Saturday, October 7, 2017

හදවත් බද්ධය ඔව් එකම එක පාරක් සාර්ථකව කරපු දෙවැනි පාර කරන්ඩ ගිහින් දොස්තර මහතුන්ගේ කඹ ඇදිල්ලෙන් නතර කරන්ඩ සිදු වෙච්චි හදවත් බද්ධ ගැන අද අපි කතා කරමු.

සාර්ථක හදවත් බද්ධයක් ලෝකයේ පළමු වරට සිදුවෙන්නේ 1967 වසරේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර දී ය. ඉන් අනතුරුව විවිධ සන්දිස්ඨාන රැසක් පසුකරමින් අද වන විට ලොව පුරා වසරකට හදවත් බද්ධ 5000ක් පමණ සිදුවනවා. 


හදවතක් බද්ධ කල රෝගියෙකුගේ වසරක ආයු අපේක්ෂාව 88.0% කි.

එය වසර 5කට 73.2% ක් ...
සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් වසර 10කත වඩා ජිවත් වීමට වාසනාව ලබනවා.

සාමාන්‍යයෙන් හදවත් බද්ධයක් සිදු කෙරෙන්නේ අතිශය දුර්වල හදවතක් සහිත ඖෂධ ප්‍රතිකාර වලින් සුවයක් නොලබන වසරක් ඇතුළත හදවතක් බද්ධ නොකළහොත් ස්ථිරව ම මිය යන රෝගීන් හට ය.

මේ හැර,

1. හෘද පේශි දුර්වල වීම් (Dilated cardiomyopathy, Ischemic cardiomyopathy )
2. උපතින් එන, වෙනත් කිසිදු ආකාරයක ප්‍රතිකාරයක් නොමැති හදවත් ආබාධ                        සහිත ලෙඩුන්
3.හදවතේ රුධිරය පොම්ප කිරීමේ හැකියාව 20% ට වඩා අඩු ලෙඩුන් (Ejection fraction of          less than 20%) 
4. හේතුවක් සොයාගත නොහැකි හදවතේ කැක්කුම් සහ ප්‍රතිකාර කලත් සුව නොවන            හදවතේ ගැස්මේ අසාමාන්‍යතා

හදවත් බද්ධයකට යන රෝගියෙකුගේ
 1. සංකීර්ණ අක්මා, වකුගඩු සහ පෙනහළු ආබාධ නැති විය යුතුය
 2. පැතිර ගිය පිළිකා තත්ත්ව නොතිබිය යුතුය
 3. වෙනත් මරණාසන්න රෝගී තත්ත්ව නොතිබිය යුතුය
 4. පෙනහළු තුළ රුධිර පීඩනය wood units 2ට වඩා අඩු විය යුතුය
 5. දිගටම වෛද්‍ය සේවා ලබාගැනීමට පැමිණිය හැකි විය යුතුය

දෙවැනි හදවත් බද්ධ රෝගියා මෙන්න මේ කියන පෙනහළු තුළ අධික රුධිර පීඩනයෙන් පිඩා විඳි රෝගියෙක්. ඇයගේ හදවත් බද්ධය පළමු වරට නතර වුනේ සැත්කමෙන් පසු ඇගේ පෙනහළු වල රුධිර පීඩනය මැන බැලීමට අවශ්‍ය උපකරණය නැති වීම හේතුවෙන්.


බුකියේ ගොඩ දෙනෙක්ට තේරිලා තිබ්බේ නැහැ මේ කියන කාරණයේ වැදගත්කම.


මං සරල උදාහරණයක් කියන්නම්. 


ඔබේ නිවසේ වතුර මෝටරයක් ඇතැයි සිතන්න. මේ මොටරයට සම්බන්ධ පයිප්පයක අවහිරයක් ඇතැයි සිතන්න. දිගින් දිගටම මේ අවහිරයට එරෙහිව වතුර පොම්ප කළහොත් සිදුවන්නේ කුමක් ද?? ඇතිවන අධික පීඩනය දරාගැනීමට නොහැකිව වතුර මෝටරය ක්‍රියා විරහිත වේවි.


දැන් ඔබට ක්‍රියා විරහිත වූ මෝටරය වෙනුවට අළුත් ම වතුර මෝටරයක් දැමීමට සිදු වී ඇතැයි සිතන්න. ඔබ අර පයිප්පයේ අවහිරය යථා තත්වයට පත් නොකළහොත් සිදුවන්නේ කුමක් ද? අලුතින් දැමු වතුර මෝටරය ද ටික දිනකින් ම ක්‍රියා විරහිත වේවි.


හදවතේ තත්වය ද මෙසේමයි. ඉන් පොම්ප කරනා රුධිරයෙන් කොටසක් පෙනහළු හරහා ගමන් කරයි. නමුත් පෙනහළු වල පීඩනය වැඩි නම්... 


කලින් මෝටර් උදාහරණෙන් පැහැදිලි කළා වගේ පෙනහළු පීඩනය wood units 2ට වඩා වැඩිනම් හදවත් බද්ධයක් සිදු කරන එක තේරුමක් නැහැ. අළුත් හදවතත් ක්‍රියා විරහිත වෙලා යනවා.. 

හැබැයි පෙනහළු පීඩනය wood units 2ට වඩා අඩු නම් ගැටළුවක් නැහැ. හදවත බද්ධ කිරීම කල හැකියි. නමුත් හදවත් බද්ධයෙන් පසු මෙන්න මේ කියන පීඩනය එහෙ මෙහෙ වීම් නිතරම සිදුවන නිසා එම පීඩනය නිවැරදිව මැන, අඩු වැඩිවීම් වලදී එය නිවැරදි ව හැකි ඉක්මනින් යථා තත්වයට පත් කිරීම සිදුකළ යුතුය. මෙන්න මේ කටයුත්ත කරන්න අවශ්‍යකරන උපකරණය තමයි pulmonary pressure meter එක. ඒක නැතිව තමයි ගියපාර හදවත් බද්ධය කරන්නේ නැතිව ඉන්න තීරණය කලේ. 
ඔයාලට තේරෙනවා ඇති දැන් හොඳටම ඒ උපකරණෙ නැතිව හදවත බද්ධ කරලා හදිසියෙවත් pressure එක ඕනි වට වඩා වැඩි උනොත් ඒ බද්ධ කරපු හදවත නරක්වෙලා යනවා කියන කාරණය.
  හදවත බද්ධ කරන්නේ ශල්‍යවෛද්‍යවරයා වූණාට operation එකෙන් පස්සේ ලෙඩාව බලාගන්නේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා. ඉතින් මෙන්න මේ කියන පෙනහළු වල pressure එක මනින්නේ වගේ ම ඒකෙ අඩු වැඩි වීම් නිවැරදි කරන්නෙත් මේ කියන  නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා. 

හදවත් බද්ධෙන් පස්සේ ලෙඩා බලාගන්න බැරිනම් හදවත් බද්ධේ කරලා තේරුමක් නැහැ කියන කාරණේ දැන් නම් ඔයාලට තේරෙන්න ඕනි කියල මට හිතෙනවා... ඉතින් මෙන්න මේ හේතුව හන්ද තමයි නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගති මැඩම් කිව්වේ operation එක කරන්න එපාය කියල.


ඔන්න ඕකයි කඹ ඇදිල්ලේ ඇත්ත කතාව. ඔයාලට ඒක තේරුණා නම් තව කෙනෙක්ට දැනගන්න ඒ වගේම තව කෙනෙක්ගේ දුර්මතය නැති කරන්න post එක share කරගෙනම යන්න හොදේ...


හදවත් බද්ධයකට යන රෝගියෙකු රුධිර පරීක්ෂණ බොහෝ ගණනකට මුහුණ දිය යුතුය. 

1. EBV, HIV, CMV ආදී වෛරස අසාදන තිබේදැයි බැලීමට
2. දිලිර අසාදන තිබේදැයි බැලීමට කරන පරීක්ෂණ 
3. පිළිකාමය තත්ත්ව තිබේදැයි බැලීමට සිදුකරන පරීක්ෂණ
4. ලේ කැටිගසිම පිළිබඳ පරීක්ෂණ
5. අක්මා වකුගඩු රෝග තිබේදැයි බැලීමට කරන පරීක්ෂණ 
6. ප්‍රතිශක්තිය පිළිබඳ සිදු කරන පරීක්ෂණ 

කිරණ පරීක්ෂණ

1. ඇනජීයෝග්‍රෑම් පරීක්ෂණ
2. echo පරීක්ෂණ 
3. x ray පරීක්ෂණ 
4. මැමොග්‍රෑම් පරීක්ෂණ

මිට අමතරව ඇතැමෙක්ට බයොප්සි පරීක්ෂණ ද සිදු කෙරෙයි. 


අතිශය සරලව කිවහොත් හදවත බද්ධ කිරීමේ දී ග්‍රාහකයාගේ නරක වූ  හදවතේ ප්‍රධාන රුධිර නාලිකා සහ කර්ණිකා දෙක ඉතිරි කොට හෘද කෝෂිකා කපා ඉවත් කරනු ලබයි. පසුව බද්ධ කරනු ලබන හදවත, ග්‍රාහකයාගේ හදවතේ ඉහත සඳහන් කරනු ලැබූ ඉතිරි කල කොටස් වලට තබා මසනු ලබයි.


නව හදවත ග්‍රාහකයාගේ ශරීරයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකි බැවින් ඉන් අනතුරුව රෝගියාට ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන බෙහෙත් ලබා දෙයි.           ( immunosuppressants ) 


මීට අමතරව ආසාදන ඇතිවිය හැකි බැවින් රෝගියාට ප්‍රතිජීවක ඖෂධ ලබාදීම ද සිදු කෙරෙයි. 

දෙවන හදවත් බද්ධයේ රෝගියා මියගොස් තිබුනේ ආසාදානයක් නිසා ය. 

ආසාදන, එනම් විෂබීජ රෝගියාට යාමට ඇති අවස්ථා අවම කිරීමට බොහෝ පියවර ගණනක් අනුගමනය කෙරෙයි.

1. ශල්‍යකර්මයට ප්‍රථම රෝගියා ඖෂධ ඇඟ ගල්වා නෑවීම
2. විෂබීජ නොමැති තත්ත්ව යටතේ ශල්‍යකර්මය සිදුකිරීම ( ජීවාණු හරිත උපකරණ, ඇඳුම් ආයිත්තම් ආදිය භාවිතය)
3. ශල්‍යකර්මයෙන් පසු රෝගියා ආසාදන ඇතුළු නොවන පරිසරයක තැබීම (දැඩි සත්කාර ඒකකය ) 

ආසාදන අවම කරන්නට මේ සියලු පියවර අනුගමනය කලත් කොහේ හෝ සිට පැමිණි අන්වික්ෂිය විෂබීජයක් දෙවැනි හදවත් බද්ධ රෝගියාගේ ජීවිතය උදුරාගෙන ගොස් තිබිණි. 


දිනෙක ඔබත් එන්න පොඩ්ඩක් ICU එකක් ඒ වගේම ශල්‍යාගාරයක් පැත්තට... බලන්න කොච්චර අඩු පහසුකම් යටතේ ද කට්ටිය ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්නේ කියල. ගොඩක් ICU වල, ශල්‍යාගාර වල තියෙන්න ඕනි සරලම උපකරණ ටික වත් නැහැ. තිබුනත් හද්ද පරණයි. 

දේශපාලකයෝ කියාගන්න කට්ටිය එයාලගේ ලෙඩෙක් ඉන්නකොට වල නොකැඩි රෝහල් ඇතුලට ආවට කවුරුවත් මේ කියන අඩු පහසුකම් ටික හදල දෙන්න නම් උනන්දු වෙන්නේ නැහැ. 

කොටින් ම ගොඩක් රෝහල් වල සැත්කම් කරන්න වෛද්‍යවරු හිටියට ඔවුන්ට අවශ්‍යතරම් ශල්‍යාගාර නැහැ. සැත්කම කරලා ඉවරවෙලා ලෙඩා දාන්න ICU පහසුකම් නැහැ.


ඒ වගේ ම වෙන රටවල දියුණු පහසුකම් යටතේ සිදු කරන මෙවන් සංකීර්ණ සැත්කම් ඉතා අඩු පහසුකම් යටතේ සිදු කරන වෛද්‍යවරුන්ට කරුණු කාරණා හරි හරි දන්නේ නැතිව නිකරුණේ බනින්නට එපා. 


ඔබ මේ post එකෙන් යමක් ඉගෙන ගත්තා නම් කලින් හිතන් හිටපු දේ වැරදියි කියල දැනගත්තා නම් ඒ දේ තව කෙනෙක් ට දැනගන්නට post එක share කරන්න like කරන්න වගේම comment කරන්නත් අමතක කරන්න එපා...


මේ වගේ තව post එකක් දාපු ගමන් ම දැනගන්න "ඩොකාගේ ඩයරිය" page එකටත් like එකක් දාගෙන ම යන්න...








No comments:

Post a Comment