Saturday, January 10, 2015

අපිත් Losartan බොමු...

එදා වැහි දවසක්. සීතලේ ගුලිවෙලා නිදාගෙන හිටපු මම එළාම් එක වදිනකොටම ඇඳෙන් බිමට පැන්නේ පරක්කුවෙලා වාට්ටුවට ගිහින් අපේ විශේෂඥ ශල්‍ය වෛද්‍යතුමාගෙන් බැනුම් අහන්න බැරි හින්ද මිසක් ආසාවකට නම් නෙවෙයි.

ටිකක් වෙලගිහිල්ල හරි කොහොමින් කොහොම හරි මං එදා වාට්ටුවට ආව.

 එහෙම ආපු මම එදා දවසේ මට යොමුවෙලා හිටිය රෝගියා සොයා ඇඳක් ඇඳක් ගානේ ඇවිද්ද.

ඇය පැත්තකට වෙලා ඔහේ බලන් හිටපු යන්තම් හැට පැනපු මැදිවියේ කාන්තාවක්.

කොහොම හිටියත් විශේෂඥ වෛද්‍යතුමා වාට්ටුවට සැපත් වෙන්න කලින් රෝග විස්තරේ අහගන්න එපැයි. ඉතින් හෙමින් හෙමින් මෙයා ළඟට ගියපු මම වැඩේ පටන් ගත්ත.

එයා තරුණ වයසේ ළමයි දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්ලු. ඉතින් මේ වයසේ කෙනෙක් කඳුළු පුරෝගෙන ඉන්නේ ඇයි කියල මට පුදුමත් හිතුන.

මහත්තයා මගේ වකුගඩු දෙකම නරක වී ගෙන යනවලු.

සාමාන්‍යයෙන් මධ්‍යම පළාතේ වකුගඩු රෝගීන් කියන්නේ වැඩිය හමුනොවෙන කට්ටියක්. ඉතින් ඇගේ රෝගයට මුළ හොයාගෙන මං ආයෙත් ඇගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්ත.

වකුගඩු රෝගයට බලපාන කරුණු බොහොමයක් අතුරින් දියවැඩියාව සහ අධික රුධිර පීඩනය අතිශය සුලබ හේතු දෙකක්. ඇයට අධි රුධිර පිඩනයට කාලයක් තිස්සේ බෙහෙත් බොන කෙනෙක්ලු.

මොනවද බොන්නේ අහපුහම Losartan බොන බව ඈ මා හා පැවසුවා.

කතාව ඉස්සරහට කියන්න කලින් ඒ පෙත්ත ගැන කරුණු ටිකක් ඔබට කියන්නම්. Losartan මඟින් රුධිර වාහිනී සංකෝචනය වීම නවත්වා ඒවා ප්‍රසාරණය කොට තබයි. මෙමගින් රුධිර ගමනාගමනයට ඇති බාධාව අවම වන නිසා රුධිර පීඩනය අඩුවේ. මීට අමතරව හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීම සඳහා ද  Losartan සුලබව භාවිත වේ.

ඕනෑම ඖෂධයක අතුරුඵල ඇත. Losartan හි side effects ලෙස කලාතුරකින් කෙනෙක්ට වකුගඩු අකර්මන්‍ය වීමක් ඇතිවිය හැක. එබැවින් වෛද්‍යවරයෙකු Losartan නිර්දේශ කරන්නේ ඔබට වකුගඩු රෝග අවධානමක් නැතැයි සැක හැර දැනගෙනය. මීට අමතරව මාස කීපයකට වරක් රුධිරයේ ක්‍රියටිනින් අගය නිර්ණය කිරීම මඟින් (රුධිර පරීක්ෂාවක් හරහා) ඔබගේ වකුගඩු වල තත්වය පරික්ෂා කිරීමක් ද වෛද්‍යතුමා විසින් සිදු කරයි.

ඉතින් මගේ රෝගියාගෙන් වැඩිදුර විස්තර අහනකොට තමයි රෝග නිධානය ගැන විස්තර දැනගත්තේ.

අධික රුධිර පීඩනය කියල දැනගත්ත දවස් වල වෛදයතුමෙක් ඈට  Losartan නිර්දේශ කළාලු. බෙහෙත් ඉවර වුණාට පස්සේ වෛද්‍යතුමා ළඟට නොගිහින් ලේසියට ගමේ ෆාමසියෙන්  Losartan ආයෙත් ගත්තලු. ඈ මේ විදියට වසර කිහිපයක් වෛද්‍ය නිර්දේශයෙන් තොරව Losartan බීල.

අන්තිමට ඈ අවාසනාවන්ත ලෙස වකුගඩු රෝගියෙකු බවට පත්වුණා.

ඉංග්‍රීසි බෙහෙත් වල අපි හිතන්නෙවත් නැති, සමහර විට අහලවත් නැති අතුරුඵල බොහොමයක් තියෙනවා. ඉතින් ඔයාලත් කවමදාකවත් වෛද්‍ය නිර්දේශයෙන් තොරව ෆාමසියෙන් නම් බෙහෙත් ගන්න නම් එපා...

4 comments:

  1. covance 50 කියන බෙහෙතත් ඔය කියන අතුරුඵල සහිත එකක්ද?(ඊමේල් ලිපිනය නොමැති නිසා කමෙන්ටුවක් ලෙස පළ කරමි.මාගේ මව දීර්ඝ කාලයක් තිස්සේ මෙය භාවිතා කරන නිසා ඇසීමට සිදුවිය.සමාවන්න.)

    ReplyDelete
  2. covance යනු losartan හි වෙළඳ නාමයකි. losartan හි අතුරු ඵල සියල්ල covance හි ඇත. ඈ දිගු කලක් තිස්සේ එය භාවිත කරන්නේ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ නොවේනම් ඈ හට වකුගඩු රෝග අවධානමක් ඇතිදැයි දැනගැනීම වැදගත්. එසේම ඇගේ රෝග ලක්ෂණ අනුව covance මාත්‍රාව අඩු වැඩි කිරීම ද සිදු කල යුතුය. එබැවින් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න...

    ReplyDelete
  3. අැත්ත ෆාමසියෙන් බෙහෙත් ගන්න ඒක ගැන නම් අහලා තියෙනවා..... ඒක යුතු නැහැ තමයි.... මොකද මේක අපේ ශරීරය ගැන ගැටලුවක් වන නිසා....

    අදයි මේ බ්ලොගය පැත්තට අාවේ... ඉතා වටිනා වැදගත් බ්ලොගයක්... දිගට ම කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා... අපි දිගටම ඒන්නම්..........

    ReplyDelete
  4. පට්ට වටින ලිපියක්...

    ReplyDelete