Saturday, January 17, 2015

අද 1984 අවුරුද්දෙ අහවල් දවස... නේද???

සතියක් ගෙවී ගිහින් ඇරඹෙන තවත් අලුත් සතියක නැවුම් ආලෝකය ගෙයි දොරකඩටම ඇවිත්. අලුත් සතියේ අලුත් රෝගියෙකුගේ විස්තරයක් ඔබට කියන්න තමයි මගේ මේ සුදානම...

මේ මව සහ ඇගේ පුත්‍රයා මට මුණගැසෙන්නේ අපේ ශික්ෂණ රෝහලේ මානසික රෝග සායනයේදී. මං අද කියන්න යන්නේ නාවර පෙරාගත් මුරණ්ඩු කුඩා ගැටයෙක් අතින් අල්ලාගෙන ආපු අසරණ අම්මා කෙනෙක් ගැන කියල ඔබ හිතුව නම් ඔබට වැරදුණා...  

වයස අවු : 78 ක අම්ම කෙනෙක් එක්කන් ආපු අවු : 50 ක විතර රියදුරු මහත්තයෙක් ගැන තමයි අද කතාව...

අපේ අම්ම අවුරුදු දෙකකට කලින් වෙනකම් ගෙදර වැඩ පල කරගෙන හොඳින් හිටිය. ඊට පස්සේ තමයි මහත්තයෝ අපේ අම්මට මේ කාලකන්ණි ලෙඩේ හැදුනේ. 

දැන් අම්මට ළඟදී වෙච්ච කිසි දෙයක් මතක නෑ. දවල්ට හොඳට බඩ පිරෙන්න කාපු අම්ම පැය භාගෙකට විතර පස්සේ කෑවේ නෑ කියල කුස්සිය පෙරලගෙන කෑම හොයනවා. මං එයාගේ පුතා කියන්නවත් එයාට මතක නෑ. හැබැයි අවුරුදු 20 කට 30 කට කලින් වෙච්ච දේවල් නම් අම්මට හොඳට මතකයි. අම්ම එයාගේ ගමේ ඉස්කෝලෙට ගියපු හැටි එහෙම නිතරම වගේ කියනවා.  
ඒ හැම එකක්ම ඉවසන්න පුළුවන් මහත්තයෝ ඒත් අපේ අම්ම ගේ වටෙයි අහල පහලයි හැමතැනම ඇවිදින්න ගිහින්, තියන කුණු සේරම ගෙනත් ඇඳේ තියගන්නවනේ. ඒවා මැදි කරන් තමයි අම්ම නිදාගන්නේ. අපි ඒවා අයින් කරන්න හදනකොට අම්ම අපිට ගහන්නත් එනවා...

අම්මගේ හැසිරීම මේ විදියට වෙනස් වෙලා දැන් කොච්චර කල් ද ???  නොනැවතී ඉදිරියට යන කෝච්චියක් වාගේ වෙච්ච මෙයාගේ කතාව මදකට නතර කරන්න මං ඇහුව...

අවුරුදු දෙකක් ඇති...

ඒ අවුරුදු දෙකටම බෙහෙත් ගත්තේ නැද්ද???

නෑ මහත්තයෝ. අපි හිතුවේ කව්රු හරි ඉරිසියකාරයෙක් අපිට හුනියමක් කරලා ඇති කියල. රට වටේ තියන දේවාල හැම එකකටම වාගේ අපි අම්මව එක්කන් ගියා. පුළුවන් තරම් ගුරු කම් කළා, නුල් බැන්ද ඒත් ගුණයක් නෑ මහත්තයෝ.

අන්තිමට අපේ ගමේ කෙනෙක් මේ කිලිනික් එක ගැන කිව්වා. එහෙමයි මෙහෙ ආවේ...

මේ ලෙඩේ හොඳ කරගන්න පුළුවන් වෙයි නේද මහත්තයෝ???

මේ අම්මට ඉක්මනටම ලෙඩේ හොඳ කරගන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් මං ලෙඩත් එක්ක අපේ විශේෂඥ වෛද්‍යතුමා ළඟට ගියා...

මේ ලෙඩා මං ළඟට ( විශේෂඥ මනෝ වෛද්‍ය - Consultant Psychiatrist ) මේ විදියට ලෙඩ උන අලුත එක්කන් ආව නම් හොඳ කරගන්න තිබුන. දැන් අවුරුදු දෙකක් ගිහිල්ලනේ. ලෙඩාට වයසත් වැඩියි (අවු;78). ඉතින් බෙහෙත් වලින් හොඳ වෙන්නත් පුළුවන් , හැබැයි ලොකු බලාපොරොත්තු නම් තියාගන්න එපා. අම්ම කරන විකාර වැඩ අඩු වෙන්න නම් බෙහෙතක් දෙන්නම්. පොඩි ළමයෙක් බලා කියගන්නවා වාගේ අම්මව බලාගන්න. 

දැන් දැන් සමාජයේ මානසික රෝගීන් ඉතා සුලභව හමුවේ. නමුත් තවමත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියෙහි ඇලී ගැලී සිටිනා බහුතරයක් දෙනා මෙවන් මානසික රෝගීන් වෛද්‍යවරයෙකු හමුවට රැගෙන යන්නේ ඔවුන්ගේ රෝගී තත්ත්වය උත්සන්න වූ පසුවයි. එහෙත් එවිට ඔවුන් සුව කිරීම යනු බොහෝවිට හුදෙක් සිහිනයක් ම පමණයි.

මෙවන් රෝගීන් වෛද්‍ය විද්‍යාවේදී හැඳින්වෙන්නේ Amnesia යනුවෙන්. මෙහි ආකාර කිහිපයක් දැකිය හැකියි. මෙම තත්ත්වය තාවකාලික ද විය හැකියි. මොළයේ සෛල වලට සිදුවන හානි නිසා amnesia තත්ත්වය ඇතිවේ.
                      වැටීම් ආදිය නිසා මොළයට සිදුවන හානි ( Physical Trauma),
                      මොළයට බලපාන විවිධ රෝගාබාධ (Brain diseases- Brain abscess etc)
                      පාළුව, කාන්සාව වැනි මානසික තත්ත්ව (Psychological Trauma)
                      ඇතැම් ඖෂධ හා මත්ද්‍රව්‍ය
                                             නිසාවෙන් කෙනෙක් හට අමතක වීම හෙවත් amnesia තත්ත්වය ඇතිවේ.

මෙවිට මොළයේ සෛල අකර්මන්‍ය වේ. ප්‍රතිකාර නොකළහොත් මෙම සෛල මියයාම සිදුවේ. නමුත් කල්තියා අදාල හේතුව සඳහා ප්‍රතිකාර කිරීමෙන් සෛල මියයාම නැවැත්විය හැකිය. එනම් මෙම තත්ත්වය පාලනය කිරීම හෝ සුව කිරීම සිදු කල හැකිය. නමුත් මොළයේ ස්නායු සෛල නැවත  වර්ධනය වීම සිදු නොවන බැවින් කල් ගතවත්ම රෝගය උත්සන්න වේ. එවිට රෝගියා සුව කිරීම සිදු කල නොහැකියි.

එබැවින් ඔබ දන්නා කෙනෙකුට හදිසියේ සෑම දෙයක්ම අමතක වීමේ තත්ත්වයක් ඇත්නම් සහ එය වැඩිවන බව ඔබ දකී නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරුය. 

එසේම මානසික රෝගියෙක් බලි තොවිල් කිරීම සඳහා කපු මහතෙකු වෙත රැගෙන යනු වෙනුවට මානසික වෛද්‍යවරයෙකු වෙත කැටුව යාමට ද අමතක කරන්න එපා...

මෙවන් රෝගීන් බොහොමයක් මහා මඟ අතරමන් කර දමා ගොස් සිටිනු ඔබ දැක ඇති. එසේ වී ඇත්තේ ඔවුන්ගේ සමීපතමයන් රෝගියා සුව කිරීම සඳහා නිසි ප්‍රයත්න නිසි කල්හි නොදරා ඇති නිසාය.  



5 comments:

  1. එසේම මානසික රෝගියෙක් බලි තොවිල් කිරීම සඳහා කපු මහතෙකු වෙත රැගෙන යනු වෙනුවට මානසික වෛද්‍යවරයෙකු වෙත කැටුව යාමට ද අමතක කරන්න එපා...//

    ඕක නං කොච්චර කිව්වත් මේ රටේ මිනිස්සු වැඩි හරියක් තේරුම් ගන්න දෙයක් නෙවෙයි.. අන්තිමට කිව්ව මිනිහ තමයි ලොකුම වැරදි කාරය....

    ReplyDelete
  2. වටිනා ලිපියක් ඩොකා.................

    දිගට ම ලියන්න. මේ දැනුම බ්ලොග් සහෘදයන්ට ඉතා වැදගත්... අපේ සින්ඩි වලටත් අැවිත් අැතුළු වෙන්න..........

    ReplyDelete
  3. අදයි ආවේ
    ජ ය වේ වා !!

    ReplyDelete
  4. ගොඩවෙදකම් වල අවුල ඕක තමා...

    ReplyDelete