම් ඔබට වැරදුණා...  

වයස අවු : 78 ක අම්ම කෙනෙක් එක්කන් ආපු අවු : 50 ක විතර රියදුරු මහත්තයෙක් ගැන තමයි අද කතාව...

අපේ අම්ම අවුරුදු දෙකකට කලින් වෙනකම් ගෙදර වැඩ පල කරගෙන හොඳින් හිටිය. ඊට පස්සේ තමයි මහත්තයෝ අපේ අම්මට මේ කාලකන්ණි ලෙඩේ හැදුනේ. 

දැන් අම්මට ළඟදී වෙච්ච කිසි දෙයක් මතක නෑ. දවල්ට හොඳට බඩ පිරෙන්න කාපු අම්ම පැය භාගෙකට විතර පස්සේ කෑවේ නෑ කියල කුස්සිය පෙරලගෙන කෑම හොයනවා. මං එයාගේ පුතා කියන්නවත් එයාට මතක නෑ. හැබැයි අවුරුදු 20 කට 30 කට කලින් වෙච්ච දේවල් නම් අම්මට හොඳට මතකයි. අම්ම එයාගේ ගමේ ඉස්කෝලෙට ගියපු හැටි එහෙම නිතරම වගේ කියනවා.  
ඒ හැම එකක්ම ඉවසන්න පුළුවන් මහත්තයෝ ඒත් අපේ අම්ම ගේ වටෙයි අහල පහලයි හැමතැනම ඇවිදින්න ගිහින්, තියන කුණු සේරම ගෙනත් ඇඳේ තියගන්නවනේ. ඒවා මැදි කරන් තමයි අම්ම නිදාගන්නේ. අපි ඒවා අයින් කරන්න හදනකොට අම්ම අපිට ගහන්නත් එනවා...

අම්මගේ හැසිරීම මේ විදියට වෙනස් වෙලා දැන් කොච්චර කල් ද ???  නොනැවතී ඉදිරියට යන කෝච්චියක් වාගේ වෙච්ච මෙයාගේ කතාව මදකට නතර කරන්න මං ඇහුව...

අවුරුදු දෙකක් ඇති...

ඒ අවුරුදු දෙකටම බෙහෙත් ගත්තේ නැද්ද???

නෑ මහත්තයෝ. අපි හිතුවේ කව්රු හරි ඉරිසියකාරයෙක් අපිට හුනියමක් කරලා ඇති කියල. රට වටේ තියන දේවාල හැම එකකටම වාගේ අපි අම්මව එක්කන් ගියා. පුළුවන් තරම් ගුරු කම් කළා, නුල් බැන්ද ඒත් ගුණයක් නෑ මහත්තයෝ.

අන්තිමට අපේ ගමේ කෙනෙක් මේ කිලිනික් එක ගැන කිව්වා. එහෙමයි මෙහෙ ආවේ...

මේ ලෙඩේ හොඳ කරගන්න පුළුවන් වෙයි නේද මහත්තයෝ???

මේ අම්මට ඉක්මනටම ලෙඩේ හොඳ කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් මං ලෙඩත් එක්ක අපේ විශේෂඥ වෛද්‍යතුමා ළඟට ගියා...

මේ ලෙඩා මං ළඟට ( විශේෂඥ මනෝ වෛද්‍ය - Consultant Psychiatrist ) මේ විදියට ලෙඩ උන අලුත එක්කන් ආව නම් හොඳ කරගන්න තිබුන. දැන් අවුරුදු දෙකක් ගිහිල්ලනේ. ලෙඩාට වයසත් වැඩියි (අවු;78). ඉතින් බෙහෙත් වලින් හොඳ වෙන්නත් පුළුවන් , හැබැයි ලොකු බලාපොරොත්තු නම් තියාගන්න එපා. අම්ම කරන විකාර වැඩ අඩු වෙන්න නම් බෙහෙතක් දෙන්නම්. පොඩි ළමයෙක් බලා කියගන්නවා වාගේ අම්මව බලාගන්න. 

දැන් දැන් සමාජයේ මානසික රෝගීන් ඉතා සුලභව හමුවේ. නමුත් තවමත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියෙහි ඇලී ගැලී සිටිනා බහුතරයක් දෙනා මෙවන් මානසික රෝගීන් වෛද්‍යවරයෙකු හමුවට රැගෙන යන්නේ ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වූ පසුවයි. එහෙත් එවිට ඔවුන් සුව කිරීම යනු බොහෝවිට හුදෙක් සිහිනයක් ම පමණයි.

මෙවන් රෝගීන් වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන්නේ Amnesia යනුවෙන්. මෙහි ආකාර කිහිපයක් දැකිය හැකියි. මෙම තත්ත්වය තාවකාලික ද විය හැකියි. මොළයේ සෛල වලට සිදුවන හානි නිසා amnesia තත්ත්වය ඇතිවේ.
                      වැටීම් ආදිය නිසා මොළයට සිදුවන හානි ( Physical Trauma),
                      මොළයට බලපාන විවිධ රෝගාබාධ (Brain diseases- Brain abscess etc)
                      පාළුව, කාන්සාව වැනි මානසික තත්ත්ව (Psychological Trauma)
                      ඇතැම් ඖෂධ හා මත්ද්‍රව්‍ය
                                             නිසාවෙන් කෙනෙක් හට අමතක වීම හෙවත් amnesia තත්ත්වය ඇතිවේ.

මෙවිට මොළයේ සෛල අකර්මන්‍ය වේ. ප්‍රතිකාර නොකළහොත් මෙම සෛල මියයාම සිදුවේ. නමුත් කල්තියා අදාල හේතුව සඳහා ප්‍රතිකාර කිරීමෙන් සෛල මියයාම නැවැත්විය හැකිය. එනම් මෙම තත්ත්වය පාලනය කිරීම හෝ සුව කිරීම සිදු කල හැකිය. නමුත් මොළයේ ස්නායු සෛල නැවත  වර්ධනය වීම සිදු නොවන බැවින් කල් ගතවත්ම රෝගය උත්සන්න වේ. එවිට රෝගියා සුව කිරීම සිදු කල නොහැකියි.

එබැවින් ඔබ දන්නා කෙනෙකුට හදිසියේ සෑම දෙයක්ම අමතක වීමේ තත්ත්වයක් ඇත්නම් සහ එය වැඩිවන බව ඔබ දකී නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරුය. 

එසේම මානසික රෝගියෙක් බලි තොවිල් කිරීම සඳහා කපු මහතෙකු වෙත රැගෙන යනු වෙනුවට මානසික වෛද්‍යවරයෙකු වෙත කැටුව යාමට ද අමතක කරන්න එපා...

මෙවන් රෝගීන් බොහොමයක් මහා මඟ අතරමන් කර දමා ගොස් සිටිනු ඔබ දැක ඇති. එසේ වී ඇත්තේ ඔවුන්ගේ සමීපතමයන් රෝගියා සුව කිරීම සඳහා නිසි ප්‍රයත්න නිසි කල්හි නොදරා ඇති නිසාය.