Saturday, August 12, 2017

හදිසි උපත් පාලන ක්‍රම

මේ සටහන ලියන මා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු බව මුලින් ම කියන්න ඕනි.

මොකට ද මේ හදිසි උපත් පාලන ක්‍රම ?

* අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදුන විටෙක දී
* ලිංගික අතවරයක දී
* දැනට භාවිත කරන උපත් පාලන ක්‍රමය දින කිහිපයක් මගහැරී ගිය විටෙක දී
* කොන්ඩම සිදුරු වී යන අවස්ථා වල දී
                   දරු ගැබක් ඇති වීම වැළක්වීම සඳහා හදිසි උපත් පාලන ක්‍රම භාවිත කිරීම කළ යුතුය.

හදිසි උපත් පාලනය, ගබ්සා කිරීමක් කියා දුර්මතයක් සමාජයේ මුල් බැසගෙන තිබුනත් එය සත්‍යතාවයෙන් තොර මතයකි.  ඩිම්බය හා ශුක්‍රානු එකතු වී කළලයක් සැදීම වැළක්වීම පමණක් මෙම හදිසි උපත් පාලන ක්‍රම තුලින් සිදු වෙයි.

තවද හදිසි උපත් පාලන ක්‍රම මගින් ලිංගික ව බෝවන රෝග සඳහා ආරක්ෂාවක් ද නොලැබේ. (ඒ සඳහා කොන්ඩම භාවිත කරන්න.)

 1. Postinor පෙත්ත

මෙය Morning After Pill ලෙස ද හඳුන්වයි. මෙය පෙති දෙකකින් යුතු පැකට්ටුවක් ලෙස වෙළඳ පොලෙන් මිලදී ගත හැකිය. මින් පළමු පෙත්ත අනාරක්ෂිත ලිංගික හැසිරීමෙන් පැය 72ක් ඇතුළත ලබාගත යුතුය. දෙවැන්න ඉන් පැය 12කට පසුව ලබාගත යුතුය.
කෙසේ වෙතත් පළමු පෙත්ත දින පහක් ඇතුළත ලබාගත හැකි අතර කාලය ගත වන්නට මෙහි සාර්ථකත්වය අඩු වී යයි. පළමු පැය 72 තුළ දී ලබාගත හොත් සාර්ථකත්වය 95% පමණ වේ.  එක් පෙත්තක් පමණක් ඇති ඇසිරුමක් ද වෙළඳ පොලේ ඇති අතර එම පෙත්ත ලබා ගන්නේ නම් අනාරක්ෂිත ලිංගික ක්‍රියාවෙන් අනතුරු ව පැය 72ක් තුළ දී ලබා ගත යුතුය.

Levonogestrel නම් හෝමෝනමය ඖෂධය මෙම පෙති වල අධික මාත්‍රාවකින් අඩංගු වන නිසා ඔක්කාරය වමනය වැනි අතුරු ආබාධ සුලභව ඇති විය හැකිය. පැය දෙකක් ඇතුළත වමනය වුවහොත් තවත් පෙත්තක් ලබාගත යුතුය.

මීට අමතරව හිසරදය, පියයුරු වල වේදනාව වැනි සංකුලතා ද ඇතිවිය හැකිය. තවද මෙම පෙති ඔසප් චක්‍රය අක්‍රමවත් කිරීමට ද හේතුවන අතර සති දෙකක් පමණ පසුවී වුව ද ඊළඟ මාස් ශුද්ධ වීම ඇතිවිය හැකිය.

වැදගත් : postinor පෙත්ත හදිසි ගැබ් ගැනීම් වළක්වාගැනීමේ පෙත්තක් පමණක් ම වන අතර අධික හෝමෝන මට්ටමක් අඩංගු නිසා නිතර භාවිතය ඉතා අහිතකර ය. අනාරක්ෂිත ලිංගික හැසිරීමෙන් දින 5ක් ඉක්ම ගිය පසු මෙම පෙති භාවිතය ප්‍රතිඵල රහිත ය.
මෙම පෙති ලබාගැනීමෙන් අනතුරුව සිදු කරනු ලබන ලිංගික ක්‍රියා සඳහා ආරක්ෂාකාරී නොවේ. තවද ගබ්සා කිරීම සඳහා මෙම පෙති භාවිතය ඵල රහිතයි.

පෙති දෙක ඇසිරුමක් රු. 100ක් පමණ මිලකට ඕනෑම ෆාමසියකින් මිලදී ගත හැකිය.


2. මිතුරි පෙත්ත අධික මාත්‍රාවකින් ලබා ගැනීම.

සාමාන්‍ය උපත් පාලන පෙත්තක් වන මිතුරි පෙති ද හදිසි උපත් පාලනය සඳහා යොදා ගත හැකිය. මෙහිදී අනාරක්ෂිත ලිංගික හැසිරුමෙන් පැය 72කට පෙර මිතුරි පෙති 4ක් පානය කල යුතුය. ඉන් පැය 12කට පසු තවත් පෙති 4ක් පානය කල යුතුය.  සංකුලතා පෙර පරිදි ම ය.

3. ලුප් භාවිතය

ලුපය යනු සාමාන්‍ය උපත් පාලනය සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු විසින් ගර්භාෂයට ඇතුල් කරනා කුඩා උපකරණයක් බව ඔබ අසා ඇති.

නමුත් අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් දින පහක් ඇතුළත ලුපයක් ඇතුල් කිරීමෙන් ද හදිසි ගැබ් ගැනීම් වළක්වා ගත හැකි බව සමහර විට ඔබ නොදන්නවා වන්නට පුළුවන්.

මෙය ඉතා සාර්ථක ක්‍රමවේදයක් වන අතර 99% පමණ ගැබ් ගැනීම් වළක්වාගත හැකිය.

තවද ලුපය වසර 10ක් යන තුරා ගර්භාෂය තුළ තැන්පත් කර තැබිය හැකි අතර එම කාලය පුරාවටම පිළිසිඳ ගැනීම් වැළක්වීමට සමත්.

මේ හැර තවත් හදිසි උපත් පාලන ක්‍රම ලොව පුරා ඇතත් ශ්‍රී ලංකාවේ සුලභව භාවිත වන්නේ මේවා ය.

හරි. පාඩම ඉවරයි. ඔබට ප්‍රශ්න ඇති. අහන්න...






9 comments:

  1. දොස්තර මහත්තයෝ ඔයා හිත්න්නෙ අපේ හිතෙන්ද ඈ?

    සරළයි !! ගැඹුරුයි !!! ප්‍රථිඵල සහිතයි!!!!

    වටිනා ලිපියක්!

    ReplyDelete
  2. ලූප් එකෙන් පිළිසිද ගැනීම වැළක්විය හැක්කේ කෙසේද?

    ReplyDelete
    Replies
    1. එහි ලෝහ කොටස් ශුක්‍රාණු විනාශ කරයි.

      Delete
  3. දොස්තර මහත්තයාට ජය......

    ReplyDelete
  4. දොස්තර මහත්තයා මගේ පෙම්වතිය සමග සතියක් වැනි කාලයක් එක දිගටම සිටීමේදී කොහොමද උපත් පාලනය සිදු කරන්නේ?

    ReplyDelete
  5. අපට අවශ්ය කාලයකදි ලුපය ඉවත් කිරිමට පුලුවන්ද

    ReplyDelete
  6. Doctor.. mn loop ek dala den masa 8i. Eth den dawas dehekta kalin e loop eke nulak wage awith tynwa. Eliytma awith ne. Eka awadanmda. Kalayuthu deyk thibeda. Mn inne dubai

    ReplyDelete