Monday, September 11, 2017

වේලාව මහා රෑ 12යි. අවුරුද්දේ පොඩි එකාට Fit එකක් හැදිලා. මොකද මං දැන් කරන්නේ... !

එහෙම උණොත් ඔබ කියාවි මේ ළමයව ඉක්මණට ඉස්පිරිතාලේ අරන් යන්න කියල.

ඔබේ පිළිතුර ඒක නම් ඔබ වැරදියි කියල මං මුලින් ම කියන්නම්.

ඇයි ඒ කියල අපි දැන් බලමු.

මට මේ ගැන ලියන්න ඕනි කියල හිතුනේ ඊයේ පෙරේද දවසක අම්ම කෙනෙක් facebook එකේ දාල තිබ්බ post එකක් දැකල. එයාගේ ළමයට උණත් එක්ක ෆිට් එකක් හැදිලා. වෙලාව රෑ 12 ට විතර ඇතිලු. කලබල වෙච්ච අම්මට එක පාරටම මුකුත් හිතාගන්න බැරිව facebook යාලුවන්ගෙන් උදව් ඉල්ලනවා. යාලුවෝ ටික අම්මට බනිනවා ඕව facebook දදා ඉන්න දේවල් නෙවෙයි දරුවාව ඉක්මනට ඉස්පිරිතාලේ එක්ක යන්න ඕනි කියල. හැබැයි පුතේ ඒ කතාවත් වැරදියි. මං කලින් කිවා වගේ ම fit එකක් හැදුනම හදිස්සි වෙලා ඉස්පිරිතාලේ අරන් යන්න හොඳ ම නෑ.

මොකද වෙන්න පුළුවන් භයානක ම දේ තමයි කටේ එකතුවෙන කෙළ, සෙම එහෙම පිට උගුරේ යන එක. එහෙම උණොත් මේ ළමය හුස්ම හිරවෙලා මැරෙනවා. විනාඩි 5ක් වත් යන එකක් නෑ. එකයි කියන්නේ ෆිට් එක තියන වෙලාවේ මෙයාව උස්සන් එන්න එපා කියල.දරුවා ව  පැත්තට හරවල තිබ්බහම කටේ එකතුවන කෙළ පිටතට වැගිරෙනවා මිසක් අර කියන විදියට පිට උගුරේ යාමක් සිදු වන්නේ ම නැති තරම්.

99% කටත් වඩා වැඩි අවස්ථා වලදී  වෙලාවට මේ fit එක තියන්නේ විනාඩි 5ක කාලයක් පමණයි. ඊට  පස්සේ ඒ කියන්නේ fit එක ඉවර උනාට පස්සේ තමයි මෙයාව ඉස්පිරිතාලෙට උස්සන් යන්න ඕනි වෙන්නේ.

නැතුව ෆිට් එක හැදිලා ළමය ගැහි ගැහී ඉන්නකොට නම් නෙවෙයි.

හැබැයි දිගු වේලාවක් පවතින fits නිසා මොළයට හානි සිදු වෙන්න ඉහළ හැකියාවක් තිබෙනවා. එහෙම වෙන්න නම් fit එක විනාඩි 5කට වැඩිය තියෙන්න ම ඕනි. ඒ වගේ වෙලාවට නම් නම් බලන් ඉන්නේ නැතුව ඉක්මනට, හැබැයි පරිස්සමට ඒ කිව්වේ දරුව ට පිට උගුරේ යන්නේ නැතිවෙන්න දරුවාව ඇලයට හරවාගෙන ම ඉස්පිරිතාලෙට එක්කන් යන්න ඕනි. ඇලයට නැතුව වඩාගෙන එහෙම යනවා එහෙම නෙවෙයි හොදේ. පිට උගුරේ ගියොත් ඔක්කොම විනාසයි.

fit එකක් හැදීමට හේතු වන්නේ මොලයේ අධික ලෙස පාලනයකින් තොරව සිදුවන් ස්නායු අවේග මුක්ත වීමක්. බොහෝවිට මෙය විනාඩි දෙක තුනකින් අවසන් ව යනවා. ගොඩ දෙනෙක් සිත සිටින්නේ මෙවන් අවස්ථා වල රෝගියාගේ අතට, කටට වගේ ම වෙන වෙන තැන් වලට යකඩ කැබැලි දැමීම සුදුසු බවයි. නමුත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැත. සිදුවන්නේ කලින් කිව්වා වගේ fit එක ඉබේම නැතිවී යාම මිස යකඩය නිසා නැතිවී යාම නොවේ.

fits එහෙමත් නැත්නම් වලිප්පු ආකාර බොහොමයක් තිබෙනවා. මින් උණ සමඟ ඇතිවන වලිප්පුව එහෙත් නැත්නම් උණ වලිප්පුව තමයි සුලභ ව හමුවන්නේ. සෑම දරුවන් 100කට තුන් දෙනෙක් ම මෙම තත්වයෙන් පීඩා විඳින බව ඔබ සමහර විට නොදන්නවා ඇති.

අපි දැන් කතා කරමු මේ උණ වලිප්පු තත්වය (febrile convulsions) ගැන ටිකක් වැඩිපුර...

උණ සමඟ fit එක සැදීම සරළව ම උණ වලිප්පුව ලෙස හැඳින්වේ. දරුවා ට වෛරස් උණක් සැදී ක්‍රමයෙන් ශරීර උෂ්ණත්වය වැඩිවන විට දී fit එක සැදීම මෙහිදී සිදුවේ. මේ හැර උණ සමඟ fits ඇතිවීමට බලපාන තවත් ප්‍රධාන හේතුවක් ලෙස මොලයට විෂබීජ යාම (meningitis) දැක්විය හැකිය. එවිට ද රෝගියාට උණ සැදී තිබුණත් එම තත්වය උණ වලිප්පුව ලෙස හැඳින්වෙන්නේ නැත. එබැවින් උණ වලිප්පුව ලෙස රෝග විනිශ්චයකට පැමිණීමට නම් මොළයේ ආසාදනයක් නැති බවට රෝග ලක්ෂණ සහ පරීක්ෂණ මගින් තහවුරු කරගත යුතුය.

සරල සහ සංකීර්ණ ලෙස උණ වලිප්පුව කොටස් දෙකකට බෙදා පැහැදිලි කර ඇත. සංකීර්ණ උණ වලිප්පු ලෙඩුන් ඉතා කලාතුරකින් හමුවන අතර 99% කටත් වඩා සිටින්නේ සරල උණ වලිප්පු ලෙඩුන් ය. ඔවුන්ට fit එක සඳහා විශේෂිත ඖෂධ ගැනීම අනවශ්‍ය ය.

සරල උණ වලිප්පුවේ රෝග ලක්ෂණ

            1. අත් පා වෙන් වෙන් වශයෙන් නොව මුළු ශරීරය ම එක ලෙස ගැසී ගැසී තිබීම
            2. ෆිට් එකෙන් පසුව ඇතිවන නිද්‍රාශීලි කාල සිමාවේ දී  ශරීරයේ තැන තැන                                             (අතක, කකුලක වැනි) fits ඇති නොවීම.
            3. ෆිට් එක පවතින කාල සීමාව විනාඩි 15කට වඩා අඩු වීම
            4. පැය 24ක් තුල කිසි විටෙකත් fits දෙකක් ඇති නොවීම සහ එකම උණ                                                 වැඩිවීමක දී දෙවරක් fits ඇති නොවීම.

උණ සමඟ සැදෙන එහෙත් ඉහත ලක්ෂණ කඩ කරන රෝගීන් සංකීර්ණ උණ වලිප්පු රෝගීන් ලෙස හැඳින්වේ.

සාමාන්‍යයෙන් වයස මාසයත් වසර 5ත් අතර ළමුන්ගෙන් 3% ක ට පමණ ජිවිතයේ කෙදිනක හෝ උණ වලිප්පුව සැදීමේ සම්භාවිතාවක් ඇත. එසේම වරක් උණ වලිප්පුව සෑදුන දරුවෙකු හට නැවතත් උණ සෑදුන විටෙක වලිප්පු තත්වයක් ඇති වීමට ඉහල සම්භාවිතාවයක් ඇත. වයස අවුරුදු 5 පමණ වන තෙක් මෙසේ වරින් වර උණ සමඟ fits ඇතිවී ක්‍රමයෙන් එසේ වීම අවම වී නතර ම වී යයි. කෙසේ වෙතත් 1-2%ක දරුවන්ට උණ වලිප්පු තත්වය දිගුකල් පවතින වෙනත් වලිප්පු තත්වයක් බවට පත්විය හැක.

මෙම වයස් සිමාවෙන් ඔබ්බට ළමයින්ටත් උණ වලිප්පුව සෑදිය හැකිය. නමුත් එම වලිප්පු තත්ත්වය වෙනත් ආකාරයක වලිප්පු තත්වයක් වීමට බොහෝදුරට ඉඩ ඇති නිසා වෛද්‍යවරයෙකු හමුවී හේතුව කුමක්දැයි තහවුරු කර ගත යුතුය.

බොහෝවිට උණ වලිප්පුව ආරයට යන තත්වයකි. ඔබට කුඩා කල උණ වලිප්පුව සැදී ඇත්නම් ඔබේ දරුවා ට ද උණ වලිප්පුව සැදීමට ඉතා ඉහල සම්භාවිතාවයක් ඇත.

සාමාන්‍ය උණ වලිප්පුව නිසා කිසි වියෙකත් මොළයට හානි සිදුවන්නේ නැත. (no brain damage). මේ නිසා ඔබගේ දරුවාගේ රෝග විනිශ්චය (diagnosis) උණ වලිප්පුව නම් නැවත නැවත උණත් සමඟ fits ඇති වුවයි කියා කිසිසේත් ම කලබල නොවන්න. fit එක සෑදුන විටෙක දරුවා පැත්තට හරවා තබන්න. කටේ පිරෙන සේම සහ කෙල රෙදි කැල්ලක් දමා ඉවත් කරන්න. දරුවා ට හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ ජනෙල් දොරවල් ඇර දමා සිටින්න. fit එක සැදී ඉවර වූ පසු වෛද්‍ය උපදෙස් ලබාගන්න.

නමුත්

දිගු වේලාවක් පවතින fits නිසා මොළයට හානි වීමේ අවධානමක් පවතී. එම නිසා fit එක විනාඩි 5කට වඩා ඇතිවිටෙක පමණක් fit එක නතර වෙනතුරු බලා සිටින්න එපා. හැකි ඉක්මනින් දරුවා රෝහල් ගත කරන්න. එසේ යනවිටත් දරුවා ඇලයට තබාගෙන රැගෙන යාමට වගේ ම කටේ එකතුවන කෙළ ඉවත් කිරීමට වග බලාගන්න. රෝහලේ දී වෛද්‍යවරයා විසින් fit එක නැවතීමට ගුද මාර්ගය හරහා හෝ ලේ නහරයක් හරහා ඖෂධ ලබා දීම සිදු කරාවි.

උණ වලිප්පුව සැදෙන්නේ වෛරස් උණක් වැලදී ශරීරයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යන විට දී ය. පෙර සඳහන් කල පරිදි වරක් උණ වලිප්පුව සැදී ඇති දරුවෙකුට නැවතත් උණ සෑදුන විටෙක මෙම තත්වය ඇතිවීමට ඉතා ඉහළ හැකියාවක් ඇත.   එබැවින් උණ වැඩි නොවන සේ දරුවා තබාගැනීමෙන් උණ වලිප්පුව ඇතිවීම සැහෙන පමණකට වළක්වා ගත හැකිය.

ඒ සඳහා
                - උණ ගැනෙන විටම බර අනුව පැනඩෝල් syrup දීම සහ උණ අඩු                                                     නොවන්නේනම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම
                - මද රස්නි ජලයෙන් / කොලොන් වලින් දරුවා තෙත මාත්තු කිරීම
                -  දරුවාගේ වැඩි ඇදුම් ඉවත් කර විදුලි පංකාවක් යටින් තැබීම
                                වැනි දෑ ඔබට සිදු කළ හැකිය.

ඉතින් ඔන්න ඕකයි උණ වලිප්පුව ගැන ඔයාල දැනගන්න ඕනි.

දැන් මගේ මතකය වසර ගණනාවක් පිටිපස්සට ගමන් කරනවා. ස්ථානය පේරාදෙණිය මහරෝහල, ළමා රෝග වාට්ටුව. අම්ම කෙනෙකුයි විශේෂඥ වෛද්යවරයෙකුයි අතර සංවාදයක කොටසක් මටත් ඇහුණා.

මේ ළමයට උණත් එක්ක ෆිට් එකක් හැදිලා. කලබල වෙච්ච අම්ම ළමය උස්සන් දුවන් ඇවිත්.

 මොකක් වෙලා ද මේ අම්ම ළමයව උස්සන් ආවේ?

එයාට ඊයේ රෑ උණත් එක්ක ෆිට් එක හැදුණා ඩොක්ටර්

හරි. ආය දවසක උණ හැදුනොත් මොකද කරන්නේ?

පැනඩෝල් සිරප් එක බර අනුව දෙනවා සර්. උණ වැඩි නොවෙන්න මද රස්නි වතුරෙන් එයාව තෙත මාත්තු කරනවා. ඒත් එක්කම වැඩි පුර තියන ඇදුම් ගලවලත් දානවා සර්

බොහොම හොදයි අම්මා. හදිස්සියේ වත් ෆිට් එකක් හැදුනොත් අද ආව වගේ කලබල වෙලා දුවන් එනවා ද ? 

නෑ සර්. මන් එයාට පිට උගුරේ යන්නේ නැතිවෙන්න එයාව ඇලයට හරවලා තියනවා.
හදිස්සියෙවත් විතරක් ෆිට් එක විනාඩි 5කට වඩා තිබුනොත් විතරක් දරුවාව ඉක්මනට ඉස්පිරිතාලෙට එක්කන් එනවා. 

නැත්තම් ෆිට් එක ඉවර උනාට පස්සේ ඉස්පිරිතාලෙට එනවා සර්.

බොහොම හොදයි අම්මා. එතකොට ෆිට් එක අඩුවෙන්න කියල දරුවට යකඩ කෑලි එහෙම දරුවාගේ අරෙහෙ මෙහෙ ගහනවද ? (කටේ එහෙම)

නෑ සර්. ඒක තේරුමක් නැති වැඩක්.
______________________________________________________________________________

මං අයෙත් කියන්නම් අද වැදගත් ම කොටස. fit එක ඇත්නම් දරුවා හදිසියේ රෝහලට රැගෙන ආ යුත්තේ විනාඩි 5ක ට වඩා දරුවා ගැහි ගැහී සිටින වේලාවන් හි පමණයි.







1 comment:

  1. නොදන්නා කරුණු රැසක් ඉගෙන ගත වැදගත් ලිපියක් . ඔබට ස්තුතියි

    ReplyDelete