Thursday, May 7, 2015

බෙහෙත් කෝ...

බොහෝ මිනිසුන් රෝහල් වෙත පැමිණෙන්නේ තම රෝගී තත්වය අතිශය උත්සන්න වූ විටයි. වෛද්‍යවරුන් උරණවනු ඇතැයි සිතනා ඔවුන් මුසා බස් තෙපලති. නමුත් බොහෝවිට එකී එක් එක් බොරුව පිටුපස සැඟවුණු අවාසනාවන්ත සත්‍ය කතාවක් ඇත.

"මහත්තයෝ මීට අවුරුදු විස්සකට විතර එපිටහින් මට මේ වකුගඩු අමාරුව හැදුනෙ. මං එකට ඉස්පිරිතාලේ ක්ලිනික් එකෙන් බෙහෙත් ගත්ත. දැන් මගේ අක්මාවත් නරක් වෙලා ලු."  දිනක්  මා හට History ගැනීමට බාර වූ රෝගියෙක් පැවසුවේ එවන් කතාවක්...

අපි ඒ කතාව මදකට අමතක කරමු.

මං දැන් ඔබට වෙනත් කතාවක් කියන්නම්...



ස්ථානය : අතිශය පැරණි මහ රෝහලක් අසල ෆාමසියක්...
වේලාව : දහවල් 12 ට පමණ

වයස අවුරුදු 70ක් පමණ වෙතැයි සිතිය හැකි අධික දරිද්‍රතාවයෙන් මිරිකී ගිය වැහැරුණු සිරුරැති අත්තම්මා කෙනෙක් තම ක්ලිනික් පොත ඖෂධවේදියා වෙත දිගු කරයි.


සතර දිශාවේ ම රෝගීන් ට සෙත සැලසීමට ගොඩ නැඟුවත් මෙහි දුගී දුප්පත් අසරණ රෝගීන්හට අවශ්‍ය බෙහෙත් නැති වී ඇති සෙයකි. :-(


 " මහත්තයෝ මේ තරුව දාල තියන බේත් තියනවාද ? "


" තියනවා, හැබැයි මාසෙටම රුපියල් 500 ක් වගේ වෙයි "


ඈ සුසුමක් හෙළයි. වේලක් ඇර වේලකට බත් ඇබිත්තක් තොල ගා අමාරුවෙන් දිවි සරි කරගන්නා තමන් කෙසේ ඒ මුදල සොයා ගන්නේ දැයි සිතුවා විය හැකිය.


" ඒ බේත දෙන්නේ වකුගඩු නරක් වෙන එකටද ? " මදක් කල්පනා කරන ඈ විමසයි.


"නෑ අම්මා. ඒක දෙන්නේ ගැස්ටික් හැදෙනවට... වකුගඩු අමාරුවට දෙන බේත් වලට ගැස්ටික් එනවා. තව විටමින් එකකුත් ඔතන තියෙනවා, එක දෙන්නේ අක්මාව නරක් වෙනවට"


"එහෙනම් එපා. මට ඒවා නැනේ."


ඈ එතනින් නික්ම යයි. ඖෂධවේදියා ඊළඟ බෙහෙත් තුණ්ඩුව අතට ගනියි.


ඒ වෙලාවේ ම වගේ ඈතින් රතිඥ්ඥා පුපුරණ සද්දයකින් මුළු රෝහල් භූමියම දෝංකාරදුණි.


"ඒ අපේ අලුත් මන්ත්‍රීතුමා පිළිගන්න උත්සවේ නේ." කව්දෝ පවසනු ඇසිණි.












4 comments:

  1. ඔ්ක තමා පොත් අැත්තම තත්වය.. අනික තමා බෙහෙත් ගැන වැඩිපුරම දේශන දෙන්නේ ඔය ෆාමසි සෙට් ඒක තමා... දැන් සමහරු උණට බෙහෙත් ගන්න යන්නෙත් ෆාමසියටනේ......

    ReplyDelete
  2. නාස්තිය සහ පරිපාලන වියදම් අඩු කීරීම මගින් අඩු ආදායම් ලබන / ආදායකම් නැති අයට සහන සලසන්න හැකියි නමුත් ආදායම වැඩි අයගෙන් බදු නොගසා සැබෑ සාධාරණ සමාජයක් හදන්න බෑ. නමුත් මුදල් තියෙන අය, මුදල් උපයා ගැනීමට බලාපොරොත්තුවෙන අය ඒ වගේ වෙනසකට කැමති වෙන්නේ නෑ.

    ReplyDelete
  3. හ්ම්ම්. ඔය වගේ කතන්දර කොච්චර නම් ඇත්ද...

    ReplyDelete
  4. හ්ම්ම්... මේකට හේතු සාධක එමටයි... නොලියූ හැංගිච්ච කොටස් ඒවා කියා පානවා...

    ReplyDelete