Wednesday, August 30, 2017

ගෙදර හිටපු අයියාට අලුතෙන් ගෙනා මල්ලී කරපු කැත වැඩේ එළිවෙයි !

එදා මට night shift එකක් කරන්න තිබ්බ දවසක්. හොඳට ම වැස්ස. Patientsලා නැති වේවා කියල ප්‍රාර්ථනාවක් එහෙම කරල ඇඳට ගියා විතරයි, ඩොක්ටර් patient කෙනෙක් කියල වැඩ කරන අංකල් කාමරේට එබිල කිවුව.

දනි පනි ගාල සරම ගලෝල formal kit එකට මාරුවෙච්චි මං ඉක්මනට එළියට ආව.

අවුරුදු 7ක විතර පොඩි පැංචෙක්. ඇවිත් හිටියෙ එයාගෙ අම්මත් එක්ක.
කොල්ලට තිබ්බෙ ටිකක් විතර මුරන්ඩු පෙනුමක්.

ඩොක්ටර් මෙයා ඉවරයක් නැතිව වමනෙ දානවා. අද දවසට මුකුත් ම කෑවෙත් නෑ. දැන් වමනෙ දාන්න බඩේ මුකුත් ඇත්තෙත් නෑ. ඒත් ඔක්කාරෙ ගතියෙ අඩුවකුත් නෑ වගේ. සති දෙක්කට කලියෙන් ගෑස්ටික් හැදිල බේතුත් ගත්තා...

මොනවා... අවුරුදු හතේ පොඩි එකාට ගෑස්ටික්...

ඔව් ඩොක්ටර් මෙයාට කෑම කවා ගන්න හරිම අමාරුයි.

අම්ම හැමදාම පරිප්පුයි බතුයි දෙනව ඇති. එතකොට කොහෙද ආසාවෙන් කන්නෙ.

අනේ නෑ ඩොක්ටර්. අපි මෙයාගෙන් අහනවා බත් කන්න බැරිනම් මොනාද කන්න ඕනි කියල. මෙයාට ටිපිටිප් එකක් දුන්නත් කන්නෙ නෑ.

යකෝ. මොකාද ටිපිටිප් කන්න බෑ කියන පොඩි එකා...

මෙතන මොකක් හරි වෙන කතාවක් හැංගිලා තියනවා කියන එක මට ඉවෙන් වගේ තේරුණා...

අම්මේ ඔයාට තව ළමයි ඉන්නවා ද??
ඔව් ඩොක්ටර්. එයාට දැන් මාස 5 යි.
එයා හම්බ වුණාට පස්සෙ ද මේ කොල්ල කන්නෙ බොන්නෙ නැතුව ඉන්ඩ පටන් ගත්තෙ?
ඔව් ඩොක්ටර්. ඊට කලින් නම් මෙයා හොඳට හිටියා...

අම්ම එහෙම කියනකොට ම මට තේරුණා මොකද වෙලා තියන්නෙ කියල...
වෛද්‍ය විද්‍යාත්මක ව මේ තත්වය හඳුන්වන්නේ siblings rivalry ලෙසයි.

සරලව කීවොත් මේකයි.

ගෙදරක පොඩි එකෙක් ඉන්නවා. ගෙදරට එන හැමෝගෙම මාතෘකාව මෙයා. හැමෝම තෑගි එහෙම ගේන්නෙ මෙයාට. හැමෝගෙ ම ආදරය කරුණාව දිනාගන්න මෙයා තමයි හැමෝගෙ ම සුරතලා. ඔහොම ඉන්නකොට මේ ගෙදරට තව පොඩි එකෙක් ගේනවා. දැන් මොකද වෙන්නෙ. මෙච්චර දවස් හැමෝගෙම සුරතල් පැටිය වෙච්ච ලොකු පුතාගෙන් ඒ අවධානය පොඩි පුතාට ලැබෙනවා. ගෙදරට එන හැමෝම මල්ලි හුරතල් කරාට කවුරුත් අයිය ගැන වැඩිය බලන්නේ නැහැ. අම්මත් වැඩිපුර බලන්නෙ මල්ලි දිහා.
අයියට මේක රුස්සන්නේ නෑ. ටික ටික එයා මල්ලිට ඉරිසියා කරන්න පටන් ගන්නවා. එයා මල්ලිට නිතරම කරදර කරන්න පටන් ගන්නවා. ටිකක් වයසින් වැඩෙද්දී මල්ලිත් එක්ක හේතුවක් නැතුව ම ගහනවා බනිනවා රණ්ඩු වෙනවා. ඒත් එක්කම අර තමන්ගෙන් ගිලිහිච්ච අවධානය ආපහු ගන්න නොකා නොබී ඉන්න වගේ ගොඩක් වැඩ කරනවා.
කලාතුරකින් පොඩි එකෙක් ට මේ තත්වය හොඳට ම වැඩි වෙලා මානසික පීඩන තත්වයකට වුනත් යන්නට පුළුවන්.

මේ පොඩි එකාට වෙලා තිබ්බෙ මේක.

දන්නෙම නැතිව එයාට depression හැදිල. ඒ කිව්වෙ විශාදය.

ලොකු අයට depression හැදුනම පැත්තකට වෙලා ජීවිතේ එපා වෙලා වගෙ හිටියට පොඩි කෙනෙක් ට depression හැදුන ම පෙන්නන්නෙ තරමක වෙනස් රෝග ලක්ෂණ ටිකක්...

බොහෝ විට මොවුන් ආවේගශීලී වෙනවා. නිතරම කලහකාරී වෙන්න තමයි මෙයාල බලන්නේ. නුරුස්නා ගතියත් හොඳට ම තියනවා.

ටික කාලයක් ගියාට පස්සෙ තමයි කනස්සලු ගතිය, හැමදේ ම එපා වෙච්චි ගතිය, නොකා නොබී නින්ද නැතුව ඔහේ බලන් ඉන්න ගතිය වගේ depression වලට ආවේණික රෝග ලක්ෂණ පෙන්නන්නේ.

ඒවා ට අමතරව අත් කකුල් රිදිලි බඩේ කැක්කුම් වගේ රෝග ලක්ෂණත් එන්න පුළුවන්.
ඒ වගේ ලෙඩෙක් ගැන කලින් ලියපු කතාවක් ඇති. අලිබබා කියල. වෙලාවක් තිබුනොත් කියවල බලන්න.

ඉතින් මේ තත්වය ඇති නොවෙන්න නම් කරන්න තියන්නෙ එක එක ළමයට එක එක හැඳි වලින් බෙදන එක නතර කරන එක. විශේෂයෙන් ම ගෙදරට අලුත් සාමාජිකයෙක් එකතු වෙන වෙලාවක.

කොහොමත් ගෙදරට මල්ලි කෙනෙක් ගෙනාවොත් අයියට තියන සැළකිල්ල අඩුවෙනවා. ඒත් මේ දේ හන්ද අයියට දුක හිතෙන එක අවම වෙන විදියට අම්මලා වැඩකරන්න ඕනි.
මල්ලිගේ වැඩ වලට අයියගෙනුත් උදව් ගන්න ඕනි. මල්ලි ගැන පොඩි පොඩි වගකීම් අයියටත් දෙන්න ඕනි. (චූ දැම්මොත් කියන්න වගේ දේවල්)

ඒ වගේම තෑගි එහෙම ගේනකොට මල්ලිට විතරක් ම ගේන්නෙ නැතුව අයියටත් ගෙනත් දෙන්න ඕනි.

අයියට තිබ්බ ආදරය අඩුවෙලා නෑ කියන එක එයාට තේරෙන විදියට ඉන්න ඕනි.

අම්මේ, මෙයාට හැදිල තියන්නෙ මෙන්න මේ ලෙඩේ. මං වෙලා තියන්නේ මොකද්ද කියල පොඩි පැහැදිලි කිරීමක් කළා. මේකට බෙහෙත් දීල විතරක් මදි. මල්ලිට දෙන සැළකිල්ල අයියටත් දෙන්න ඕනි. එයා තනිවෙලා නෑ කියන එක එයාට තේරෙන විදියට ඔයාල එයාට සළකන්න ඕනි. එතකොට ඔය දඩබ්බර ගතිය ඇරිලා යාවි.

හැබයි මේ ලෙඩාට ඔය කියන දේ විතරක් ම කරල මදි. ඉතින් මං මෙයාලව විශේෂඥ ළමා මනෝවෛද්‍යතුමෙක් ළඟට යොමු කිරීමත් කළා.

ඔයාලත් සමහර විට පොඩි කාලෙ දි මේ තත්වෙ අත්දැකල ඇති. ඉතින් වැදගත් ම දේ තමයි ඒ දේ ඔයාලගෙ ළමයිනුත් මේ තත්වෙට පත් වෙන එක නවත්තගන්න එක.

ඒ වගේ ම මේ ළමය වගේ අස්වාභාවික විදියට මුරණ්ඩු ළමයි වගේ ම කලින් කියපු depression වල රෝග ලක්ෂණ තියෙන ළමයි සුදුසුකමලත් වෛද්‍යවරයෙක් හරහා විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් වෙතට රැගෙන යන එකත් වැදගත්.

ඒ වගේ ම ඔයාලත් අලුත උපන් පොඩි එකෙක් බලන්න ගෙදරක ට යනකොට ඒ ගෙදර තව ළමයෙක් ඉන්නවා නම් එයාටත් මොනාහරි දෙයක් අරන් යන්න අමතක කරන්නත් එපා හොඳේ...

8 comments:

  1. මටත් පොඩිකාලෙ මෙහෙම වෙලාද කොහෙද ....කනව කනව ඉවරයක් නෑ... තරහ ගියාමත් කනව දුක හිතුනමත් කනව නිකන් ඉන්න කොටත් කනව.... අනෙ මන්ද...

    ReplyDelete
  2. වටිනාම ලිපියක් පොත් ගුල්ලො

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. දිගටම කියවන්න

      Delete
  3. මාතෘකාව දැමීම නම් පත්තර හෙඩිම් වලට සමානයි.

    ReplyDelete
    Replies
    1. පබ්ලිසිටි බ්‍රෝ පබ්ලිසිටි...

      Delete