Friday, September 1, 2017

බෙහෙත් බීපං දෙයියො !

ඩොක්ටර් මගේ ප්‍රෙශර් බලල දෙන්නකෝ. මේ දවස් වල මං private practice කරන තැනට ආපු අවුරුදු 55ක විතර කාන්තාවක් බොහොම අහින්සක විදියට ඉල්ලා සිටියා.

මෙයාට තිබ්බෙ ටිකක් විතර posh ලුක් එකක්.

ඔයා ඇවිදගෙන නේද ආවෙ?
විනාඩි 15ක් විතර එක තැනකට වෙලා ඉඳගෙන හිටිය ද?
පැයක්විතර ඇතුලත තේ, කෝපි වගේ මොනවහරි බීව ද?
Pressure එක එක පාරම වැඩි වෙන්න හේතු වෙන දේවල් ගැන අහපු මං මෙයාගෙ pressure එක බලන්න සූදානම් වුණා.

160/80 ට pressure.

ඔයා මොනාද pressure එකට බොන්නෙ?
Losartan,nebivolol,ISMN,HCt,atovastatin...මෙයා පෙති 7ක් විතර බොනවයි කියල කීව.

පෙති 7ක් !

ඔව් ඔව්. 7යි.

මෙච්චර බෙහෙත් මොකට ද බොන්නෙ??

මං හාට් patient කෙනෙක් ඩොක්‍ටර්. මට දැන් අඩි 10ක් වත් ඇවිද ගන්න බෑ. හතිය එනවා. පපුවත් එක්ක රිදෙනවා එතකොට. මේ තියන්නෙ මගෙ reports. එහෙමක කියපු ඇය කොළ මිටියක් දික් කළා. 

මෙයාට tripple vessel disease. ඒ කිව්වෙ හදවතේ පේශි වලට ලේ අරගෙන යන ප්‍රධාන රුධිර නාළ තුනම අවහිර වෙලා. එකක් 90% යි. තව එකක් 75% යි.

මේ වගේ අවහිරයක් තියන ලෙඩුන්ට කොයි වෙලේ හාට් ඇටෑක් එකක් එයිද කියල sure නෑ. ඉතින් මෙයාට තියෙනඑකම විසඳුම බයිපාස් සැත්කමක ට යන එක. මං එයාට ඒ ගැන කිව්වා.

ඔයාට බෙහෙත් බීල හරියන්නේ නෑ අම්මා. බයිපාස් එකක් කරන්න ඕනි හොඳ වෙන්න නම්. දැන් ම ගිහින් register වුණෝතින් ලබන අවුරුද්දෙ අන්තිම ට වගේ ඔපරේසම කරගන්න පුළුවන්. (ආණ්ඩුවෙ ඉස්පිරිතාල වල බයිපාස් ඔපරේෂන් ලිස්ට් එකේ අවුරුදු දෙකක් විතර ඉන්න වෙනවා. ගොඩක් වෙලාවට ඔපරේෂන් එකට එන්න කියල ලෙඩාට call කරනකොට ලෙඩා මැරිල ! )

මං ඔපරේෂන් එකට හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටිය ඩොක්ටර්. ඔපරේෂන් කරපු ලෙඩ්ඩු විඳින දුක දැකල මට එපා වුණා. සමහර අයට කැක්කුම ඉසවන්න බැරි තරම ට ම... සමහර අයගෙ තුවාලෙ පැසවලා, හැමෝම ටොයිලට් එකට යන්නෙත් තව කාගෙහරි උදව්වෙන්. මට එහෙම උදව් කරන්න කවුරුවත් ඇත්තෙත් නෑ. ඉතින් මන් බලෙන් ටිකට් කපන් ගෙදර ආව.

මගෙ මහත්තයත් නෑ. ළමයි හිටියට එයාල මට සළකන්නෙ නෑ. ලෙඩ්ඩු බලාගන්න කෙනෙක්ට දවසකට 2000ක් වත් ගෙවන්න ඕනි. එච්චර සල්ලියක් මට නෑ ඩොක්ටර්... මට මෙහෙම ඉන්න බෑ ඩොක්ටර්. මැරෙන්න වත් තිබුන නම්. ඇය හඬා වැටෙයි.

අම්මට සළකන්නේ නැති ළමයින් ට හෙණ හත ම ගහන්න කියල ඔබ සමහර විට දැන් ප්‍රාර්ථනා කරනවා ඇති.

ඒත්...

අපි ඒ කතාව එතැනින් නවත්තමු. සමහර විට මේ ඔබේ කතාව ද වෙන්න පුළුවන්. දැන් තරුණ වයසේ ඉන්න ඔබ වයසට ගියාම මුහුණ දෙන්න ඉන්න ඉරණම වෙන්න ද පුළුවන්.

ඉතින් ඒ කාලෙ වෙන්කොට මේ අම්ම වගේ හැමෝට ම දෙහි කප කප හූල්ල හූල්ල ඉන්න වෙන එක නවත්තගන්න එක ඔබේ වගකීම.

රුධිර නාළ වල තෙල් තැන්පත් වී ඒවා අවහිර වීම නිසා තමයි මේ තත්වය මූලිකව ම ඇති වන්නේ.

මේ රුධිර නාළ අවහිර වීම සිරුර පුරා ඇති වන අතර ස්ථානය අනුව රෝග ලක්ෂණ වෙනස් වනවා.

හදවතේ පේශි වෙතට රුධිරයගෙන යන නාළ අවහිර වීම නිසා අයෙකුට සුළු වශයෙන් වත් මහන්සි වීමේ දී අධික හතිය තත්වයක් ඇති වනවා. එසේම හදිසි හාට් ඇටෑක් තත්ව ඇතිවන්නේ එසේ තැන්පත් වී ඇති තෙල් තට්ටුවක් හදිසියේ ගැලවී ගොස් රුධිර නාළයක් සම්පූර්ණයෙන් ම අවහිර කරන නිසාවෙන් ය.

මොළයේ රුධිර නාළ අවහිර වූ විට ස්නායු දුබලතා, අංශභාග තත්ත්ව ඇතිවේ.

තෙල් තැන්පත් වීම නිසා වකුගඩු වල රුධිර සැපයුම අඩාල වීම අධික රුධිර පීඩනය ඇතිවීමට හේතු වෙයි.

පාද වලට ඇති රුධිර සැපයුම අඩාල වීම ඇවිදීමේ දී පාදයේ මස් පිඩු වේදනාව මෙන්ම කාලයක් තිස්සේ සුව නොවන තුවාල ඇතිවීමට හේතු වෙයි.

දැන් අපි බලමු මෙසේ තෙල් තැන්පත්වීම අවම කරගැනීමට ඔබට සිදුකරගත හැකි දෑ...

තෙල් සහිත ආහාර,සීනි සහිත ආහාර පාන පමණට වඩා ගැනීමෙන් වැළකී සිටින්න.
දුම් පානය සම්පූර්ණයෙන් ම නවත්වා දමන්න.
සතියකට මත්පැන් ඒකක 14කට වඩා ගන්න එපා.
දින දෙකකට වතාවක් වත් අවම පැය භාගයක ව්‍යායාම කරන්න.

ඒ වගේ ම ඔබ අවුරුදු 30ට වඩා වැඩිනම් වසරකට වතාවක් වත් ඔබේ රුධිරයේ කොලෙස්ටරෝල් සහ සීනි අගයන් පරීක්ෂාකොට වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

විශේෂයෙන් ම ඔබගේ පවුලේ ළඟම ඥාතියෙකුට අඩු වයසින් හාට් ඇටෑක් සෑදී ඇත්නම්, අංශභාග තත්ත්ව ඇතිවී ඇත්නම් ඔබ ඉහත සඳහන් දෑ වඩාත් උණන්දුවෙන් සිදු කළ යුතුය.

එසේම ඔබට දැනටමත් කොලෙස්ටරෝල්, දියවැඩියාව වගේම අධික රුධිර පීඩනය වැළදී ඇත්නම් අදාල රුධිර පරීක්ෂණ වෛද්‍ය උපදෙස් අනුව නියමිත කාල වලදී සිදු කර ගැනීමත් අදාල ඖෂධ නියමිත මාත්‍රාවෙන් නොකඩවා ගැනීම ද සිදු කළ යුතුය.

සාමාන්‍යයෙන් දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ අධිකරුධිර පීඩන තත්ත්ව ඇති අයට ඒවායේ රෝග ලක්ෂණ ඇතිවන්නේ බොහෝ කල් ගතවීමෙන් අනතුරුවයි.

ඉතින් ගොඩ දෙනෙක් සිදුකරන දෙයක් තමයි රුධිර පරීක්ෂණ වාර්තා නරක වුවත් ඇඟට කිසි අමාරුවක් නැති නිසා හිතු මතයේ ඖෂධ ගැනීම නතරකිරීම. මේ කාන්තාවත් එසේ සිදුකොට තිබුණා. ඇයට කොලෙස්ටෙරෝල් සෑදුණේ වයස අවුරුදු 40දී ලු. ඇඟට අමාරුවක් මුකුත් නැති හන්ද බෙහෙත් බීවෙ ම නැතිලු.

අවසානයේ දී ඇගේ කොලෙස්ටරෝල් අගයන් උපරිමයට ම වැඩිවී භයානක සන්කූලතා ඇතිවන තුරු ඇය කිසිදු රෝග ලක්ෂණයක් අත්දකින්නේ නැහැ.

ඉඳින් ඔබගේත් රුධිර පරීක්ෂණ වාර්තා අසාමාන්‍යනම් කිසිදු රෝග ලක්ෂණයක් නැතත් වෛද්‍ය උපදේශයෙන් තොරව බෙහෙත් නැවැත්වීම කිසිසේත් සිදු නොකළ යුතුය. මොකද මන් අර කලින් කියපු ගොඩක් සංකූලතාඑන්නෙ එක පාරටම හන්ද.

ඉතින් අද මේ ලෙඩා මට කියපු කතාව කතාව අනාගතයේ දවසක ඔබගේ කතාව නොවන්නට දැන් සිට ම වග බලා ගන්න.

No comments:

Post a Comment